Gossip

ඇත්තටම මට මේ සඳහා ආරාධනාවක් ලැබුණෙ නෑ.මගේ හිතේ ලොකු ආශාවක් තිබුණ චිත්‍රපටයකට දායක වෙන්න. ඒත් ඒ ගැන කාටවත් කියන්න මම ඉදිරිපත් වුණේ නැහැ හිතේ තිබුණ සබකෝලය නිසා..

විවාහ ජීවිතය නිසා සිනමාවට සමුදුන්න ද ලේඛන කලාවට ඇය තිත තිබ්බේ නැහැ. දශක හතරකට පස්සේ ඇය නැවතත් සිනමාවෙන් අපිව හමුවෙන්න එනවා සුනිල් ආරියරත්න ගේ විජයබා කොල්ලයෙන්.ප්‍රීති රන්දෙනිය ඇයගේ මේ නවමු ආරම්භය ගැන සතිඅන්ත පුවත් පතකට මේ විදියට අදහස් දක්වලා තියෙනවා.

දශක හතරකට පසු ඔබ යළිත් සිනමාවට පිවිසෙනවා. ඒ අත්දැකීම වචනවලට පෙරළුවොත්

අවුරුදු 40 ක් ගතවෙලා මම මිත්තණියක් බවට පත්වුණාට පසුව දෙවැනි වතාවට සිනමාවට පය තියන්න ලැබීම සුන්දර අත්දැකීමක්. වසර හතළිහකට පෙර සිනමාවට ආවට වඩා මේ සැරේ මම ලොකු ආශාවකින් තමයි මේ ගමන ආවෙ.

කවුද මේ ආරාධනාව කළේ?

ඇත්තටම මට මේ සඳහා ආරාධනාවක් ලැබුණෙ නෑ. මගේ හිතේ ලොකු ආශාවක් තිබුණ චිත්‍රපටයකට දායක වෙන්න. ඒත් ඒ ගැන කාටවත් කියන්න මම ඉදිරිපත් වුණේ නැහැ හිතේ තිබුණ සබකෝලය නිසා. බුද්ධි කීර්තිසේන මහත්මය මෙහි වැඩ කරනව කියල දැනගත්තම මම ඔහුගෙ බිරිඳ රණසිරි කීර්තිසේනට කිව්වා මට ගැලපෙන චරිතයක් මේ චිත්‍රපටයේ තියෙනවා නම් කරන්න ආසයි කියලා. ඇය බුද්ධි අයියට මේ ගැන කියල තිබුණා.

එතනින් පස්සෙ ඔබව තෝරා ගත්තා

ඔව්.. බුද්ධි අයිය කිව්වා ඇයි ප්‍රීති කිව්වෙ නැත්තෙ එහෙමනම් මීට කලින් අවස්ථාවක් දෙනවනෙ චිත්‍රපටවල. එන්න ඇවිත් වින්දුනාථා චරිතය භාරගෙන කරන්න කියලා. ඒ විදිහට තමයි මම සම්බන්ධ වුණේ.

විජයබා කොල්ලය භාරගන්න විශේෂ හේතුවක් තිබුණද?

මම ඉතිහාස කතාවලට ගොඩක් කැමති කෙනෙක්. අනිත් අතට මට ලැබුණ හොඳම අවස්ථාවක්. දෙවැනි වතාවට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණයක් හරහා එන්න ලැබීම මගේ පෙර කුසලයක් පළදීමක්.මේ අවස්ථාව ලැබුණට පස්සෙ සැමියා රවීන්ද්‍ර මොකද කිව්වෙඔහු මට ඒ සඳහා කැමැත්ත දුන්නා. ඒ නිසා තමයි මට චිත්‍රපටයට සහභාගි වෙන්න ලැබුණේ.

ඇයි එදා ඔබ රගපෑම අත්හැරියේ?

අපි දෙන්න මුණගැහුණෙ චිත්‍රපට නිසාමනේ. ඉතින් ඒ කාලෙම අපි දෙන්න කතාකර ගත්තා කසාද බැන්දට පස්සෙ රගපෑමෙන් ඉවත් වෙන්න. ඒ අනුව මම අයින් වුණා. නමුත් ඔහු ක්ෂේත්‍රයේ රැඳුණා. විවාහයෙන් පස්සෙ අපිට දරුවො තුන් දෙනෙක් ලැබුණා. මම ඔහුට ඒ ගමන යන්න දීල ගෙදර සිනමා ජීවිතේ ඇක්ට් කළා.

මෙය ඔබට ලැබුණ වෙනස්ම චරිතයක් නේද?

මෙහෙමයි. මම ඉතින් රගපාල තියෙන්නෙ චිත්‍රපට දෙක තුනකනෙ. ඒවත් පෙම්වතියගේ චරිත. ඒ මගේ තරුණ කාලෙ. මේ වතාවෙ ඒ කියන්නෙ අවුරුදු 40කට පස්සෙ සිනමාවෙ අම්ම කෙනෙකුගෙ චරිතය රඟපාන්න ලැබීම වෙනස්ම අත්දැකීමක්.

