Gossip

අපිට ඇත්තටම ආදරේ කරන අය හොයාගන්න හරිම අමාරුයි – ළඟදි බඳින්න ඉන්න සජිත පෙම්වතිය ගැන කියපු දේ

විවාහයට කලින් සජිත පෙම්වතිය එක්ක සමරපු අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද?
ඔව්, අපේ යාළුවෝ කීප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා. ඒක ලොකුවටම සැමරුවේ නෑ. ඒත් හැමෝම එක්ක සතුටින් සැමරුවා.

ඔය සාදය සජිතම සැලසුම් කරපු එකක්ද?
මේක අපි ප්ලෑන් කරලා කරපු දෙයක්. බුවිනිකාගෙයි මගෙයි උපන්දින තියෙන්නේ එක ළඟ. මගේ උපන්දිනය 11. එයාගේ උපන්දිනය 17. අපි කල්පනා කළා මගේ උපන්දිනය දවසේ යාළුවන්ට පාටියක් දෙමු කියලා. බුවීගේ උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසෙකට දානයක් දුන්නා.

සජිත තව ටික කාලෙකින් තනිකඩ ජීවිතේට සමුදෙනවා නේද?
ඔව්නේ, තව ටික කාලයයි තනිකඩ ජීවිතේ තියෙන්නේ. ඊට පස්සේ ලබන අවුරුද්දේ මම විවාහකයිනේ.

සජිත ඕනේ තරම් රටේ ලෝකෙ ඇවිදලා ඇති. ඕනේ තරම් තරුණියන් ආශ්‍රය කරලා ඇති. ඇයි බුවිනිකාවම තෝරා ගත්තේ?
මට ඇත්තටම ආදරේ හිතුණු අය හරිම පොඩි සංඛ්‍යාවක් ඉන්නේ. ඒ අතරින් බුවී විශේෂ වුණා. මාව හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එයා. මගේ තනිකඩ ජීවිතේ ඉවර වෙනවා කියන එකට එයාගෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මම එයාගේ වැඩවලට සපෝට් කරනවා. එයා මගේ වැඩවලට සපෝට් කරනවා. මම විවාහයකට යනවා කියලා මගේ ඔළුවේ ඒ දේ හිරවෙලා නෑ. හරිම සැහැල්ලුවෙන් ඉන්නේ.

කලා ක්ෂේත්‍රයේ ඉන්න අය ගැන එක එක මත තියෙනවානේ. එහෙම දේවල් තියෙද්දීත් බුවිනිව යාළු කරගන්න එක අමාරු වුණේ නැද්ද?
ලේසියෙන් ලබාගන්න පුළුවන් දේවල එච්චර වටිනාකමක් නෑ. අමාරුවෙන් ලබාගන්න දේවල්වල වටිනාකම වැඩියි. බුවී කලින් මං ගැන දන්නෙත් නෑ. සජිත ඇන්තනී කියලා කෙනෙක් ඉන්නවද කියලවත් දන්නේ නෑ. එයා ලංකාවේ නෙවෙයි හිටියෙත්. මම එයා එක්ක කතා බහ කරනකොට මගේ ගතිගුණවලට එයා කැමැති වුණා. අපිට ඇත්තටම ආදරේ කරන අය හොයාගන්න හරිම අමාරුයි. සමහර අය මම කරන සිනමා චරිතවලට ආදරේ කරනවා. තවත් සමහර අය ජැක්සන් ඇන්තනීගේ පුතාට ආදරේ කරනවා. ඒ අතරින් ඇත්තටම මටම ආදරේ කළා බුවී.

අයියයි අක්කයි ඔයයි තුන්දෙනාම එකම දවසේ විවාහ වෙනවානේ. සජිතගේ තනිකඩ ජීවිතේ අවසන් කරන්න තියෙන හොඳම කාලේද ඒ?
මට දැන් අවුරුදු 27ක් වෙනවා. ගෙදර අයට, ප්‍රේක්ෂකයන්ට මම තාම පොඩි ළමයෙක් වගේ හිතෙන්නේ. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ක්ෂේත්‍රයේ හිටපු නිසා. හැබැයි එයාලට හිතුණට මට එහෙම හිතෙන්නේ නෑ. මොකද දැන් මම ඩිග්‍රි එක කරලාත් ඉවරයි. මාස්ටර්ස් කරන්න රට යන්න හිතාගෙන ඉන්නවා. ඊට කලින් කොහොමත් විවාහ වෙන එක හොඳයි.

