Gossip News

ආබාධිත රණවිරුවන් 4ක් මාරාන්තික උපවාසයක- වීඩියෝ

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී සිටින ආබාධිත රණවිරුවන් සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ විශ්‍රාම යනවිට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව පැවසුවද යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ටද එම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් 11 වැනිදා සිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සිදුකරන විරෝධතාවයේ 15 වන දිනය අදයි.

විරෝධතා කරුවන්ගෙන් කිහිප දෙනෙකු ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපති ලේකම්වරයා මුණ ගැසුණු අතර පසුව විරෝධතා කරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වී තිබුණා.

එම සාකච්ඡාවෙන් පසු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ
යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ,පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන්ට විශ්‍රාම ගිය පසුවද අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් විරෝධතාවයේ නිරත අබාධිත රණවිරුවන් එම තීරණය ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වීමට තීරණය කළේය.

ඒ තමන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුට ද එම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්.

මෙවැනි පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ රණවිරුන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවිමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

අදාල කැබිනට් සංදේශය මගින් මෙම වැටුපට හිමිකම් කියන ආබාධිත රණවිරුවා මියයාමෙන් පසු ඔහුගේ බිරිදට සහ වයස අවුරුදු 26ට අඩු දරුවන් සිටිනම් එම දරුවන්ට අදාල වැටුප හිමිකරදිමටද ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ සංශෝධන අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ ආබාධිත රණවිරුන්ට දිවි ඇති තෙක් වැටුප ලබාදීමට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර තමන් සමඟ යුද බිමේ සටන් කරමින් සිටියදී මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ටද වැටුප් ලබාදීමට කටයතු කරන ලෙස රජයට බලකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී සිටි ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

මේ අතර ඊයේ රාත්‍රී 10ට පමණ තවත් ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් එම මාරාන්තික උපවාසයට සහාය පල කරමින් එක්වූ බව වාර්තා වෙනවා.

මේ අතර ඊයේ රාත්‍රීයේද රණවිරුවන් විරෝධතාවයේ නිරත ස්ථානයට පැමිණි ජනතාව ඔවුන්ට ආහාරපාන ලබාදී තිබෙනවා.

‍ෙඅද පෙරවරුවේද කොළඹට ඇදහෙලන මහවැසි නොතකමින් රණවිරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!