Gossip

“ආදරය කියන්නේ අපි හැමෝම විඳින්න කැමති හැඟීමක්.නමුත් මට තවම විවාහයක අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ.” – රිතූ ආකර්ෂා

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රිතූ ආකර්ෂා රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය දෙකක්ම මේ දිනවල විකාශනය වනවා. ඒ පිළිබඳ සහ ඉදිරි කලා කටයුතු පිළිබඳ රිතූ සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අදහස් දක්වලා තිබුණා.

මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය ගැන කතා කරනවා නම්?
මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකට දායක වෙනවා.

ඉදිරියේදී දායක වන අලුත් කලා නිර්මාණ මොනවාද?
ධනුෂ්ක රත්නායකගේ අලුත්ම ටෙලි නාට්‍යයේ වැඩකටයුතු පසුගිය දිනවල නිමා කළා. එය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.
මේ වන විට තවත් අලුත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබී තිබෙනවා. ඒ සඳහා දායකත්වය ලබා දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රිතූට සිනමාවට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?
මම හිතන්නේ සිනමා නිළියක් වීම සෑම රංගන ශිල්පිනියකගේම බලාපොරොත්තුවක්. මටත් ඒ අවස්ථා ලැබෙනවා. නමුත් මම නිතරම හොඳම දේ හොයන කෙනෙක්. ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණත් හොඳම අධ්‍යක්ෂකවරු, හොඳම කැමරා ශිල්පීන් සහ හොඳම පිටපතක් ඇතුළු සමස්ත නාට්‍යයේම ගුණාත්මකභාවය පිළිබඳ හිතනවා.
ඒ නිසා මට ලැබුණු අවස්ථා කිහිපයක්ම අත හැර දමන්නට සිදු වුණා. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත් ඉදිරියේදී මම සිනමාවට පිවිසෙනවා.

එවැනි නිර්මාණයකදී රිතූගේ වැඩි කැමැත්ත මොන වගේ චරිතයකටද?
මගේ බලාපොරොත්තුව ජනප්‍රිය නිළියක් වීමට නෙවෙයි චරිතාංග නිළියක් වීමයි. එයට සිනමාව ද ටෙලි නාට්‍යයක්ද කියන දේ අදාළ නැහැ.
උපරිමයෙන් වැඩ කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මම එය භාරගන්නවා. මට ලැබෙන මොන චරිතයක් වුණත් එහි මට යමක් කරන්න තිබෙනවා නම් මම ඒ චරිතය භාරගන්න සූදානම්. දැනෙන රංගනයක් ඇති චරිතවලට මම කැමතියි. චරිතයේ තරාතිරමට වඩා එහි කාර්ය භාරයයි මට වැදගත්.

රිතු වෘත්තිමය රංගන ශිල්පිනියක්ද?
රංගනය මගේ වෘත්තිය. වෙනත් වෘත්තියක හෝ ව්‍යාපාරයක මම නිරත වෙන්නේ නැහැ.
දැනට මම ජීවිතයේ සියලු කටයුතු සමබරව කරගෙන යනවා. ඒ කටයුතු අතර තවත් අමතර වෘත්තියක යෙදීමට කාලය අඩුයි. ඒ නිසා මේ වනතුරු රංගනය පමණක් මගේ වෘත්තිය කරගෙන ඉන්නවා ඉදිරියේදී ව්‍යාපාරික කටයුත්තකට යොමුවීමේ අදහසක් ඇතුව.

වෘත්තීය රංගන ශිල්පිනියක් වුණාට ඔබ නිතර පේන්න සිටින රංගන ශිල්පිනියක් නෙවෙයි ?
මම රංගනයට පිවිසි දවසේ සිට මේ වන තුරු මගේ ටෙලි නාට්‍යයක් රූපවාහිනියේ විකාශය නොවූ දවසක් නැහැ.
නමුත් මම ටෙලි නාට්‍ය කිහිපයක එකවර පෙනී සිටින්නේ නැහැ. ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ.
මම ගෙවන්නේ සරල ජීවිතයක්. ඒ නිසා මම උපයන ප්‍රමාණය මට ප්‍රමාණවත්. මම අඩුවෙන් වැඩ බාර ගන්නේ ටෙලි නාට්‍ය කිහිපයක එකවර රංගනයෙන් දායක වෙද්දි ඒ එකක්වත් හරියට කරගන්න බැරි වෙයි කියලා හිතන නිසයි.
ඒ සිතිවිල්ල මම රඟපාන චරිතයට කරන අසාධාරණයක්. ඒ වගේම මට අනිත් කටයුතු කළමනාකරණය කරගන්න බැරි වෙනවා. එයින් මමත් අධ්‍යක්ෂකවරුනුත් අපහසුතාවට පත් වෙනවා. ඒ නිසා මම වරකට තෝරා ගන්නේ නිර්මාණයක් හෝ දෙකක් පමණයි.

නවකයන් නිසා ක්ෂේත්‍රයේ තරගකාරී වෙලාද?
මට නම් කාත් එක්කවත් තරගයක් නැහැ. මගේ හැකියාව, වාසනාව සහ කැපවීම තිබෙනවා නම් ක්ෂේත්‍රයට නවකයන් කොච්චර ආවත් මගේ අවස්ථාව නැති වෙන්නේ නැහැ. අලුත් අය එන එකත් අලුත් නිර්මාණ බිහිවෙන එකත් රංගන ශිල්පිනියක් ලෙස මට සතුටක්.

මේ වන විට රිතූ පෙම්වතියක්ද?
ආදරය කියන්නේ අපි හැමෝම විඳින්න කැමති හැඟීමක්. නමුත් මට පෙම්වතෙක් නැහැ.

ඔබේ සමකාලීන රංගන ශිල්පිනියන් මේ වන විට විවාහවෙලා ?
අනිත් අය විවාහ වෙන්නේ ඔවුන්ට සුදුසු කාලයේ. නමුත් මට තවම විවාහයක අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ. සුදුසු අයුරින් සුදුසු කාලයේදී මගේ විවාහය සිදු වේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!