Gossip

“අපේ ගේ බේර ගත්ත විතරක් නෙමෙයි අද අපිට කන්න දෙන්නෙත් මේ අය තමයි” – මිනිස්සු ගහන්න එද්දී මුස්ලිම් පවුල් රැක්ක සිංහල කෙල්ල ගැන හලීමා කිව්ව කතාව

“පෙට්රල් බෝම්බ සද්දේ එනකොට මට දැනුණේ පුදුම මර බයක්. අපි මැරුණා කියලා තමයි මට හිතුණේ. ඉස්සරහ ගෙදර සුජීවනී නංගි එයාගේ ගෙදරට අපිව දා ගත්තේ නැත්නම් අපිට වෙනදේ දන්නේ දෙයියෝ විතරයි. අපේ පවුලත් එක්ක මුස්ලිම් පවුල් තුනක් මේ ගෙදර ආරක්ෂාව ලැබුවා.”

පසුගිය සඳුදා (මැයි 13) රාත්‍රියේ දියත් වූ මුස්ලිම් විරෝධී ප්‍රහාරය හමුවේ සිංහල පවුලක් තමන්ට ආරක්ෂාව සැලසූ අයුරු නාත්තණ්ඩිය තුම්මෝදර පදිංචි ඒ කේ. හලීමා සිහිපත් කළේ එලෙසිනි.

“ඒ ගේ සිංහල ගෙයක්… සිංහල ගෙයක්…” හලීමා පවසන පරිදි ඇයගේ නිවෙසට එල්ල වීමට ගිය ප්‍රහාරය වැළකී ඇත්තේ ද සිංහල පුද්ගලයකු විසින් මාර්ගයට පැන කරන ලද එම ප්‍රකාශය හේතුවෙනි.

හලීමා ඇතුළු පවුලේ සාමාජිකයන් මේ වනවිටත් රැඳී සිටින්නේ සුජීවනීගේ නිවහනේය.

“අපිව, අපේ ගේ බේර ගත්ත විතරක් නෙමෙයි අද අපිට කන්න දෙන්නෙත් මේ අය තමයි. මේ දැන් තේ එක බිව්වෙත් මෙහෙන්. අපි මේ අයට ණය ගැතියි.” හලීමා හැඟුම්බරව පවසන්නීය.

හලීමාගේ කෘතවේදී අදහස් දැක්වීම ගැන ප්‍රතිචාරය පළකරමින් සුජීවනී චන්දිමා පවසන්නේ, තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් “අවශ්‍ය මොහොතේ” සිය අසල්වැසියා වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව නිහතමානීව සතුටු වන බවය.

“සිංහල අය ගහන්න එද්දී හලීමාගේ පවුලේ හතරදෙනත්, තවත් මුස්ලිම් පවුලකුත් අසරණ වෙලා හිටියේ. අපි දන්නවා මේ අය බේරාගත්තම අපිට ගැටලු එනවා කියලා. නමුත් අපි ඒ වෙලාවේ හිතුවේ අපේ ජීවිතවලට වඩා මේ අයගේ ජීවිත ගැන.”

සුජීවනී චන්දිමා මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීමට මුලින් මැළිකමක් දැක්වූයේ ඒ නිසා විය යුතුය. ඇය පවසන පරිදි ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණ ඇත්තේ ගම්වාසීන් නොවේ.

“මේ අය මුස්ලිම් අයට ගහලා ගියාට පස්සේ අපිට වෙන්නෙ මොකක්ද කියලා හිතුවද? අපි අවුරුදු ගාණක් කිසිම ගැටලුවක් නැතුව ජීවත් වුණා. නමුත් දැන් අපිට මේ තත්ත්වය ගැටලුවක්.”

සුජීවනීගේ නිවෙසේ රැකවරණ ලද පවුල් අතර මොහොමඩ් රිස්වි ඇතුළු පවුලේ සාමාජිකයෝ වූහ.

“හතර වටින් කෑකෝ ගහගෙන එද්දී අපිට දුවන්න තැනක් හොයා ගන්න බැරිවුණා. මම දුවන්න තැනක් හොයද්දි සුජීවනිගේ මහත්තයා කුමාර අපේ ගෙදරට ආවා. ඇවිල්ල කිව්වා හතරවටෙන් ගහගෙන එනවා අපේ ගෙදරට එන්න කියලා. මම මගේ නෝනයි දරුවෝ තුන්දෙනයි එක්ක සුජීවනීලගේ ගෙදරට එද්දී එහෙ තව මුස්ලිම් පවුල් දෙකක් හිටියා මේ අය පොඩි කාමරයක දාලා වහලා හිටියේ. අපිවත් මේ කාමරයට දාලා වැහුවා.” මොහොමඩ් රිස්වි පැවැසීය.

