Gossip

මම උසස්පෙළ විභාගය කළ ගමන්මයි අමිල අබේසේකරගේ පෙම්වතිය වුණේ – තිසුරි යුවනිකා

මවගේ අඩි පාරේ යමින් කලාවට පිවිසිලා මේ වෙද්දි ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ ජීවිතේ ලොකුම හීනයක් හැබෑවෙන්න යනවා කියලා ආරංචියක් තිබෙනවා. ඒ එළැඹෙන වසරේ දී ඇයගේ විවාහය සිදුවන නිසා ය.

ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය දියණියවන තිසුරි මාධ්‍ය වෙත කියලා තිබුණේ මෙන්න මේ වගේ දෙයක්…..

ජනප්‍රිය බොහෝ අයගේ දවස ගෙවෙන්නේ නිර්මාණත් එක්කයි. තිසුරිත් දැන් කාර්යබහුල නිළියක් වෙලා ද..?
පහුගිය කාලයේ එක දිගට වැඩ කළා. ඒ නිසා මම සති දෙකක් විතර කිසිම නිර්මාණයකට සම්බන්ධ නොවී විවේකයෙන් හිටියා. නිර්මාණවලට සම්බන්ධ වුණත් ඕනවට වඩා කාර්ය බහුල වෙන්නේ නැහැ.

අම්මටයි තාත්තාටයි ඉන්න එකම දුව තිසුරිනේ. ඒ දෙන්නත් කාර්යබහුල ඇති. ඉස්සර වගේ ආදරෙන් ඉන්න පුළුවන්ද..?
මොන දේ කරත් අපි තුන් දෙනා තවම එකට ඉන්නේ. කොහේ ගියත් කොච්චර කාර්යබහුල වුණත් ඉස්සර වගේ සතුට හොයාගන්න අපිට පුළුවන්. අම්මයි තාත්තයි නිසා තමයි මම නිළියක් වුණේ. මගේ අම්මා මේ තැන හදාගත්තේ තනියම. නමුත් මට අම්මාගේ හෙවණැල්ල අත්වැල තිබුණා. මම තරුණයි කියලා ඒ අත්වැල කඩාගෙන ගිහිං අතරමං වෙන්න කැමති නැහැ. අපි හරිම ආදරණිය විදිහට ජිවත් වෙනවා.

ඔබේ මව නිසා ඔබට විවිධ චරිත ඔස්සේ හොඳ නිර්මාණ රැසකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා කිව්වොත්..?
ඔව්. මම අද නිළියක් විදිහට ජනතාව ඉදිරියේ ඉන්නේ අම්මා නිසා තමයි. නැත්තම් මමත් සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. මගේ වයස තවම 24යි. මේ පුංචි වයසේ දී අම්මාගේ උදව්ව තිබුණු නිසා මම යම් තැනකට ආවා. මගේ දක්ෂතාවය නිසා මට ආරාධනා ලැබුණා. විවිධ චරිත කළ නිසා තමයි මම පුංචි වයසක දී පිට පිට හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ.

ඔබේ පියා ඔබේ රංගනයට නීති දාලා නැද්ද?
කවදාවත් නැහැ. ඒකට හේතුව තාත්තා මාව විශ්වාස කර එක හා මම ඒ විශ්වාසය රැකගෙන ජිවත් වෙන එකයි. අම්මා රංගන ක්ෂේත්‍රයේ හිටපු විදිහ ඉන්න විදිහ තාත්තා දන්නවා. අම්මා රංගනයට ආවේ ගමකින්. නමුත් කවදාවත් නරකක් කරගෙන නැහැ. නමට කැළලක් කරගෙන නැහැ. මට වගකීමක් තියෙනවා අමාරුවෙන් ගොඩ නැගුණු අම්මාගේ නමට හානියක් නොවන විදිහට ඉන්න. එහෙම කරන්න මට අයිතියකුත් නැහැ.කොහේ හිටියත් හරියට ජිවත් වෙනවා නම් වරදක් වෙන්නේ නැහැ.වැරදි කරන අය ගේ ඇතුළේ හිරකරත් වැරදි කරනවා. මම දන්නවා මම ඉන්න ඕන විදිහ.

