Gossip

ඇඳිරිය පැවැති මාර්තු-අප්‍රේල් සඳහා විදුලි බිල වෙන වෙනම

ඇඳිරි නීතිය පැවැති මාර්තු සහ අප්‍රේල් සඳහා වෙන් වෙන් වශයෙන් පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත් නිකුත් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට සහ ලංකා විදුලි සමාගමට ඇමැති මහින්ද අමරවීර විසින් උපදෙස් දී ඇත.

ඉහත මාස දෙක සඳහා විදුලි පාරිභෝගිකයන්ට නිකුත් කර ඇත්තේ තනි විදුලි බිල්පතක් නම් එම තත්ත්වය වහා නිවැරදි කරන ලෙසද විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා විදුලිබල මණ්ඩලයට සහ සමාගමට නියම කර ඇත.

තවද මෙම මාස දෙකේ විදුලි ගාස්තු ගෙවීම සඳහා පාරිභෝගිකයන්ට මාසක කාලයක් ලබා දෙන ලෙසද අදාළ ආයතන දෙකට ඇමැතිවරයා විසින් උපදෙස් දී ඇතැයි අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ඒ සමගම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ බිල්පත් වෙන් වෙන් වශයෙන් ගෙවීම සඳහා පාරිභෝගිකයාට ලබා දෙන සහන කාලය හා කොන්දේසි පිළිබඳ ප්‍රකාශයට පත් කරන තුරු ගාස්තු නොගෙවීම මත විදුලි විසන්ධි කිරීමක් සිදු නොකෙරෙන බවය.

අවසාන මනු කියවීම සහ ඉදිරි මනු කියවීම අතර කාලය මාසයක් හෝ ඊට වැඩි විය හැකි බවද එකී කාලය තුළ සමස්ත පරිභෝජනය (විදුලි ඒකක ප්‍රමාණය) සමාන කාල පරිච්ඡේද සඳහා සමාන ඒකක ගණනාවක් බෙදී යන ආකාරයට අනුපාත ක්‍රමයට හෙවත් සහන විදුලි ගාස්තු හිමිකම තහවුරු කරමින්) බිල්පත් සකස් කෙරෙන බවද කොමිෂන් සභාව පවසයි. ඇතැම් පාරිභෝගිකයන්ට මේ වන විටත් මනු කියවීමකින් තොරව ඇස්තමේන්තුගත බිල්පත් ලැබී තිබිය හැකි බවද පවසන මහජන උපයෝගීතා කොමිසම ඇස්තමේන්තු ගත ඒකක ප්‍රමාණයත් මනු කියවීමෙන් නිකුත් කරන බිල්පතේ ඒකක ප්‍රමාණයත් අතර යම් කිසි වෙනසක් සිදුව ඇත්නම් එකී වෙනස ඊළඟ බිල්පතෙන් සංශෝධනය කෙරෙන බවද සඳහන් කරයි. එවැනි සංශෝධන ඇත්නම් බිල්පත්වලට ඇතුළත් කර පාරිභෝගිකයා දැනුවත් කරන බවද පවසන කොමිසම සහන විදුලි ඒකක හිමිකම තහවුරු කෙරෙන අනුපාතික ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක්ද පහත ආකාරයට සිදු කර ඇත.

මාස දෙකක කාලයක් සඳහා විදුලි පාරිභෝජනය ඒකක 120 වන්නේ නම් මුල් ඒකක 60 රුපියල් 2.50 බැගින් ද දෙවැනි ඒකක 60 රුපියල් 4.85 බැගින් ද ගණනය කෙරෙනු ඇත. එවිට එක් මාසය සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 60 බැගින් රුපියල් 120ක්​ වේ. මෙම උදාහරණයට අනුව මාස 2කට පසුව බිල්පත් කියවන හෙයින් පාරිභෝගිකයාට එ මාස දෙක සඳහා වෙන් වෙන් වශයෙන් බිල්පත් 2ක් නිකුත් කරනු ලැබේ. ඒ අනුව පළමු මාසය සඳහා ගාස්තුව රුපියල් 280.50ක් වන අතර ඊළඟ මාසය සඳහා ගාස්තු රුපියල් 280.50ක් වශයෙන් සඳහන් බිල්පත් දෙකක් ලැබේ. ඊට අමතරව මෙම බිල්පත් ගෙවීම සඳහා ලබාදෙන සහන කාලයද පාරිභෝගිකයාට දන්වනු ලැබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!