Gossip

“අදට මගේ මහත්තයා නැතිවෙලා හරියටම අවුරුදු හතරයි, අපි යාළුවෙලා බැන්දේ, එයා මහත්තයට පිහියෙන් ඇන්නා”

එදා සඳුදා දිනයක් වූ බැවින් කතරගම නගරය තිබුණේ පාළුවට ගොසිනි.
පෙර නිවාඩු දින දෙකේ සිටි බොහොමයක් බැතිමතුන් ඒ වන විටත් සිය ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති සැටියකි.
රාජකාරී ගමනක නිරත වූ මාද කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට ගියේ සැදැහැ සිතිනි. සඳුදා දිනයක් බැවින් නිදහසේ ඒ කටයුත්ත කර ගැනීමට මට හැකියාව ලැබිණි.
මා කිරිවෙහෙරට යනවිටත් අලුයම හයට ලංවී තිබිණි. අඩ අඳුර සමඟ ඇදී එන සිසිල් සුළඟ මා ගතටත් සිතටත් ගෙන දුන්නේ සතුටකි. කිරිවෙහෙර චෛත්‍ය රාජයා හමුවේ මල් පහන් පූජා කළ මම වෙනදා මෙන් චෛත්‍ය වටා ඇවිද යන්නට විමි. ඇය මා නෙත ගැටුණේ මේ අතරය. කිසියම් දැක පුරුදු බවක් ඇගෙන් දිස්විණි.
එය තවත් තහවුරු වුයේ දුටු පමණින් ඇය මා වෙත පෑ සිනහවයි.
“මල් ටිකක් දෙන්නද?”
ඇය මට නෙළුම් මල් පොකුරක් දිගු කරමින් ඇසුවාය. ඒ වන විටත් මා මල් පූජා කොට සිටිය ද ඒ වගක් නොකී මම ඇය අත තිබු නෙළුම් මලක් ගත්තෙමි.
“ඔයා තනියමද ආවේ…”
“ඔව්…”
ඇය ඊට පිළිතුරු දුන්නේ හිස සළමිනි. මෙතරම් පාන්දර තනිව කිරිවෙහෙර වඳින්නට පැමිණි ඇය ගැන මට පුදුම සිතිණි.
“අයියව මට දැකලා තියෙනවා වගේ මතකයි. ඒත් කොහෙද කියලා මතක නැහැ.”
මාද ඇයට එසේ කීවේ ඇත්තෙන්ම ඇය දුටු පමණින්ම ඒ බව දැනුණ ද කවදා කොහේදී ඇය හමුවිණි දැයි මතකයේ රැඳී නොතිබු නිසාවෙනි.
“එහෙනම් ගිය ආත්මයේදී ද දන්නේ නැහැ.”
ඇය එසේ කීවේ මා සිතට කිසියම් කුතුහලයක් මෙන්ම ප්‍රබෝධයක් ද ඇති කරමිනි.
“ඇත්තටම එහෙමද දන්නේ නැහැ.”
“එහෙම ආත්මයක දැන හඳුනගන්න අය මේ වගේ තැන්වලදී ආයෙත් හම්බවෙනවලු.”
ඇය කියන්නට වුවාය.
“ඇත්තද?”
“හ්ම්…”
ඇය ඊට පිළිතුර දුන්නේ හිස සලමිනි.
“අපි මල් පූජා කරමුද?”
ඇය මගෙන් ඇසුවාය. මම නැවතත් මල් පුදා බුදුන් වැන්දෙමි. මෙවන් මොහොතක ඇය මෙසේ හමුවීම මට ගෙන ආවේ පුදුමයකි.
මා බුදුන් වැඳ එතැනින් නැගිට ගත්ත ද ඇය බොහෝ වේලාවක් දොහොත් නළලේ තබාගෙන වඳිමින් සිටියාය. ඇයට ඊට ඉඩදුන් මම පැත්තකට වී ඇය දෙස බලා සිටියෙමි.
“ඇත්තටම මෙයාව මම කොහේදී හරි දැකලා තියෙනවා…. ඒත් කොහේද කියලා මතක නැහැනේ…”
මම මතකය අවදිකරගන්නට උත්සාහ කළෙමි. ඒ සැණින් ඇයද බුදුන් වැඳ අවසන් වී එතැනින් නැගිට මා දෙසට ආවාය.
