Gossip

ඉතියෝපියාවේ පහසුකම් දී යුරෝපා පොලිස් සේවයක් අපේක්ෂා නොකරමු – පොලිස් පොඩ්ඩන්ගේ කඳුළු කතාව

ශ්‍රී ලංකා පොලිසිය ස්ථාපිත කොට පසුගිය (03 වැනිදා)ට වසර එකසිය පනස් හතරක් ගත වුවද තමන්ට ඇති අඩුපාඩු ගැන ඉහළ නිලධාරීන් අවධානය යොමු නොකිරීම ගැන පොලිස් පොඩ්ඩන් සිටින්නේ දැඩි කලකිරීමෙනි.
පොලිස් පොඩ්ඩන්ට මාධ්‍යට කතා කිරීම තහනම් වුවද මාධ්‍යවේදීන් සමග කථා කිරීම හා අදහස් හුවමාරු කර ගැනීම තහනම් නැත.
පොලිස් පොඩ්ඩන් ඍජුවම නොකීවද ඔවුන් සමග කළ කතාබහවලදී ඔවුන්ගේ දුක අපට වැටහුනි.
මේ වන විට පොලිස්පතිවරු 34 දෙනෙක් ශ්‍රී ලංකා පොලිසියට නායකත්වය ලබාදී තිබේ. එහෙත් පොලිස් ඉතිහාසයේදී වැඩබලන පොලිස්පතිවරයකු දිගුකාලයක් සිටි අවධිය මෙයයි.
එකල පොලිසියට නියෝග දුන්නේ ජනාධිපති, අගමැති හා පොලිස්පති පමණි. ඒ අනුව පොලිසිය සිය උපරිමයෙන් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළේය.
එහෙත් මෑත කාලයේ පොලිස් සේවයේ කඩාවැටීමකට ලක්වූයේ අද අප අවධානය යොමුකරන කරුණු මත කිවහොත් යම්තාක් දුරට නිවැරදි විය හැකිය.
ශ්‍රී ලංකාවේ පළමු පොලිස් ස්ථානය ලෙස ඉතිහාසගතව ඇත්තේ මරදාන පොලිස් ස්ථානයයි. එසේ ඇරැඹී පොලිස් සේවය වර්තමානය වන විට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හාරසීය අනූ හතරකින් පොහොසත්ය.
පොලිස් ස්ථාන කෙතරම් තිබුණද ඒවා බොහොමයක අඩුපාඩු අඩු නැති බව නම් සක්සුදක් සේ පැහැදිලිය. ඉන් ප්‍රමුඛතම දෑ වන්නේ නිලධාරී හිඟයයි. වැඩිවන ජනගහනයට සාපේක්ෂව පොලිස් ස්ථානවල සේවය කරන නිලධාරීන් සංඛ්‍යාව වැඩි නොවීම බරපතළම අර්බුදයකි.
ඇතැම් වැටලීම් සිදුකිරීමේදී ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් මේ නිසා මුහුණ දී සිටින්නේ බරපතළ ගැටලුවකටයි.
විශේෂ රාජකාරිවලට නිලධාරීන් කැඳවූ විට පොලිස් ස්ථානයක දෛනික කටයුතු අඩාළවීම සෑම පොලිස් ස්ථානයකම සුලභ සිදුවීමකි.
එම අවස්ථාවන්හිදී පොලිස් පොඩ්ඩන්ගේ මානසික පීඩනය බොහෝ විට පිටවන්නේ පොලිසියේ පිහිට පතා පැමිණෙන ජනතාව මතිනි. එම කරුණ ගැන අවධානය යොමුකොට ඊට නිසි විසඳුම් යෙදුවහොත් පොලිසියේ සේවය ඉතාමත් ගුණාත්මක මට්ටමක පවත්වාගෙන යා හැකි බව පොලිස් පොඩ්ඩන්ගේ අදහසයි.
පොලිසියේ රාජකාරි සඳහා ලබාදී ඇති වාහන අලුත්වැඩියාව සඳහා පොලිස් ගරාජයට රැගෙන ආවද ඒවා නැවත අදාළ පොලිස් ස්ථානය වෙත ලැබෙන්නේ බොහෝ කලක් ගතවූ පසුවය. දැනට භාවිතයේ ඇති පොලිස් ජීප් රථ බොහෝ ප්‍රමාණයක් ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බව අකමැත්තෙන් වුවද කිව යුතුය.
එම වාහනවල සුළු අලුත්වැඩියා කටයුතු තම කොට්ඨාසය තුළදීම සිදුකර ගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නම් එය කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මහත් රුකුලක් වන බව පොලිස් නිලධාරීහු පවසති.