අධ්‍යක්‍ෂ සුනිල් ආරියරත්නයන් මේ චරිතයට ඔබ සාධාරණයක් කළ බව කිව්වද?

එහෙම කිව්වෙ නෑ. ඒ වගේම රූගත කිරීම්වලදී මට එකම දේ දෙතුන් පාර කරන්න සිද්ධ වුණේ නැහැ. හැම වෙලාවෙම මගේ කොටස මම එක පාරින් කළා. ඒ හැම වෙලාවෙම මම ඇහුවා රගපෑම ගැන. නිතරම එතුමා ඒක හරි කියන එක අනුමත කළා. ඒ අනුව මම හිතුවා ඔහු මගේ රංගනය ගැන සෑහීමකට පත්වෙන්න ඇති කියලා.

චරිතයට සාධාරණයක් කළ බව ඔබ හිතනවද?

මම එහෙම කරන්න ඇති කියලා මට හිතෙනවා. ඒත් ඉදිරියේදී චිත්‍රපටය නරඹලා ප්‍රේක්‍ෂක ජනතාව දෙන තීන්දු තීරණ අනුව තමයි ඒක හරියට දැනගන්න පුළුවන් වෙන්නෙ

මෙතෙක් කල් ඔබට නිර්මාණ සඳහා ආරාධනා ලැබුණේ නැද්ද? ලැබුණ ආරාධනා ඔබ ප්‍රතික්ෂේප කළාද?

රංගනයට පිවිසුන මුල්ම කාලෙනෙ මම විවාහ වුණේ. ඒත් එක්කම මට පුතා ලැබෙන්න ආවා. ඔය කාරණා නිසා ලැබුණ ආරාධනා බොහොමයක් මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඊට පස්සෙ දරුවො තුන් දෙනෙකුගෙ වැඩයි, ගෙදර වැඩයි ඒ අයගෙ අධ්‍යාපන කටයුතු වගේ බොහෝ දේවල් නිසා ඔවුන්ගෙ පිටිපස්සෙන්ම මම සිටියා. ඒ නිසා මට ආරාධනා ලැබුණෙ නෑ. මොකද හැමෝම දන්නව මම එන්නෙ නෑ කියලා. ඒත් අද දරුවො ඉගෙනගෙන විවාහ වෙලා ඔවුන්ටත් දරුවො ඉන්නවා. මම දැන් ගොඩක් වගකීම්වලින් නිදහස්.

දෑස නිසා චිත්‍රපටය දෙසට හැරුණොත්?

ඒ චිත්‍රපටය මගේ දිවියේ හැරවුම් ලක්‍ෂ්‍යය කියන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ ජීවිතේ ගෙවෙන්නෙ දෛවයේ ලියවුණ විදියට කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. පාසල් කාලෙන් පස්සෙ මම ටී. බී. ඉලංගරත්න මහත්තයගෙ සයිලාසනය නාට්‍යයේ රඟපානව දැකල තමයි සුමිත්‍රා පීරිස් මහත්මිය මට ගැහැනු ළමයි චිත්‍රපටයට එන්න කිව්වෙ. ඒ වෙද්දි දෑස නිසා චිත්‍රපටයට සියලූ දෙනා තෝරගෙන ඉවරයි. ඒත් අන්තිමේ පුංචි අවස්ථාවක් හමුවෙලා මම ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණා.

ඒ හරහා ඔබේ ජීවන සහකරු හමුවෙනවා

ඔව්. දෑස නිසා චිත්‍රපටයේ රවීන්ද්‍ර රගපෑවා. එතනදී දැන හඳුනාගෙන ඇතිවෙච්ච හිතවත්කම් දුරදිග ගිහින් අපි පෙම්වතුන් වෙලා ඒ සබඳකම් විවාහය දක්වා දුරදිග ගියා.

ඒ ආදර කතාව දැනගන්න රසිකයො කැමැති වේවි

රවි මට යෝජනාවක් ගෙනාවා. ඒත් මම කල්පනා කළා. මේ අහන්නෙ ඇත්තටද බොරුවටද කියලා. හිතේ තිබුණ බය නිසාම මම කිව්ව අපේ තාත්තගෙන් අහන්න කියලා. ටික දවසක් රවි අපේ ගෙදර ආව ගියා. පස්සෙ තාත්ත සේවය කරපු සිලෝන් තියටර්ස්වලට ගිහින් මේ ගැන අහල තිබුණා. තාත්ත ඒ වෙලාවෙ කියල තියෙනව මට ඔයාට දෙන්න දෙයක් නෑ හොඳට හදපු ළමයෙක් විතරයි දෙන්න පුළුවන් කියලා. එහෙම කැමැත්ත දුන්නට මම කිව්ව ඔයාලගෙ ගෙදරින් අකමැති වුණොත් මේක කරන්න බෑ කියලා. ඒ වෙලාවේ ඔහු කිව්වා මම ඒව බලාගන්නම් කියලා. කිසිම ගැටලූවක් වුණේ නෑ. දෙපැත්තෙම ආශිර්වාදය අපට ලැබුණා.