“මොනවද ඔච්චර වෙලා වැඳලා ප්‍රාර්ථනා කළේ…”
මගේ කතාවෙන් ඇය මඳක් සැළුණාය. ඒ බව මට දැනුණේ එකවරම ඇගේ දෙනෙත් කඳුළින් පිරුණු නිසාය.
“මට ඉල්ලන්න දෙයක් ඉතුරුවෙලා නැහැ අයියේ…”
“ඇයි?”
“ඒක ලොකු කතාවක් අයියේ…”
“ඉතින් කියන්නකෝ.. මාත් ආසයි ඒ කතාව අහන්න….”
ඇය මා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි. අත තිබු ලේන්සුවෙන් කඳුළු පිසදාගත් ඇය යළි මා සමඟ ඇවිද ගොස් කිරිවෙහෙර පාමුල ඉඳගත්තාය. මමද ඊට නුදුරින් වාඩි වුණෙමි.
“හරිම සනීපයි නේද?”
හමා එන සීතල සුළඟ ගතට ගෙන දෙන්නේ සනීපයකි. බෝපත් වලින් නැඟෙන සිහින් සුළං හඬ සිත් තවත් ප්‍රබෝධමත් කරති. හතර වටින් එළිය වැටී තිබේ. කිරිවෙහෙර වැඳ පුදා ගන්නට පැමිණි බැතිමතුන් කිහිපදෙනකු අප පසු කරමින් ගියහ.
ඇය ඇගේ දුක්බර කතාව කියන්නට හඬ අවදි කළේ එලෙසිනි. මම ඇගේ කතාව අසා සිටියෙමි.
“ඒ කිව්වේ…”
“අපි දෙන්නා යාළුවෙලා බැන්දේ.. අපි දෙන්නා හරිම ආදරෙන් හිටියේ… ඒ සතුට කෙනෙක් උදුරගත්තා..”
එසේ කියමින් ඇය නැවත ඉකි ගසන්නට වුවාය.
“ඒ කිව්වේ…”
“එයා මගේ මහත්තයාට පිහියෙන් ඇන්නා…”
“කවුද ඒ…”
“එක් ලොකු කතාවක් අයියේ…. ඔයාට ඒක ඇහැව්වට වැඩක් වෙන්නේ නැහැ.”
“කමක් නැහැ කියන්නකෝ…”
“අපේ ඉඩමට ලොකු ආරවුලක් තිබුණා. වැටේ ප්‍රශ්නයකට ලොකු රණ්ඩුවක් ඇතිවුණා. එතැනදී අල්ලපු ඉඩමේ මිනිහයි මගේ මහත්තයයි රණ්ඩු වුණා. අන්තිමට ඒ මිනිහා මහත්තයට පිහියෙන් ඇන්නා.”
“ඉතිං…”
“ඒ මිනිහා නම් හිරේ ගියා. මට මගේ මහත්තයා නැති වුණා”,
ඇගේ ඉකි ගැසීම තවත් වේගවත් වුවාය. මා ඇය අස්වසන්නට උත්සාහ කළ ද ඉන් පලක් වුයේ නැත. ඇය තවත් හයියෙන් හඬන්නට වුවාය.
“ඔයාට බබාලා නැද්ද?”
“ඉන්නවා…”
කඳුළු අතරින් ඇය එසේ කීවේ වේදනාවකින්ය.
“කී දෙනෙක්ද?”
“එක් කෙනෙක්. පුතෙක්…”
“කෝ දැන් එයා.”
“අම්මා ළඟ තියලා ආවේ. එයා තාම පුංචියි.”
මා සිතට ද වේදනාවක් දැණුනි. ඇගේ කඳුළු සැලීම ද දෙගුණ තෙගුණ වී තිබේ.
“දැන් ඉතින් හඬලා වැඩක් නැහැනේ…. දරුවත්.එක්ක ඉස්සරහට මුහුණ දෙන විදිහයක් තමයි හිතන්න ඕන….”
මා ඇයට කීවද ඇය ඊට කිසිදු පිළිතුරක් නොදී ඉකි ගසන්නට වුවාය.
“දැන් කොහොමද ජීවත් වෙන්නේ…”
මා එසේ අසද්දී ඉකි ගසමින් සිටි ඇය කඳුළු අතරින් හිස ඔසවා මා දෙස බැලුවාය.
ටිකෙන් ටික ඇය යළි යථා තත්ත්වයට පත්වුවාය.