ඇතැම් පොලිස් ස්ථානවල ඇත්තේ එක් ජීප් රියකි. එය අලුත්වැඩියාවකට යොමුකළ විට පොලිසියේ පිහිට පතා පැමිණෙන ජනතාවට දෙවියන් බුදුන් සිහිවෙයි. ඊට හේතුව තමාගේ කාරණාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් කැඳවාගෙන යාමට පෞද්ගලික වාහන රැගෙන ඒමට සිදුවීමයි. මෙවන් අවස්ථාවලදී පොලිස් පොඩ්ඩන් තමන්ගේ පෞද්ගලික යතුරුපැදිය උපයෝගී කරගන්නා අවස්ථාද බහුලය.
මෙහි ඇති අවාසනාත්මකම තත්ත්වය නම් ඒ සෑම විටෙකදීම ඉන්ධන වියදමද දරාගැනීමට සිදුවන්නේ පොලිස් පොඩ්ඩන්ට වීමයි.
අල්ලස් ලබාගැනීම පොලිස් නිලධාරීන්ට බහුලව එල්ලවන චෝදනාවකි. මේ පිළිබඳ පොලිස් පොඩ්ඩන්ගෙන් විමසීමේදී ඔවුන් කියන්නේ වැටුප් වර්ධක හා උසස්වීම් නිසි පරිදි ලැබෙන්නේ නම් මෙම චෝදනා බහුතරයක් එල්ලවීම අවම වනු ඇති බවයි. පොලිසියේ උසස්වීම් සම්බන්ධයෙන් ඇත්තේද ශෝචනීය තත්ත්වයකි.
පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එහෙත් දැන් පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් සම්බන්ධයෙන්ද අධිකරණයේ පිහිටි පතන තත්ත්වයක් උද්ගතව තිබීම කනගාටුවට කරුණකි. නිසි කලට හා නිසි ක්‍රමවේදයට එම තනතුරු හා උසස්වීම් සුදුස්සන්ට ලැබුණේ නම් අද වන විට පොලිසියේ අභ්‍යන්තර තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් වනු ඇත.
මේ සඳහා ප්‍රායෝගික හා නිසි ක්‍රමවේදයක් දැන්වත් ක්‍රියාත්මක නොවන්නේ නම් පොලිස් සේවය පොලිස් පොඩ්ඩන්ට එපා වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
‘සිරකරුවෝත් මනුෂ්‍යයෝය’ යනුවෙන් බන්ධනාගාර ඉදිරිපිට සඳහන්ව ඇතිවා මෙන්ම පොලිස් පොඩ්ඩන්ගේ පැත්තෙන් බැලූවිට ‘​පොලිස්කාරයෝද මනුෂ්‍යයෝද’ යනුවෙන් අපට සිතන්නට වන බවත් අමතක නොකළ යුතුය.
පොලිස් සේවාවේ මෙම තත්ත්වය පිළිබඳ පොලිස් පොඩ්ඩන් පවසන්නේ ‘‘අපි ගැන කථා කරන්න බලන්න කවුරුත් නැහැ. අවධානය යොමුවෙන්නේ අඩුවෙන්. අපිට නිසි අවධානය යොමු වෙනවා නම් යුරෝපයේ මෙන් උසස් පොලිස් සේවයක් ලංකවේදීත් ලබාගත හැකියි. ඉතියෝපියාවේ පහසුකම් ලබාදී යුරෝපයේ සේවයක් බලාපොරොත්තු වීම සිහිනයකි.’’ යනුවෙනි.
පොලිස් පොඩ්ඩන්ගේ මෙම අවනඩුව පිළිබඳ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
‘‘පොලිස් ගරාජය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දුර බැහැර ප්‍රදේශවල තිබෙන පොලිස් ස්ථාන සඳහා උප ගරාජ කිහිපයක් දැනට ස්ථාපිත කර තිබෙනවා. එසේම පොලිස් කොට්ඨාස මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කොට එමගින් වාහන අලුත්වැඩියා කර ගැනීමට පහසු වන ක්‍රමයක් අපි සකසා තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ හිඟය පිරවීමට දැනට සේවය අතහැර ගොස් සිටින නිලධාරීන් යළි සේවයට බඳවා ගැනීමට සිදුකරනවා. කොන්දේසි අනුව එය ක්‍රියාත්මක වෙනවා. නිලධාරීන් අලුතින් බඳවා ගැනීමට සහ පුහුණු කිරීමේ පහසුකම් වැඩිකිරීමටත් පියවර ගෙන තිබෙනවා.
උසස්වීම් සම්බන්ධව අගතියට පත්වන පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සැකසීමටත් මේ වන විට පියවර ගනිමින් සිටිනවා.’’

හේමන්ත ලියනපතිරණ – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!