Gossip

අපේ තීරණය වුණේ මෛත්‍රීපාල සිරිසේන රජයෙන් යම් වරදක් වුණොත් ඊට එරෙහිවත් නැගී සිටිනවා කියලායි – මත්පැන් තහනම ගැන සමනලී ෆොන්සේකා කට අරියි

පසුගියදා රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා ගැන නැවතත් සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් ගත්තා. ඒ කාන්තාවට තිබිය යුතු සම අයිතීන් ගැන කතා කිරීමත් සමගයි. මේ කතාබහ ඇතිවෙන්න පටන්ගන්න මූලිකම හේතුව වුණේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා මංගල සමරවීර අමාත්‍යවරයා ගෙන ආ ගැසට් නිවේදනයත් සමඟයි. කොහොම වුනත් මේ ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ප්‍රකාශයත් සමඟ සමනලී ෆොන්සේකා ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබුනා.

මේ සියල්ල ගැන සමනලී ජාතික පුවත්පතක් සමග කියා තිබුණේ මේ වගේ කතාවක්.

කාන්තාවන්ට මත්පැන් අලෙවිය හා මිලදී ගැනීම සම්බන්ධව පවත්නා නීතිය පිළිබඳව අද දවසේ ප්‍රබල කතිකාවතක් මතුවෙලා. මේ වනවිට ඔබත් මේ ප්‍රශ්නය වෙනුවෙන් හඬ නගන්නියක්.
මේක මත්පැන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. රටක පුරවැසියකු විදියට කාන්තාවක් වීම නිසාම සමානාත්මතාව නැතිවීම ගැටලු සහගතයි. උදාහරණයක් විදියට දෙමළ ජාතිකයකු වීම හෝ මුස්ලිම් ජාතිකයකු වීම හෝ කාන්තාවක වීම හෝ නිසා සමාජය තුළ හිමිවිය යුතු ‍පොදු හිමිකම් නැතිවනවා නම් මම හඬ නගනවා. ඒත් ඒ හඬ නැගීම තුළ තියෙන්නේ කාන්තාවන්ට බොන්න ඕනෑ, බිලා පාරේ වැටිල ඉන්න ඕන කියන අදහස ‍නෙවෙයි. අපි එකොළොස් දෙනකු එක්වී කරන මේ කටයුත්තේදී මාව පමණක් කේන්ද්‍රගත කරලා මගේ හඬ නැගීමක් ලෙස මෙම පුවත ප්‍රචාරය වීම ගැන නම් මම තරයේ විරුද්ධයි.

කවුද ඒ පිරිස…?
නිශාන්ති බණ්ඩාරනායක, එම්.ඩී.ජේ.බි.ප්‍රනාන්දු, චන්දිමා රචිනි ජිනදාස, දීපාංජලී අබේවර්ධන, සබ්‍රිනා එසුපුලී, සාරන්‍යා සේකරම්. රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ, විශාකා පෙරේරා තිලකරත්න යන අය

ඔබ පැවැසුවා මෙය මත්පැන් මිලට ගැනීම හා අලෙවියට කාන්තාවන් සතු අයිතිය පිළිබඳ කරන හඬ නැගීමක් පමණක්ම නොවන බව
ඔව්, මෙය කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන එක දෙයක් විතරයි. කාන්තාවන්ට සමතැන හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් කරන සාකච්ඡාව අරඹන්න අද දවසේ සුදුසුම තැන මෙතැන. ඊට හේතුව අද දවසේ ඇති වී ඇති ප්‍රශ්නය මෙය නිසා.

මෙය බෞද්ධ රටක්. අපට සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ කාන්තාවට තිබෙන පිළිගැනීම අනුව ඇය මත්පැන් වෙනුවෙන් අයිතීන් ඉල්ලා සටන් වැදීම සුදුසුද?
ඔය සංස්කෘතිය ඇයට පමණද? ඒ සංස්කෘතිය රැකීමේ සහ ඉදිරියට ගෙන යාමේ පෙරගමන්කරුවා ඇය විතරමද? පිරිමින් බේබදුකමින් හැසිරෙන විට පිරිමින් ස්ත්‍රී දූෂණ, අපරාධ කරනවිට දේශපාලනඥයන්, දූෂණ හා මූල්‍ය වංචා සිදුකරන විට ඔය කියන සංස්කෘතික පරිහානිය සිදුවන්නේ නැද්ද? මා කී මේ අදහසටත් යම් අය වැරදි අර්ථකථන දෙන්න පුළුවන්. පිරිමින්ට බිලා පාරෙ වැටිල ඉන්න පුළුවන් නම් ගැහැනුන්ටත් එය පුළුවන් බව නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ සංස්කෘතිය රකින එක සමස්ත ජනතාවගේම වගකීම බව. ඊට පනවන සීමා ‍පොදු විය යුතු බව. මෙතැනදී අප මේ හඬ නගන්නේ ගැහැනුන්ට බොන්න ඉඩ දෙන්න කියලා ‍නෙවෙයි. කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් රැකලා ඇයට සමතැන හිමිවිය යුතු බව.

ඔබ නිළියක්. ‍පොදු ජනතාව නළු නිළියන්ට ආදරේ කිරීම, ඒ අයව පරමාදර්ශී චරිත බවට පත්කර ගැනීම ඕනෑම රටකට ‍පොදුයි. සමනලී ෆොන්සේකා මේ කරන හඬ නැගීම ඔබේ රසික පිරිස කෙබඳු ආකාරයට පිළිගනීවිද?
මම වෘත්තීය නිළියක්. මගේ රැකියාව මට ලැබෙන චරිතය හොඳින් රඟපාන එක. මට කවදාවත් ජනප්‍රිය නිළියක් වීමේ අවශ්‍යතාවය නැහැ. ජනතාවගේ ආදරය දිනා ගැනීම මට අවශ්‍ය නැහැ. මම නිළියක් නොවී සිටියා නම් ඒත් මේ මොහොතේ මම මේ හඬ නැගීමට එකතු වේවි. මගේ හඬ නැගීම කාන්තා අයිතිය ගැන බවත් ඒකට මේ අවස්ථාවේ සුදුසුම මාතෘකාව මෙය බවත්, මා පුන පුනා කියනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්නට හඬ නැගූ අය අතර එදා ඔබත් සිටියා. අද ඔබ ඔහුට එරෙහිව නැගී සිටිනවා.
අප එදා ඒකරාශී වූයේ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව හඬ නගන්න. අපි හිටියේ ස්වාධීන වේදිකාවක. ඒ මොහොතේ තිබුණු විකල්පය මෛත්‍රීපාල සිරිසේන. නමුත් මේ ධනවාදී දේශපාලන ක්‍රමය යටතේ මෛත්‍රීපාල සිරිසේන රජය තුළිනුත් වැරදි විය හැකි බව අප එදා දැන සිටියා. තනතුරු ගන්න, වාසි ලබා ගන්න ‍නෙවෙයි අපි නැගී සිටියේ. ඒ හින්දා එදාම අපේ තීරණය වුණේ යම්දාක මෛත්‍රීපාල සිරිසේන රජයෙන් යම් වරදක් වුණොත් ඊට එරෙහිවත් නැගී සිටින බව. අද මේ සිදුවන්නේ එය. පැහැදිලිව කිව යුතු දෙයක් තියෙනවා. දේශපාලනයට පිවිසීමේ අරමුණින් මෙබඳු ක්‍රියාකරන අය ඉන්නවා. ඒත් මම එතැන නැහැ.‍

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!