“අපිට පුංචි කඩයක් තියෙනවා. ඒකෙන් තමයි…”
“ඒ කිව්වේ…”
“කතරගම සෙනඟ ආව දවසට හොඳයි…. නැත්තම්.”
ඇය කියන්නට යන දේ මට තේරිණි. ඇය සතුව ඇත්තේ අම්මාට අයත් පුංචි කඩයකි. එහි ඇත්තේ මල් පහන් පුජා වට්ටි පමණි. කතරගම වැඳ පුදා ගැනීමට බැතිමතුන් පිරුණු දවසට මල් හා පූජා වට්ට් මිලදී ගැනීම නිසා ඉන් වැඩි ලාභයක් ඔවුන්ට ලැබේ. ඇය කියන්නේ එයයි.
“මට ආසයි ඔයාගේ පුතා බලන්න.”
මම ඇයට කීවෙමි. ඒත් සමඟම ඇය එතැනින් නැගිට ගත්තාය.
“අනේ ඉතින් යමුකෝ…”
“කොහේද?”
“අපේ ගෙදර….”
“මම ඔයාලා ගෙදර ගියාම ඔයාලගේ අම්මා මම කවුද කියලා බලාවි.”
“අපේ අම්මා එහෙම නැහැ අයියේ. මම කාවවත් අපේ ගෙදර එක්කගෙන ගිහින් නැහැ. මම නිසා තමයි අම්මා දුක් විඳින්නේ. අනේ යමුකෝ අපේ ගෙදර”
හදිසියේ මුණ ගැසුණු ඇය මට ගෙන ආ යෝජනාව මම ඉවත නොදැම්මෙමි. මාද ඇය සමඟ ඇගේ ගෙදරට ගියේ එබැවිනි.
“ඔය පාලමෙන් එහා පැත්තේ තමයි අපේ ගෙදර තියෙන්නේ..”
ඇය කිසියම් සතුටකින් සිටින බව මට දැනිණි. මම ඇගේ ගෙදරට ගියෙමි. අප ඉදිරියට ආවේ ඇගේ වයෝවෘද්ධ මවය.
“කෝ අම්මේ පුතා..”
“හොඳටම නිදි…”
ඇගේ මව එසේ කියමින් මා දෙස බැලුවාය.
“මේ කවුද පුතේ….”
“මේ අම්මේ කොළඹ මහත්තයෙක්. පුතාව බලන්න ආසයි කිව්වා.”
“ආ ඇත්තද…. එන්න පුතේ …ඉඳගන්න.”
ඇගේ මව මට ඉඳගන්නට පුටුවක් ද දුන්නාය.
පුංචි පුතු දෝතට ගත් ඇය බලාපොරොත්තු නොවූ මොහොතක මගේ අතට ඇගේ පුංචි පුතු දුන්නාය.
“හරියට ඔයා වගේ…”
මම පුතා දෙස බලමින් කීවෙමි. ඇය ඊට සිහින් සිනහවක් පෑවාය.
ඇය මට බෙලිමල් වීදුරුවක් ද බොන්නට දුන්නාය. අපි බොහෝ දේ කතා කළෙමු. මම කතරගමට පැමිණියේ මන්දැයි ඇයට කීවෙමි. ආයෙත් දවසක එන බලාපොරොත්තුවෙන්් මම ඇගෙන් සමුගත්තෙමි.
“අයියා ආයෙත් ආවොත් මෙහේ එන්න. කඩවලින් කෑම ගන්න එපා. මම කෑම හදලා දෙන්නම්.”
“එහෙනම් මම ගිහින් එන්නම්.”
ඇගෙන් මෙන්ම මවගෙන් ද සමුගත් මම ඇගේ නිවෙසින් පිටතට ආවෙමි. පුදුමයකි. ඇය ද මා පසුපසින් පාර දෙසටම ආවාය.
“මම මේ තවමත් හිතන්නේ ඔයා කොහේදිද දැක්කේ කියලා…”
මම ඇයට නැවතත් කීවෙමි.
“ගිය ආත්මේ වෙන්න ඇති… ඒ ආත්මෙ අයියා මගේම වෙන්න ඇති.”
මම ඇය දෙස බැලීමි. ඇගේ දෙනෙත් කඳුළින් පිරී පවතී. ඇත්තකි. ඇය හමු වී ඇත්තේ පෙර ආත්මයක බව මට ද හැඟිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!