“කාමරේ ඇතුළේ පවුල් තුනක 14 දෙනෙක් හිටියා. කරුවල නිසා, වටේ පිටේ සද්ද නිසා ළමයි බයට කෑ ගහලා ඇඬුවා. අපි දරුවන්ගේ කටවල් තදින් වහගෙන හිටියා. අපේ ගේ ගිනි තියන්න හදද්දී බේරගෙන තියෙන්නේ ඉස්සරහ ගෙදර සිංහල පවුලේ අය. ගිනි තියන්න ආපු අයට ඒ අය වැඳලා කියලා තියනවා ගිනි තියන්න එපා කියලා. ඒ නිසා තමයි මේ පිරිස ගිහින් තියෙන්නේ.”

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මොහොමඩ් රිස්වි ඇතුළු තුම්මෝදර, මැල්ලකැලේ ප්‍රදේශවාසීන් එක්ව පහන් දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට කටයුතු කළහ. මරාගෙන මැරෙන ප්‍රහාරය හෙළා දකිමින් එල්ලූ බැනර් සහ සුදු කොඩි ගමේ පල්ලියේ මෙන්ම ගමේ තැන තැන දැනටත් ඉතිරිව තිබේ.

මොහොමඩ් රිස්විගේ බිරිය ෆාතිමා රිස්වියා සඳහන් කළේ මේ සිදුවීම්වලට සමස්ත සිංහල ජනතාව වගකිවයුතු නොමැති බවය.

“බලන්න අපිව බේර ගත්තේ කවුද? සමහරවිට අපිව හැංගුවේ නැත්නම් කොට්ටරමුල්ල ගමේ වුණා වගේ සිදුවීමක් මෙහෙත් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට ලොකු හානියක් වුණත් බහුතර සිංහල ජනතාව මේ තත්ත්වයට වගකියන්න ඕනෑ නැහැ කියලා අපි දන්නවා. ඒ වගේම අපිට ඒ අයත් එක්ක වෛරයක් නැහැ.” නාත්තණ්ඩිය, තුම්මෝදර සහ මැල්ලකැලේ සිංහල සහ මුස්ලිම් ජනතාව සහජීවනයෙන් දිවි ගෙවන ප්‍රදේශ දෙකකි. එහෙත් පසුගියදා එල්ලවූ ප්‍රහාර හේතුවෙන් එකී සහජීවනයට බරපතළ කළු පැල්ලමක් එක්වූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය.

මේ අතර හලාවත රදගුරු වැලන්ස් මෙන්දිස් හිමිපාණන් තුම්මෝදර ප්‍රදේශයේ කරන ලද සංචාරයක් අතරතුර හලීමාගේ අත්දැකීම හෙළි කළේ තුම්මෝදර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සුමිත් ප්‍රේමකුමාර විසිනි.

“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හලීමලා කිව්වා අපේ මූණ බලන්න බැහැ කියලා. අපෙන් සමාව ඉල්ලුවා. නමුත් අද අපිට හලීමලගේ මුණ බලන්න බැහැ. මම සමස්ත ජාතිය වෙනුවෙන්ම අත් දෙක වැඳලා ඉල්ලන්නෙ මේ සිදුවුණු දේට අපිට සමාව දෙන්න කියලයි.”

තුම්මෝදර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා පවසා සිටියේ “අපි පුළුවන් තරම් උත්සාහ කළා පිට ගම්වලින් මේ ගමට එන පිරිස වළක්වන්න. නමුත් පිරිස වැඩි නිසා යමක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ අය ඇවිල්ල ගහගෙන ගහගෙන ගියා. පල්ලි දෙකටම ගැහුවා. හැබැයි අපිට පුළුවන් වුණා අපේ ගෙවල්වලට මේ අය දාගෙන ‍ෙදාරවල් වහගන්න. මේ සිංහල ගෙයක් කියල ගෙවල් කීපයක් බේරගන්නත් අපිට හැකිවුණා. ඒ අය කඩල බිඳලා දාලා ගියේ මේ ගෙවල්, පල්ලි විතරක් නෙමෙයි. අපේ හදවත් ඒ අතර තියෙනවා.”

මේ වන විට මෝදර ප්‍රදේශයට නාවික හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සති තුනකට පසු දියත් වූ මුස්ලිම් විරෝධී රැල්ල දේශපාලන වුවමනාවක් මත සිදුවූ බවට සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ලවේ. එකිනෙකා කෙරෙහි බිය සැක ඇතිවන ආකාරයෙන් පුවත් වාර්තා කළ බවට ඇතැම් මාධ්‍ය ආයතන ද චෝදනාවට ලක්වෙමින් පවතී. අසූතුනේ “කළු ජූලිය” අතරතුරදී මෙන් පසුගියදා දියත් වූ ප්‍රහාර අතරතුර ද කොල්ලකෑම් සිදුව ඇති බව තවත් එක් චෝදනාවකි.

බී.බී.සී. (සිංහල)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!