පුංචි තිරයේ වැඩිය දකින්න නැති සජිත මේ දවස්වල නම් පුංචි තිරයේ පේන්න ඉන්නවා
ඔව්, මම ටෙලිනාට්‍ය කරලා තියෙන්නේ හරිම අඩුවෙන්. ටෙලිනාට්‍ය දෙකක් වගේ කළේ. කණාමැදිරියෝ කියලා ටෙලිනාට්‍යක් කළා. ඒක දැන් විකාශය වෙනවා.

පුංචි තිරයේ වැඩිපුර දකින්න නොලැබෙන හේතුව මොකක්ද?
ටෙලිනාට්‍යයක් කරන්න විශාල කාලයක් යනවා. මම කැම්පස් එකේ ඉගෙන ගනිද්දී මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. ඇත්තටම සමහර ආරාධනා හරිම අකැමැත්තෙන් ප්‍රතික්ෂේප කළේ. මොකද හොඳ ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. හැබැයි ඉදිරියේදී මාව ටෙලිනාට්‍යවලින් දැකගන්න පුළුවන් වෙයි. දෙවැනි පාර උසස් පෙළ කරන ගමන් ජන සන්නිවේදනය පිළිබඳව ඩිප්ලෝමාවක් කළා. ඒවත් එක්ක තමයි ටෙලිනාට්‍යවලට තියෙන කාලය අඩු වුණේ. මොකද කලාකරුවෙක්ට කලා හැකියාවට අමතරව අධ්‍යාපනික සුදුසුකම් කියන දේත් අවශ්‍යයි. ඒක මං අප්පච්චිගෙන් ඉගෙන ගත්තේ.

සජිත වැඩිපුරම කැමැති සිනමාවටද? වේදිකාවටද?
වේදිකාවට ඕනම නළුවෙක් කැමැතියි. වේදිකාව කියන්නේ කට්ට කාගෙන කරන්න ඕනේ දෙයක්. සිනමාව කියන්නේ අපිව ප්‍රේක්ෂකයා වෙත දැවැන්තව ගෙනියන මාධ්‍යයක්. ඒක ඇත්තටම උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්.

ඔබව මහසුපින වේදිකා නාට්‍යයෙනුත් දකින්න ලැබෙනවා. ඒත් ඔබව මෙදාපාර දකින්න ලැබුණේ නෑ?
මහසුපින කියන්නේ මට ලැබුණු සුවිශේෂි අවස්ථාවක්. මම ඒකෙ චරිතයකට පණපොවමින් හිටියා. හැබැයි සිනමාවේ වැඩත් යම් යම් කාර්යබහුලවීම් ඇති වුණු නිසා 16 වැනිදා තිබ්බ දර්ශනයේ රඟපාන්න වුණේ නැහැ. ඒ වෙනුවට මගේ චරිතය වෙන කෙනෙක් කළා. ඉදිරියේදී ඇතුගල සර් එක්ක එකතුවෙලා වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අලුත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ප්‍රසන්න විතානගේ ගේ ගාඩි කියලා ෆිල්ම් එකක් කරනවා මේ දවස්වල. ඒකේ ප්‍රධාන චරිතය කරන්නේ මම. මේ දවස්වල කොණ්ඩෙ වවාගෙන එහෙම ඉන්නේ ඒ චරිතයට. ඒකයි මාව සෝෂල් මීඩියාවලින් එහෙමත් දකින්නේ නැත්තේ.

ළඟදී ගීතයක් එහෙම කරන්නේ නැද්ද?
මගෙ ස්වර්ණපාලියේ ගීතය කරලා දැනට අවුරුද්දක් වෙනවා. යූ ටියුබ් එකේ මිලියන දෙකහමාරක් ඒ ගීතය බලලා තිබ්බා. තව ගීතයක් කරනවා මේ දවස්වල. ඒ වගේම විවාහ උත්සවය දවසේ අලුත් ගීතයක් කියනවා.

සජිත, සනුක නදීමාල් එක්ක දැන් වැඩිපුර පේන්නේ නැත්තේ මොකද?
අපිට අපිව පේන්න ඉන්නවා. හැබැයි හැමෝම කාර්යබහුලයි. මමත් මේ දවස් 40කට පස්සේ කොළඹ ආවේ. ඒ කාර්යබහුලත්වයත් එක්ක තමයි අපි කට්ටිය වැඩිය හම්බවෙන්නෙ නැත්තෙ.

ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු
මම ක්ෂේත්‍ර තුනකින් පෙනී සිටිනවා. රංගනය, ගායනය සහ නර්තනය කියන ක්ෂේත්‍ර තුනෙන්ම නිර්මාණ ලබන අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලබන අවුරුද්ද මාව හොඳටම දකින්න ලැබෙන අවුරුද්දක් වෙයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!