Gossip

ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි නළුවෙක් වෙන්න සූදානමින් – චිත්‍රපටයක ප්‍රධාන චරිතයක්

ප්‍රවීණ ජනප්‍රිය ගායක එඩ්වඩ් ජයකොඩි පිළිබඳ අලුත් ආරංචියක් අපිට ලැබුණා. හැබැයි ඒ ඔහුගේ සංගීත ජීවිතය ගැන නම් නොවෙයි. එඩ්වඩ් ජයකොඩි සිනමා රංගනයට පිවිසෙන බව තමයි ඒ අලුත්ම ආරංචිය. තිස්ස නාගොඩවිතාන නිෂ්පාදනය කරන සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන ගුත්තිල චිත්‍රපටයේ ගුත්තිල පඩිතුමා විදියට රඟපාන්නේ එඩ්වඩ් ජයකොඩියි. මේ චිත්‍රපටයේ මූසිලගේ චරිතයට පණ ‍පොවන්නේ අඛිල ධනුද්ධරයි. හා හා පුරා සිනමා රංගනයට පිවිසුණාට නළුකම කියන දේ එඩ්වඩ්ට නුහුරු අත්දැකීමක් නොවෙයි. වේදිකාවේ වගේම පුංචි තිරයෙත් රඟපා ඇති ඔහු නළුකමට ආවේ සිංදු කියන්නත් කලිනුයි. හැබැයි එය බොහෝ දෙනෙක් නොදන්නා රහසක්.

ඔබ දැන් සිනමා රංගනයට පිවිසෙනවා කියන පුවත රටටම කියමු නේද?
කියමු…කියමු… මේක තමයි මගේ පළමු සිනමා අත්දැකීම. හැබැයි තිස්ස නාගොඩවිතාන මහතා මේ සඳහා මට ආරාධනා කළේ සෑහෙන කාලෙක ඉඳලා. පිටපතත් එවා තිබුණා. ඒත් මම මේ අවස්ථාවට එකතු වෙනවාද නැද්ද කියන දෙගිඩියාවෙන් හිටියේ. මොකද මගේ විෂය සංගීතය මිස නළුකම ‍නෙවෙයිනේ.

ඒත් නළුකම ඔබට නුහුරු දෙයක් ‍නෙවෙයි නේද? වේදිකාවේ වගේම පුංචි තිරය තුළත් ඔබ මීට පෙර රඟපෑවා?
ටෙලි නාට්‍ය නම් එකක විතරයි රඟපෑවේ. සංජය විතානගේ අධ්‍යක්ෂණය කළ ‘මගේ සඳ ඔබ’ ටෙලි නාට්‍ය තමයි ඒ. වේදිකා නාට්‍ය නම් කීපයකම රඟපෑවා. වේදිකා රංගනයට එකතුවුණේ ගායනයට එකතු වන්නටත් කලින්.

ඔබේ නළුකම ගැන නොදන්නා පාඨකයන්ට ඒ සොඳුරු අතීතය මතක් කර දෙමුද?
ඒක පාසල් වේදිකාව දක්වා දිවයන කතාවක්. මම ඉගෙන ගත්තේ කෑගල්ල ශාන්ත මරියා විදුහ‍ලේ. බන්දු සමරසිංහත් මගේ පන්තියේ ඉගෙන ගත්තේ. සුනිල් ජයන්ත නවරත්නත් මගේ සමකාලීනයෙක්. බුද්ධදාස විතානාරච්චි අපිට වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්. සමරපාල සර් අපිව දාලා පාසල් නාට්‍ය කළා. අපිට යාබද පිහිටි ශාන්ත ජෝශප් බාලිකා විදුහ‍ලේ සහෝදර සිසුවියනුත් මේ සඳහා එකතු වුණා. ඒක හරිම සුන්දර කාලයක්. එතකොට මම පාස‍ලේදීවත් ගායකයකු විදියට මතුවෙලා හිටියේ නැහැ.

ඔබ පාසල් වේදිකාවෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණා නේද?
මගේ පාසල් මිතුරා සුනිල් ජයන්ත නවරත්න තමයි ලයනල් වෙන්ඩ්ට් එකේ ධම්ම ජාගොඩ මහතා පැවැත්වූ රංග ශිල්ප ශාලාවට මාව සම්බන්ධ කළේ. 1975දී සුනන්ද පුෂ්පකුමාරගේ ‘ස්පාටකස්’ නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඉන්පස්සේ ගජමන් පුවත, නරිබෑනා, අංගාරා ගඟ ගලා බසී, සෙක්කුව, නාඩගංකාරයෝ වගේ වේදිකා නාට්‍යවල රඟපෑවා.

ඔබ රංගනය තුළින් සම්මානයට පාත්‍ර වූ අවස්ථාත් තියෙනවා නේද?
1977 යෞවන සම්මාන උළෙ‍ලේදී මොහන්දිරම් හාමුදුරුවෝ’ නාට්‍යයේ ‘මෙහෙකරු හා පූරක’ කියන චරිත රංගනය උදෙසා හොඳම සහය නළුවා ලෙස මම සම්මාන දිනාගත්තා.

ගායනයට එන්නත් කලින් නළුකමට ආ එඩ්වඩ් නළුකමින් ඈත්වුණේ සංගීතය හින්දද?
මට වේදිකා නාට්‍යවල රඟපාන අතරේ අනුර කුමාර එදිරිසූරියගේ ‘මා වැනි බිලින්දා’ වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළා. එතනදී මා පෙන්වූ දක්ෂතාවය නිසා පසුව වේදිකා නාට්‍ය කිහිපයකම සංගීත අධ්‍යක්ෂණයට මට ආරාධනා ලැබුණා. මම සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කා‍ලේ තමයි මේ විදියට වේදිකාවට සම්බන්ධ වුණේ. අවසන් වසර වන විට මම ගොඩක් කාර්යබහුල තත්ත්වයකයි හිටියේ. වේදිකා නාට්‍ය පුහුණුවීම්වලට යන්න කාලය හොයාගන්නත් මට අසීරු වුණා. ඒ හින්දා රංගනයෙන් ටික ටික ඈත් වුණා. සංගීත අධ්‍යක්ෂණය ඊට වඩා පහසු හින්දා ඒ තුළ රැඳුණා. මම ‘කරදිය ගැඹරේ’ ගීතය ගැයුවෙත් ඔය කා‍ලේ. 1977 තමයි සරල ගී ගායකයෙක් වුණේ. දවසින් දවස මම නළුකමින් ඈත්වෙලා සංගීතය මගේ ජීවිතය කරගත්තා.

ගුත්තිල ඇදුරු විදියට ඔබගේ රැඟුම් වගේම ගැයුම් දකින්නටත් අපිට අවස්ථාව ලැබේවි නේද?
ලැබේවි…ලැබේවි…ගුත්තිල පඩිතුමාගේ චරිතය තුළ ගායනයත් තිබෙනවා. මේ චරිතය සඳහා මාව තෝරාගන්න එයත් හේතුවක් වෙන්න ඇති.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!