Gossip

ශ්‍රි ලංකා ඉන්දියා සටන ඇරඹෙයි

නව වසරකට පසුව ඉන්දියාවේදී ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වන ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගයට අද (16 දා) කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හිදී සහභාගි වේ. අද තරගය සඳහා කොළ පැහැති තණතීරුවක්‌ සකස්‌ කර ඇති බව ඉන්දියාවෙන් වාර්තා වේ.

2009 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවේදී ටෙස්‌ට්‌ තරග ක්‍රීඩා කර නොතිබුණද එක්‌දින තරග 16 කට අවසන් වසර නවය තුළදී ඉන්දියාවේදී සහභාගි වී තරග තුනක්‌ පමණක්‌ ජයගෙන තරග 12 ක්‌ පරාජය වී තිබේ. 2009 වසරේ සිටි ක්‍රීඩකයන් සිව් දෙනකු පමණක්‌ කණ්‌ඩායම් දෙකේ ඉතිරිව සිටීමද විශේෂත්වයකි.

ඉන්දියාවේ මුරලි විඡේ සහ ඉෂාන්ත් ෂර්මා 2009 කණ්‌ඩායමේ සිටි ක්‍රීඩකයන්ගෙන් ඉන්දියානු සංචිතයට ඇතුළත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ රංගන හේරත් සහ ඇන්ජලෝ මැතිව්ස්‌ පමණක්‌ මෙවර සංචිතයේ ඉතිරිව සිටින පළපුරුදු ක්‍රීඩකයන් වේ.

ඉන්දියානුවන් අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම ලෙස ශ්‍රී ලංකාවට මහත් අභියෝගයක්‌ වුවද එම අභියෝගය වෙනුවෙන් තුරුම්පු සකස්‌ කර ඇති බව ශ්‍රී ලංකා නායකයා සහ පුහුණුකරුවන් පවසයි. අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය ඉන්දියාව හමුවේ 3-0 කින් ඉකුත් සැප්තැම්බර් මස පරාජය වුවද මෙවර කණ්‌ඩායම ඊට වඩා හාත්පසින්ම මුවහත්ව ඇති බව පුහුණුකරු නික්‌ පෝතාස්‌ පවසයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගතහොත් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි හෝ සිව්වැනි ස්‌ථානවලට පැමිණීමේ අවස්‌ථාව ඇතත් ප්‍රබල ඉන්දියානුවන් හමුවේ එම අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්ද යන්න අද තරගය ඇරඹීමෙන් පසුව දැක බලා ගැනීමට හැකි වනු ඇත. ඉන්දියානු ක්‍රිකට්‌ සභාපතිගේ පිල සමග පැවැති දෙදින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට සමත්වීම ටෙස්‌ට්‌ තරගාවලිය සඳහා මානසිකත්වයේ වර්ධනයට පිටිවහලක්‌ වී තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවා වශයෙන් දිමුත් කරුණාරත්න සමග ධනංජය ද සිල්වා හෝ සධීර සමරවික්‍රම ක්‍රීඩා කරවීමේ සූදානමක්‌ තිබේ. දිමුත් කරුණාරත්න 2017 වසරේ වැඩිම ටෙස්‌ට්‌ ලකුණු ලැබූ පිතිකරුවන් අතර තෙවැනි තැනට පත්ව තිබේ. ඔහු මේ වන විට තරග 10 කදී ශතක තුනක්‌ සහ අර්ධ ශතකයක්‌ සමග මුළු ලකුණු 940 ක්‌ ලබා තිබේ. කරුණාරත්නට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකානු පිතිකරුවන් වන හසීම් අම්ලා මුළු ලකුණු 942 ක්‌ද ඩීන් එල්ගාර් මුළු ලකුණු 1097 ක්‌ද ලබා තිබේ.

රංගන හේරත් මෙම ටෙස්‌ට්‌ තරගයේදී තවත් කඩුලු හතරක්‌ බිඳ දැමුවහොත් 2017 වසරේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වේ. හේරත් ගත වූ මාස දහය තුළදී ටෙස්‌ට්‌ තරග 9 කදී කඩුලු 51 ක්‌ ලබා ඇති අතර ඔහුට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාවේ කාගිෂෝ රබඩා කඩුලු 54 ක්‌ බිඳ දමා ඇත. ඉන්දියානුවන්ගේ ප්‍රබලම දඟ පන්දු අවි බවට පත්ව සිටින රවීන්ද්‍ර ජදේජා තරග හතකදී කඩුලු 44 ක්‌ද රවීචන්ද්‍රන් අශ්වින් තරග අටකදී කඩුලු 44 ක්‌ බැගින් බිඳ දමා තිබේ.

මේ වසරේදී ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරග දහයකට සහභාගි වී ජයග්‍රහණ හතරක්‌ සහ පරාජයන් හයක්‌ ලබා ඇති අතර ඉන්දියානුවන් තරග අටකදී ජයග්‍රහණ හයක්‌ සහ එක්‌ පරාජයක්‌ පමණක්‌ ලබා තිබේ. පාකිස්‌තානය සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමෙන් ශ්‍රී ලංකාව යහපත් මානසිකත්වයකින් අද ඇරඹෙන ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගි වන බව නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්‌වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ, සුරංග ලක්‌මාල්, ලක්‍ෂාන් සඳකැන්, දසුන් ශානක, රොෂේන් සිල්වා

ඉන්දියානු කණ්‌ඩායම

විරාට්‌ කෝලි (නායක), අජින්කෙයා රහනේ, රවීචන්ද්‍රන් අශ්වින්, ෂිකර් ධවාන්, රවීන්ද්‍ර ජදේජා, කුල්දීප් යදව්, භුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි, චෙස්‌ටවර් පුජාරා, ලෝකේෂ් රාහුල්, රිදීමන් ෂා, ඉෂාන්ත් ෂර්මා, රෝහිත් ෂර්මා, මුරලි විඡේ, උමේෂ් යදව්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!