Gossip

Suicide is not an option – සිය දිවි නසා ගැනීම විකල්පයක් නොවෙයි

මෙම පින්තූරයේ දෙපස සිටින ඔබ හොඳින් හඳුනන දෙදෙනා දෙස නොව එලිසබෙත් ඈන් වෙලාස්කියු හෙවත් ලිසී වෙලාස්කියු (Lizzie Velasquez) දෙස අවධානයෙන් බලන්න.
අවුරුදු 17දී ලොව විරූපීම කත (world’s ugliest woman) ලෙස නම් කර youtube වෙත එක කර තිබු ඇගේ වීඩියෝවට සිය දිවි හානි කරගන්නා ලෙස යෝජනා කරමින්, ඇය කලලයක සිටි අවදියේදී ගබ්සා කර නොගැනීම පිළිබඳව ඇගේ දෙමව්පියන්ට දෝෂාරෝපණය කරමින් විශාල පිරිසක් අදහස් එක කර තිබුණා.
නමුත් ඇය සිය දිවි නසා ගත්තේ නෑ.
වෛද්‍යවරුන් විසින් කිසිදාක දෙපයින් නැගීසිටීමට හෝ කතා කිරීමට හැකියාව නොලැබෙනු ඇතැයි සිතු ලිසී, කනසල්ලට සහ මානසික පසුබෑමට ලක් වන තමන් වැනිම අත්දැකීම් වලට මුහුණ පෑ අයගේ චිත්ත ධෛර්ය නංවාලීම සඳහා අභිප්‍රේරණ (motivation) දේශන සහ වැඩමුළු පවත්වන්නියක බවට පත්ව ලොව පුරා ආදරය දිනා ගනිමින් තවමත් ජීවත් වෙනවා.
ජීවිතේ ඔබ, මම, අපි හැමකෙනෙක්ම එක්වරක් හෝ ජීවිතෙන් පලා යායුතු යයි සිතෙන අහිමිවීම්, අසමත් වීම් , කලකිරීම්, පරාජයන්, තනිවීම්, අසාධාරණයන් අත්විඳලා තියෙනවා.
සියදිවි නසා ගන්න මට්ටම දක්වා නොගියත් සමාජයේ හැමකෙනෙකුම වගේ ජීවිතයේ එක් අවධියක හෝ තදබල මානසික පීඩාවන්ට ලක්වුවන්.
ඒ නිසා මානසික ආතතියට පත්වීම වසන් කල යුතු නැතිනම් තනිව විසදුම් සෙවිය යුතු තත්වයක් නොවෙයි.
ඔබට කලකිරීමක්, දරුණු මානසික පීඩාවක් හෝ සියලුදෙයින් මිදී පලා යායුතු යයි හැඟෙ නම් ඔබට විශ්වාස කල හැකි, ඔබව තේරුම ගත හැකි යයි සිතෙන ඔබේ පවුලේ කෙනෙකුට, මිතුරෙකුට , පෙම්වතා හෝ පෙම්වතියට , ගුරුවරයෙකුට හෝ ඔබ ගරු කරන වෙනත් කෙනෙකුට ඔබේ තත්වය පවසන්න.
හැකිනම් මහරගම පිළිකා රෝහල වෙත ගොස් මරණය වෙත දින ගනිමින් සිනහමුසුව, චිත්ත ධෛර්යයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන මිනිසුන් දෙස බලන්න.
කරුණාකර සියදිවි නසා ගත හැක්කේ ශක්තිමත් සහ වඩා දයාබර මිනිසුන්ට යන මතය සමාජගත කරන්න උදවු වෙන්න එපා.
මුහුණු පොත හරහා සියදිවි නසා ගැනීමට අනුබල දෙන ප්‍රකාශ බෙදාහරින්න එපා.
ප්‍රේමයෙන් පරාජය වූ තරුණ තරුණියන් අඬා වැලපෙන, සිය දිවි නසා ගන්නා රූප රචනා සහිත ගීත ප්‍රතික්ෂේප කරන්න.
ඔබේ සමීපතමයකු වෙනස් හැසීරීමක්, නැතිනම් තදබල ලෙස කලකිරීමට ලක්වූ බවක් පෙන්නුම් කරයි නම් ඒ මොහොතේම ඔහු හෝ ඇය මුණගැසී කතා කරන්න, දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
එක් ඇමතුමකට, මිතුරු පෙළඹවීමකට, විශ්වාසදායි අගකිරීමකට කොටින්ම ඔබේ එක දයාබර වචනයකට අකාලයේ මිලින වන්නට යන ජීවිතයක් බේරාගන්න පුළුවන්.
රූමත් උපාධිධාරිනියක නැතහොත් කඩවසම් රංගන ශිල්පියකු විසින් තම දහසක් හිත් රිදවීම් හා ගැටලුවලට එකම විසඳුම ලෙස තෝරා ගත් පමණින් සියදිවිනසා ගැනීම අතිශය සුන්දර සහ ආකර්ශනීය සංසිද්ධියක් බවට පත්වන්නේ නෑ.
ඔබ වටා සිටින සාර්ථක ව්‍යාපාරිකයින්, දක්ෂ වෘත්තීකයින්, ආකර්ශනීය පුද්ගලයින්, ශක්ත්මත් පෙම් සබඳතා සහ සාර්ථක විවහා දිවියක් ගත කරන්නන් ඇතුළුව ලෝකයේ සියලුම දෙනා ඔබ අත්විඳ තිබෙනවටත් වඩා දරුණු වේදනාවන්, පරාජයන් , කලකිරීම් අත්විඳ තිබෙනවා. නමුත් ඒ අය සියල්ලෙන් ගැලවීමට ඇති පහසුම මාර්ගය ලෙස සියදිවි නසා ගැනීම තෝරාගත්තේ නෑ.
ඔබ වටා සිටිනා උදවියට තවම ඔබේ වටිනාකම පෙනෙන්නේ නැති විය හැකියි, ඔබට අවැසිම විටක ඔබ හුදකලා වී ඇති බව දැනෙන්නට පුළුවන්.
ඒ අසීරුම මොහොතේදී ඉවසන්න. ජීවිතය යනු ඔබ දුර්වල වන ඒ එක මොහොත පමණක් නොවෙයි. ජීවිතයේ ඔබට තවමත් මුණ නොගැසුණු කෙනෙකුට ඉදිරියේදී ඔබ අතිශය වටිනා පුද්ගලයකු බවට පත් විය හැකියි. ඔබේ ගැටළු විසඳගන්න, ඔබේ හදවතේ දරුණු තුවාල සුවවෙන්න, ලෝකයටම වටිනා මිනිසකු වන්න ඔබට කාලය අවශ්‍යයි. ඒ නිසා ඉවසන්න.
සිය දිවි නසා ගැනීම කිසිඳු ප්‍රශ්නයකට, දුකකට විසඳුම නොවෙයි. මතක තියා ගන්න සිය දිවි නසා ගැනීම ලෝකයට පෙන්වන්නේ ඔබේ දුර්වලකම..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!