Gossip

ශ්‍රි ලංකා – ඉන්දියා සටනට මොකද මේ වෙන්න යන්නේ..? අද දවස ඉවර වුණු හැටි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නාග්පූර් නුවරදී අද (24 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විටදී පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව ලකුණු 11කට කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය. මුරලි විජේ ලකුණු 2 ක් සහ චෙටේස්වාර් පුජාරා ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමේදී රැස්කළ හැකිවූ ලකුණු සංඛ්‍යාව 205 කි.

ළහිරු ගමගේ එවූ පන්දුවකට පහරක් ගැසීමට යාමේදී පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුව කඩුල්ල වෙත ඇදීඒම නිසා ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් දැවී ගියේය.

තේ පානයෙන් පසුව එක් අවස්ථාවකදී කඩුලු 4 ට ලකුණු 160 ක් ලබා ස්ථාවර මට්ටමක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසිය නිරෝෂන් දික්වැල්ල විසින් වීසිකර දමන ලදි. ශ්‍රී ලංකා ඉනිම දික්වැල්ලගේ දැවීයාමත් සමගින් සුනුවිසුණුවී ගියේය. දික්වැල්ල දැවීයන විටදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 160 ක් ලෙස සටහන් වූ අතර එතැන් සිට පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු හයම ලකුණු 45 ක් තුළ ඇද වැටිණ.

වේගවත් ආරම්භයක් ලබාගත්තද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අපොහොසත්වූ සධීර සමරවික්‍රම ස්ලිප්හී පන්දු රකිමින් සිටි චෙටේස්වාර් පුජාරා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 13 කට දැවී ගියේය. දෙවැනි කඩුල්ල සදහා එක්වූ දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ලකුණු ලබාගැනීමට වඩා කඩුල්ලේ රැඳී සිටීමට උත්සහ ගනිමින් පන්දුවට පහරදුන් අතර පන්දු 121 කදී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 24 ක් පමණි. කඩුල්ල කෙලින් පැමිණි පන්දුවට ස්විප් පහරක් ගැසීමට යාමෙන් පන්දුව කඩුල්ලේ වැදීම නිසා ළහිරු තිරිමාන්න දිවා ආහාරයට මිනිත්තු 6 ක් තිබියදී දැවී ගියේය. පන්දු 58 කට මුහුණදුන් තිරිමාන්නට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 9 ක් පමණි.

දිවා ආහාරයෙන් සුළු මොහොතකට පසුව ලකුණු 10 ක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට රවීන්ද්‍ර ජදේජා සමත්විය. මැතිව්ස් දැවී ගිය බවට තීරණය ලැබීමෙන් පසුව ඔහු විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. එහෙත් එයින් මැතිව්ස් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ සහනය නොලැබිණ.

දිමුත් කරුණාරත්න දෙවරක්ම දැවීයාමට ආසන්නවී ඉන් ගැලවීමට සමත්වුවද තෙවැනි වර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට ගිය දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම අවසන් වන විට ශ්‍රී ලංකා නායකයා පන්දු 122 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57 ක් ලබා සිටියේය.

දිමුත් කරුණාරත්නට තිබුණේ අපූරු වාසනාවකි. ලකුණු 17 ක් ලබා සිටියදී අශ්වින්ගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන පහරක් ගැසූ වමත් පිතිකරුවාගේ උඩපන්දුව චෙටේස්වාර් පුජාරාගේ හිසට ඉහළින් යද්දී පුජාරා එය රැකගැනීමට ඉහළට පැන්නේය. එහෙත් උඩපන්දුව රැක ගැනීමට ඔහුට අවස්ථාවක් හිමි නොවිය. දෙවැනි වර රවීන්ද්‍ර ජදේජාගේ පන්දුවකට ඉදිරියට පැමිණ පන්දුව පිළිගැනීමට ගිය දිමුත් කරුණාරත්න ස්ටම්ප් කිරීමට හසුවූ නමුත් එය නිපන්දුවක් විය.

ආරම්භය මන්දගාමී වූවත් පන්දුවට ඇස හුරුකර ගැනීමෙන් පසුව ලකුණු කරා යාමට උත්සාහ කිරීමේදී දිමුත් දැවී ගියේ මේ වසරේදී ටෙස්ට් ලකුණු 1000 පසුකළ දෙවැනි පිතිකරුවා ලෙසිනි. කරුණාරත්න ටෙස්ට් තරග 12 කදී ලකුණු 1000 ක් ලබා සිටින අතර දකුණු අප්‍රිකානු පිතිකරු ඩීන් එල්ගා ටෙස්ට් තරග 11 කදී ලකුණු 1097 ක් ලබා සිටී. සිය 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ දිමුත් කරුණාරත්න දැවී යන විටදී දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

රවිචන්ද්‍රන් අශ්වින් (67/4) කඩුලු 4 ක්ද රවීන්ද්‍ර ජදේජා (56/3) සහ ඉෂාන්ත් ෂර්මා (37/3) කඩුලු 3 බැගින්ද බෙදා හදා ගැනීමට සමත්වූහ.

මෙම තරගයේදී වෙනස්කමකින් තොරවම පිටියට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය. කොල්කටා නුවරදී පැවැති තරගයේදි ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 දෙනාම මෙම තරගයටත් සහභාගි වන අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.

“මෙම තණතීරුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් උචිත තණතීරුවක් බව පේනවා. මේ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑ” යයි පැවසූ චන්දිමාල්…

“උඩින් තණකොළ ටිකක් තියෙනවා තමයි. ඒත් යටින් වියළියි….පළමු ටෙස්ට් තරගයේ අවසන් කොටසේදී හැරෙන්නට අනිත් වෙලාවල අපි හොඳට සෙල්ලම් කළා. මේ තරගයේදීත් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන්නේ කොහොමද කියලා අපි කතා කරලයි තියෙන්නේ” යයිද පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!