Gossip

“පිරිමියා මොන වැරැද්ද කළත් සමාජයෙන් ගැහැණු කෙනාටයි වැරැද්ද පැටවෙන්නේ.. විශ්වාසය දෙදෙනාට රකින්න බැරි නම් ඒ ආදරේ රඳා පවතින්නේ නැහැ.” – Photos

මුහුණු පොතෙන් සමහර රසික-රසිකාවියෝ මගෙන් අහනවා ‘අක්කේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ඔයා ඒ ප්‍රශ්නෙන් ගොඩ ආවේ?’ කියලා ඒ හැම කෙනෙකුටම මම උත්තර දෙනවා.
පුංචි තිරයෙන් සිය කුසලතා ඔස්සේ ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබමින් විටෙන් විට ජනප්‍රිය සම්මානයෙන් ද ඇගැයීම් ලැබූ ශලනි තාරකා විවිධ නිර්මාණ ඔස්සේ නැවත කාර්ය බහුල වෙලා. නිවේදන කටයුතුවලින්ද ඇය මේ දිනවල හරිම ජනප්‍රියයි. රංගනයෙන් නිවේදනයෙන් ඔබේ ආලින්දයට එන ශලනිගේ නවතම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

ඔබ හරිම කාර්යබහුල නිළියක්?
මේ දිනවල තරමක් කාර්යබහුලයි. නාට්‍ය කිහිපයකම රූගත කිරීම් හා විකාශය එකවර ආරම්භ වුණා.

අවිවේකී බවට එතරම් කැමැතිද?
මම කාර්යබහුල වෙන්න කැමැති නැහැ.මොකක් හරි එක වැඩක් කරගෙන ඉන්න තමයි කැමැත්ත. පහුගිය කාලේ මාස තුනක විතර පොඩි විවේකයක් ගත්තා.

රංගනය, නිවේදනය, නර්තනය, ලිවීම වැනි අංශ කිහිපයකින්ම ඔබ කැපි පෙනෙනවා මින් වඩාත් අපහසු?
රංගනයේදී මම තෝරා ගන්නේ මට හොඳයි කියලා හිතෙන චරිත. මෙයින් මට අලුත් වෙන්නේ නිවේදනය. ඉතින් ඒ නිවේදන කටයුත්තට යොමු වෙන්නෙත් පුංචි දරුවෝ හා ඔවුන්ගේ දක්ෂතා එක්ක විනෝදයෙන් ගත කරන්න පුළුවන් නිසා.ලිවීම නම් පුංචි කාලේ ඉඳලම කරනවා. පරිණත වෙද්දි ඒ ලිවීම පොඩ්ඩක් වෙනස් වුණා මිසක් ලිවීම මට ආගන්තුක නැහැ. මගේ මනස එක තැනකට ගත්තොත් හොඳට ලියන්න පුළුවන්.

ළඟකදී මොනවද ලියැවුණේ?
අලුත් සින්දු දෙකක් ලිව්වා. මේ වසර අන්තිමට කලින් ඒ නිර්මාණ එළි දක්වන්න පුළුවන් වේවි. මම නවකතා මීට පෙර ලියලා තියෙනවා.නමුත් පළ කරලා නැහැ. ළඟදි තව නව කතාවක් කොටස් වශයෙන් ලියන්න ගත්තා. එහි කොටස් කිහිපයක් දැනට ෆේස්බුක් එකේ පළ වෙනවා.එයත් පොතක් විදියට ලබන වසරේ එළි දකීවී.

මොන දේ කළත් ජීවිතේ ඒකාකාරී බවක් දැ‍නෙනවා ඇති?
ඒකාකාරී බව නම් අනන්ත අප්‍රමාණව දැනෙනවා. මම පාසල් කාලේදීමයි මේ ක්ෂේත්‍රයට ආවේ. එකම routing එකක්, එකම පිරිසක්, එකම වටපිටාවක්, සමහරවිට දැන් ඇති කියලා එපා වීමකුත් දැනෙනවා.
බොහෝ විට අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් නිර්මාණ නොලැබීම එයට ප්‍රධාන හේතුවයි. මෙතෙක් මට තෘප්තිමත් වෙන්න පුළුවන් නිර්මාණ ලැබිලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. ලෝභකමෙන් කරන නිර්මාණ ලැබෙනවා හරිම අඩුයි. නමුත් මේ හැකියාව, වාසනාව හැමෝටම නොලැබෙන දෙයක් බව මතක් වෙද්දි මතක් වෙද්දි කලාවේ මේ ග්‍රහයා කැරකෙනකම් ඉඳලා ඇති කියල හිතුණු දවසට අයින් වෙයි.