එතකොට පෙම්වතා..?
එයා කලාව සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් මාව දන්නේ පුංචි කාලේ ඉදලා. අපේ පවුල් දෙකේ සම්බන්ධය හරි හයියයි. අපි ඉන්න විදිහ ඒ අය දන්නා නිසා මට ඔහුගේන්වත් ඔහුගේ ගෙදරින්වත් බලපෑමක් නැහැ. උදව් ලැබෙනවා.

හොඳම යාළුවෙක් ආදරේට යෝජනා කරද්දී මොකද හිතුණේ..?
මගේ තාත්තයි එයාගේ තාත්තයි සෑහෙන කාලෙක ඉඳලා යාලුවෝ. ඒ යාළුකම පවුල්දෙක එකතු කළේ. මම නම් කවදාවත් එයාගෙන් ඒ දේ බලාපොරොත්තු වුණේ නැහැ. මට ආදරෙයි කිව්වා. මම සෑහෙන කාලයක් උත්තරයක් නොදී හිටියා. ආයෙමත් දවසක අහද්දී මම හිතුවා දන්න කෙනෙක් එක්ක විවාහ වෙන එක හොඳයි නොදන්නා අයත් එක්ක විවාහ වෙනවට කියලා. ඊට පස්සේ මම එයාට කිව්වා අම්මාගෙන් අහන්න කියලා. මම අම්මාටත් කිව්වා. අම්මා කිව්වා තාත්තලාගේ බැඳීමට හානියක් වෙන්න දෙන්න බැහැ. තාත්තා කැමති නම් බලමු කියලා. නොහිතපු විදිහට හැමෝම ඉක්මණට කැමති වුණා. මාත් ඉතින් කැමති වුණා.

ආදරේ අත්දැකීම් නැති තිසුරිට ප්‍රථම ප්‍රේමය වෙන්නේ ඔහු. දැන් හිතෙන්නේ නැද්ද ඉස්සර වුණා කියලා..?
නැහැ. මට ඕන තරම් යෝජනා ඇවිත් තියෙනවා. අම්මා මට ඒ ගැන කියද්දී මම කිව්වෙත් නොදන්නා අයත් එක්ක කොහොමද බැඳීමක් ඇති කරගන්නේ අද සමාජයේ දකින්න ලැබෙන දේවල් එක්ක කියලා. ඔය අතරතුර දන්න කෙනෙක්ගෙන් යෝජනාව ආව එක හොදක් හැටියටයි මම දකින්නේ. දැනට එයා හොඳයි. මම ගත්ත තීරණය වැරදි නැහැ. නමුත් විවාහයේ දී මටත් වරදින්න පුළුවන්.. මම දන්නේ නැහැ මගේ හෙට දවස ගැන. කොහොම නමුත් මම දැන් ඉන්නේ සතුටින්.

ඔහු කිව්වොත් රංගනයෙන් ඉවත් වෙන්න කියලා..?
මම නම් හිතන්නේ නැහැ එහෙම කරයි කියලා. මම දිගටම රඟපාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

පුංචි තිරයේදී මුල්ම වරට පෙම්වතිය වෙද්දීත් ඔබට අත්දැකීමක් තිබුණේ නැහැ නේද..?
මම උසස්පෙළ විභාගය කළ ගමන්ම තමයි තිරයේ පෙම්වතිය වෙන්න වුණේ. අමිල අබේසේකර අයියාගේ පෙම්වතිය. මට ලැජ්ජයි. මුහුණ බලන්නවත් හිතෙන්නේ නැහැ. හරිම මෝඩ විදිහට රඟපැවා. අමිල අයියා එදා මට විහිළු කරා හැඟීමක් දැනීමක් නැහැ වගේ ඉන්නේ කියලා. දැන් නම් ගාණක්වත් නැහැ. හුරුයි.

නිළියක් විදිහට ලස්සනට ඉන්න ඕන. ඒත් ඔබ විලාසිතා කරන්නේ අඩුවෙන් නේද..?
චාම් විලාසිතාවලට මම කැමති. සමහර අය නම් මට කෙලින්ම කියලා තියෙනවා ඇයි ඔය විදිහට අඳින්නේ කියලා. ඒත් මට චාම්කම හොඳයි. එකෙත් ලස්සනක් තියෙනවා කියලා මම හිතනවා. ලොකුවට විලාසිතා කළා කියලා ආකර්ෂණය ලැබෙන්නේ නැහැ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!