Gossip

“කාර් එක වතුරට වැටුණාම මම වීදුරුවක්‌ කැඩිලා තිබුණ තැනින් එළියට පැන්නා. මම දැක්‌කා මල්ලී පහළට ඇදිලා යනවා”

වියානා ඇළ ජලකඳ එකම ලෙයින් බැඳි මව පියා සහ පුතුගේ ජීවිත සඟවා ගැනීමට තරම් සාහසික විය.

ඒ සාහසික බව හේමරත්න පවුලට පමණක්‌ නොව කන්ද උඩරටම දුක්‌ ගංඟාවක ගිල්වන්නට මඟ පෑදුවේය.

මේ වියානා ජලකඳ එකම බඩවැල කඩාගෙන එක්‌ව වෙසෙන්නට පෙරුම්පුරා උපන් නෙත්වින අකේෂ් සහ මෙත්වින අකේෂ් සහෝදරයන් මේ භවයේදී වෙන් කරන්නට තරම් අමානුෂික විය.

ඒ වගේම අකේෂ්ට ජීවිත කාලය පුරාවටම මැරි මැරී උපදින තරම්ම මහා දුකක්‌ ඉතිරි කර දෙන්නටත් වියානා ජල කඳ රුදුරු වුණා.

ඔවුන්ගේ පියා චමින්ද හේමරත්න වාහන අමතර කොටස්‌ ව්‍යාපාරයක නියුතුව සිටියේය.

සකුන්තලා ගමගේ ඔහුගේ ප්‍රිය බිරිඳය.

මොවුන් පසුගිය විසිතුන් වැනි බ්‍රහස්‌පතින්දා සිය දහහත් වැනි වියෙහි පසුවන නිවුන් පුතුන් වන නෙත්වින සහ මෙත්වින සමඟ මැණික්‌හින්න හුරිකඩුවේ සිය තාවකාලික නිවසින් අලුයම පිටත්ව ගියේ මහියංගනය වැඳපුදා භාරහාර වන්නටය.

බුදුන් වැඩි මහියංගනයේ පුද බිමෙහි පුද පූජා වන්දනා මාන සියල්ල පවත්වා ඔවුහු ඉන් පිටව ගියේ සිය අවසන් ගමන යන්නට යෑයි කිසිවිටෙකත් නොසිතන්නට ඇත.

තම ව්‍යාපාරයන්හි අවශ්‍යතාවක්‌ මත, කන්දකැටියට ගොස්‌ එම කටයුත්ත ද නිමා කරගත හැකි නම් වඩා හොඳ යෑයි සිතු චමින්ද මහියංගණය බදුල්ල පාරේ මාපාකඩ වැව දහහතේ කණුව අසලින් වැටී ඇති වියානා ඇළ බන්ට්‌ එක දිග ඇති කෙටි පාරෙන් ගමන් කරමින් සිටියදී නොසිතූ ලෙස කාර් රථය වියාන ඇලට වැටුණේය.

ඒකම පවුලේ මව පියා සහ සහෝදරයා දියේ ගිලෙද්දි ජීවිතය බේරා ගත් මෙත්වින සිදු වූ ඛේදවාචකය ගැන කියා තිබුණේ මෙවැනි කතාවක්.

” කාර් එක වතුරට වැටුණාම මම වීදුරුවක්‌ කැඩිලා තිබුණ තැනින් එළියට පැන්නා. එතකොට මම දැක්‌කා මල්ලී පහළට ඇදිලා යනවා. එයා අත් දෙක උස්‌සනවත් දැක්‌කා. මොනවත් හිතාගන්න බැරි වුණා. ටිකක්‌ විතර මට පීනන්න පුළුවන් වුණ නිසා මම ගොඩට ආවා වගේ මතකයි. අම්මයි තාත්තායි සීට්‌ බෙල්ට්‌ දාගෙන හිටියේ ඒ නිසා මොනවත් කරගන්න බැරි වෙන්න ඇතී'”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!