Gossip

ඇතෙකුගේ සිරුරේ කොටසක් හමුවෙයි – හිත්පිත් නැති මිනිසුන් ගොදුරු කරගත් දළ පූට්ටුවාද මේ

මේ වන විට දළ ඇතෙකුගේ බවට සැකකෙරෙන සිරුරක් ගල්ගමුව කහල්ල පල්ලේකැලේ රක්ෂිතයෙන් හමුව ඇති බවටද තොරතුරු අනාවරණය වෙනවා.

මේ අතර ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කර ඇත්තේ දළ යුගලය සහ ගජ මුතු රුපියල් ලක්ෂ 20කට පමණ අලෙවි කිරීමට බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව ජාතික පාරිසරික එකමුතුව පවසනවා.

එම එකමුතුව අද උදෑසන වනජීවි දෙපාර්තමේන්තුවට පැමිණියේ දිගින් දිගටම සිදුවන වන අලි ඝාතන සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම සඳහායි.

වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන් හමුවීමට එම එකමුතුවේ සාමාජිකයින්ට අවස්ථාව හිමි වුණා.

ජාතික පාරිසරික එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ දළ පූට්ටුවාගේ ඝාතනය පිටුපස හිමි නමක් ද සිටින බවයි. දළ පූට්ටුවා, කිසියම් පිරිසක් දළ ලබා ගැනීමට මරා දමා ඇති බවට ප්‍රථම වරට තොරතුරු අනාවරණ වූයේ පසුගිය 23 වන දා දළ යුගලයක් අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු වලාන – දූෂණ මර්දන ඒකකය, පොල්පිතිගම – නිකවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමත් සමගයි.

ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දමා සිරුර කැබලි කර වළ දමා ඇති ස්ථාන සෙවීමේ කටයුතු සඳහා මේ වන විට පරීක්ෂණ කණ්ඩායම් 05ක් පත් කර ඇති බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා. පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය සහ වනජීවි නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටිනවා.

ඇත් දළ ලබා ගැනීමේ අරමුණින් මරා දමන්නට ඇතැයි සැක කෙරෙන දළ පුට්ටුවාගේ සිරුර වළ දමා ඇති බවට සැක කෙරෙන පොල්පිතිගම – හේරත්ගම – ගලහිටියාව වැව ඉස්මත්තේ අලුතින් ඩෝසර් කර තිබූ ඉඩමක කැණීම් ඊයේ සිදුකළ ද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි වනජීවි නිලධාරීන් සදහන් කළේ.

සියඹලන්ගමුවේ ඇතාගේ මරණින් පසු ජනතාවගේ ආදරයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවා ආකර්ශනීය දළ යුගලයකින් සමන්විත ඇතෙකු බවට ජනප්‍රියයි. පසුගිය කාලයේ මෙම සද්ධන්තයා ගල්ගමුව, පොල්පිතිගම යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සැරි සරමින් සිටි බවත් එම සත්ත්වයාගේ එක් ඇසක පෙනීම සම්පූර්ණයෙන් අහිමිව ගොස් තිබුණා. ඒ, දඩයක්කරුවන් විසින් වෙඩි තැබීමක් හේතුවෙන්.

වයස අවුරුදු 44 ක් වන දළ පූට්ටුවා මීට මාසයකට පමණ පෙර මහකිරිල්ල සහ කුඩා කිවුලවැව ප්‍රදේශවල සැරිසරමින් සිටි බවට ද තොරතුරු අනාවරණ වී තිබුණා. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ වන අලි ඝාතනය කරන පුද්ගලයින්ට ලබාදෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බවයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!