ඔහු යෝජනාව ගේන්නෙ පසු කාලෙක. මුලින්ම රවීන්ද්‍ර රන්දෙණිය කියන රංගන ශිල්පියා දුටු දවස මතකද?

මුලින්ම මම ඔහු ගැන දැනගන්නෙ පත්තරේකින්. දෑස නිසා චිත්‍රපටය ගැන ලිපියක ලෙස්ටර් සර්ගෙන් මාධ්‍යවේදියෙක් අහල තිබුණ මේ චිත්‍රපටයේ තාපසයගෙ චරිතෙට අලූත් නළුවෙක් ගත්තෙ ඇයි කියලා. ඒකට ලෙස්ටර් සර්ගෙ උත්තරේ තමයි අලූත් වුණත් ඔහුගේ පෞරුෂය දේහ ලක්‍ෂණ නිසයි කියලා. ඒ නිසා මට ඔහුව කවදාහරි දකින්න ඕන කියන එක හිතේ තිබුණා. මමත් චිත්‍රපටයට සම්බන්ධ වුණාට පස්සෙ රවිගෙ ෂූටින්වලට කලින් තමයි මම ගියේ. මගේ ෂූටින් ඉවරවෙලා එන්න කලින් මම ශ්‍රියානි අක්කට කිව්වා අර අලූත් නළුව නෑනෙ මට එයාව දකින්න ලැබෙන එකක් නෑ කියලා. විනාඩි දහයක් යද්දි රවි අපි හිටපු කාමරේ ළඟට ඇවිත් ඇහුව මාව දකින්න ඕන කියල කිව්ව කෙනා කෝ කියල. බැලින්නම් ශ්‍රියානි අක්ක ඒ බව ඔහුට කියල. මම දවසෙම කාමරේට වෙලා හිටිය ලැජ්ජාවට. පස්සෙ රවීම ඇවිත් කිව්ව දැන් ඇති එන්න එළියට කියලා. එදා තමයි අපි මුලින්ම දෙන්නට දෙන්න දැක්කෙ.
පසුව ඔබ දුහුළු මලක් චිත්‍රපටයේ රගපානවා
එහි රවිත් එක්ක රඟපෑවත් ඔහු ගේ පෙම්වතිය වෙන්නේ නීටා ප්‍රනාන්දු. මම ඒ පෙම් පලහිලව්වට විරුද්ධව තමයි එහි රඟපෑවේ.දෑස නිසා, දුහුළු මලක් වැනි චිත්‍රපට අතිශයින් ජනප්‍රිය වුණා.

ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඒ චිත්‍රපට තිරගත වෙද්දි මට බබාලත් ඉන්නවා. ඒත් ඒව නරඹල මම ඇඬුවත් එක්ක රවිගෙ පෙම් ජවනිකා දැකල. මම රඟපෑ චිත්‍රපට ජනප්‍රිය වීම ගැන සතුටුයි.

එදා සැමියා ඔබව රංගනයෙන් ඈත් කළා කිව්වොත්

ඔහුගේ ඉල්ලීමට මම එදා එකඟ වුණා. එහෙම නොවී අපි දෙන්නම කාර්යබහුල චරිත දෙකක් වුණානම් සමහර විට අපේ දරුවන්ගෙ අනාගතේ අයහපත් වෙන්න ඉඩ තිබුණා. අද අපේ පවුලේ සාර්ථකත්වය දෙස බලද්දී මට සතුටු වෙන්න පුළුවන් මගේ කැපකිරීම ගැන.

මේ හැමදේම ඔබට ලැබුණෙ සැමියා නිසා නේද?

පැහැදිලිවම. එහි ගෞරවය ඔහුට හිමිවිය යුතුමයි. මම රංගන ශිල්පිනියක් විදිහට ආවට වැඩිපුර මාව හඳුන ගත්තෙ රවින්ද්‍ර රන්දෙණිය කියන රංගන ශිල්පියාගේ බිරිඳ විදියට. හැම අතින්ම ඔහු මගේ ජීවිතයට ආලෝකයක් වුණා.

මෙතෙක් පැමිණි ගමන්මග දෙස ආපසු හැරී බැලූවොත්

බොහෝ සතුටුවීමට පුළුවන්. ඒ අතරෙ දුක් වුණ තැන් නැතුවම නෙමෙයි. ඒක තමයි යථාර්ථය. මම අද දවසේ බිරිඳක්, මවක්, මිත්තණියක් ලෙස ඉතාමත් සාර්ථක චරිතයක් කියන එක නිහතමානීව කියන්න පුළුවන්.

උපුටා ගැනීම දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!