Gossip

“වාතාවරණයත් එක්ක මළගෙදර එන්න එපා කිව්වා” වෙඩිසිංහව හැප්පුවා කියන සුරාජ් පෙරේරා මාධ්‍යයට කියපු කතාව

ක්‍රීඩා තරඟ කියන්නේ දිණුම් පැරදුම් වගේම විවිධ ආබාධවලට ලක්වෙන තැනක්. මෝටර් බයිසිකල් තරඟවලින් කා අතරත් කතාබහ වුණු ආනන්ද වෙඩිසිංහට තරඟයක් නිසා ජිවිතයටම වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඔහුත් එක්ක කරට කර තරඟ කළ සුරාජ් පෙරේරා ගැන මේ දවස්වල විවිධ විදිහට කතා පැතිරෙනවා. මේ සුරාජ් සමග කළ කතාබහක්.

සුරාජ් නුවරඑළියේ පැවතී තරඟයේදී ආනන්දගේ ජිවිතේ නැති වුණා. එදා තරග ආරම්භය ගැන මුලින්ම කිව්වොත්..?

එදා උදේ කාසිය වාසිය කාටද කියන එක බැලුවේ නැහැ. කොළ උඩ දාලා තමයි කාසිය වාසිය දුන්නේ. ආනන්ද අයියාට ලැබුණේ දෙවැනි ධාවන පථය. මම හත. එතනින් තමයි තරගය පටන් ගත්තේ.

ඔබ දෙදෙනා තරගය අතරතුරදී අනතුරට ලක් වෙනවා. ඒ මොහොත මතක් කළොත්..?

අපි දෙන්නා වට තුන හතරක් දෙවැනි ධාවන පථයේ තරග කළා. අන්තිම තත්ත්පර කිහිපයේදී අපි දෙන්නම වේගවත් වුණා.150ක වේගයෙන්. බයික් එකේ කොණ එක පාරක් වදිනකොට මම වේගය අඩු කරගන්න ගියත් පාලනය කරගන්න බැරි වුණා. මම නෙමෙයි වෙන තරගකරුවෙක් හිටියත් එච්චරයි වෙන්නේ. වේගය එක්ක තමයි අනතුර වුණේ.

ඊට පස්සේ මොකද වුණේ. ආනන්ද ඇදගෙන වැටුණත් ඔබ එතැනට ආවේ නැහැ කියලයි කවුරුත් කියන්නේ..?

එළියේ ඉදලා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් අපි කව්රුත් හිතන්නේ තරගය අවසන් කරන්නයි. අනතුර වුණ වෙලාවේ මාවත් ඇදගෙන වැටුණා. නමුත් ආනන්ද අයියා බරපතල තත්ත්වයක කියලා කවුරුත්ම දන්නේ නැහැ. මමත් ඒ මොහොතේ නැගිටලා තරගයට යළිත් අවතීර්ණ වෙන්න උත්සහා කළා. නමුත් මට දැනුණා මටත් නැගිට ගන්න බැහැ බයික් එක අල්ලන්නවත් බැහැ කියලා. ඒත් මම බයික් එක කෙලින් කරගෙන පැඩොක් එක ළඟට ගියා. ඒ ගමන්ම මාව එතැනින් ඉවත් කරලා ගිලන් රථයට දාගෙන පස්සේ ආනන්ද අයියා ඉන්න තැනින් අයියාවත් දාගත්තා. ආනන්ද අයියා ඒ මොහොතේ වේදනාවෙන් කෑ ගැහුවා මගේ කකුල කියලා.

ඔහු අනතුරෙන් ඇදගෙන වැටුණත් ඔබ ඒ ගැන බැලුවේ නැහැ කියනවා..?

කවුරු ගියත් ක්‍රීඩකයකු අනතුරට පත් වෙන මොහොතක ඔවුන්ගේ හෙල්මට් හෝ සපත්තුවත් ගලවන්න බැහැ. නීතියෙන් තහනම්. ඩොක්ටර් කෙනෙක් එනකල්. මම එතැනට නොගියේ හිතාමතා නෙමෙයි. එයාට ඒ තරම් අමාරුවක් තියෙනවා කියලා කිසි කෙනෙක් හිතුවේ නැහැ. මමත් හිතුවේ නැහැ.

ඔබ හිතාමතාම අනතුරට පත් කළා කියලා කතාවක් පැතිරෙනවා..?

මම ආනන්ද අයියාව දන්නේ අවුරුදු 10ක ඉදලා. මම ඔහුත් එක්ක මෙච්චරකල් තරග කළා. නුවරඑළියේ තරගවලින් අපි දෙන්නා අතර තමයි හැමදාම තරගේ තිබ්බේ. කවුරුත් දිනන මානසිකත්වයෙන් යන්නේ. එහෙම නැතුව තරගකරුවන්ව අනතුරට ලක් කරලා දිනන මානසිකත්වයෙන් නෙමෙයි. එහෙම කරන්නත් බැහැ. මේක තරගයක්. තරගයේදී තරගකරුවෙක් අනතුරට ලක් වුණා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. මම එදා අනතුරට ලක් වෙලා මැරුණා නම් අද උත්තර දෙන්න වෙන්නේ ආනන්ද අයියාට. අද අයියා නැහැ. මට හැමෝටම උත්තර දෙන්න සිදු වෙලා. මේක අත්වැරදීමක්.

ඔබ ඔහුට අවසන් ගෞරව නොදක්වන්න නොගියා කියන්නේ ඇත්තද..?

ඔව්. මම ගියේ නැහැ. මම ඔහුගේ අයියාට කතා කළා. ඔහු කිව්වා තියෙන වාතාවරණය එක්ක එන්න එපා කියලා. මොනදේ වුණත් ආනන්ද අයියා අද නැහැ. අනවශ්‍ය විදිහට කතා හදන එකෙන් වෙන්නේ අයියාට අගෞරවයක් කිරීමයි. මේ වේදනාව තියෙන්නේ මටවත් පිට අයටවත් නෙමෙයි. එයාගේ පවුලේ අයට. නොහිතපු විදිහට ආනන්ද අයියා අපි හැමෝගෙන්ම සමුගත්තා. මේ වගේ අනතුරක් වෙලා නැති නිසා මමත් ඉන්නේ කම්පනයෙන්. ආනන්ද අයියාගේ බයික් එක මගේ බයික් එකට වැදිලා අනතුරට ලක් වුණානේ කියන සිතුවිල්ල තියෙන්නේ මටයි. මම ඒ ගැන කනගාටු වෙනවා. අඩු තරමින් අවසන් ගෞරව කරන්නවත් බැරි වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!