ඒ දවසට මොකද කරන්නේ?
ඒ ගැන තවම කිසි සැලැසුමක් නැහැ. සමහරවිට මම ව්‍යාපාරික කටයුත්තක නියැළේවී.

පහු ගිය කාලය ඔබට ජීවිතයේ බොහො පාඩම් කියා දුන් වකවානුවක්. කොහොමද ඉන් ගොඩ ආවේ?
හැමදේටම බලපාන්නේ අපේ මනස. ඒ කාලේ මම ලොකු පීඩනයකට පත් වුණා. තවමත් හරි නපුරු විදිහට සමාජයෙන් මාව පිඩනයට පත් කරන්න උත්සාහ කරනවා. ඒ යල්පැනපු සිදුවීමෙන් ගොඩ එන්න බැරි පිරිසක් තවමත් අන්තර්ජාලයේ සැරිසරනවා.
එයින් 99% ක්ම පිරිමි නම් තියෙන තවමත් චීත්ත ඇඳගෙන ඉන්න පිරිසක්. ගැහැනු අය කවදාවත් කමෙන්ට් එකකින්වත් හිත රිද්දලා නැහැ.
ඉතිං ඔවුන්ට ඔවුන්ගේ දේවල් ඒ විදියට කරගන්න දීලා මගේ කාලේ ඒ වෙනුවෙන් වැය නොකර මං මගේ ගමන යනවා. අපේ මනස ශක්තිමත් නම්, නිවැරැදි නම් කවුරු මොනවා කිව්වත් ඒ කිසි දෙයක් බලපාන්නේ නැහැ. මට ලොකු යාළුවෝ ගොඩක් නැහැ. එහෙම ඉඳලා ප්‍රශ්නයක් කතා කරන්න එක්කෙනෙක්වත් නැති වුණොත් තමයි ඔය ප්‍රශ්නය බලපාන්නේ.
මගේ වැටීමේදී මාව ඔසවන්න මගේ පවුලේ අය, මම වෙනුවෙන් පෙනී සිටින පිරිස, මගේ සමීපතම යහළුවෝ. පිරිමියා මොන වැරැද්ද කළත් සමාජයෙන් ගැහැනු කෙනාටයි වැරැද්ද පැටවෙන්නෙ. මම නිළියක් සහ ගැහැනියක් වීම නිසාම ඒ බර මගේ පැත්තට වැටෙනවා වැඩියි. ඒ ලංකාවේ සමාජය හැදිලා තියෙන විදිහ වෙන්නැති. මට ගහන්න පුළුවන් ඔක්කොම මඩ මේ වෙද්දි ගහලා ඉවරයි. මං ඒවා හොඳට තේරුම් අරන් ඉන්නේ.

ඒ අත්දැකීම් එක්ක දැන් ඔබ ආදරය, විවාහය යන බැඳීම් කොහොමද දකින්නේ?
අනිවාර්යයෙන්ම ඉස්සරට වඩා වෙනස්. මම යම් කිසි කාලෙක ආදරය කියන දේ දැක්කා නම් දැන් ඊට වැඩිය හැමදේම පදනම් වෙන්නේ විශ්වාසය මත. සමහරවිට ආදරය කියන්නෙත් වචනයක් විතරයි. ආදරය රැඳෙන්නෙත් විශ්වාසය අවබෝධය මත.
විශ්වාසය දෙදෙනාට රකින්න බැරි නම් ඒ ආදරේ රඳා පවතින්නේ නැහැ. විවාහය ගැන කතා කරද්දී එක්තරා කලෙක මම මේ වයසේදී විවාහ විය යුතුයි කියන තැන හිටියා. නමුත් දැන් එහෙම කිසිම හදිස්සියක් නෑ. මම විවාහ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. දෛවයේ කෙනෙක් ලියලා තියෙනවා නම් ඒ විදිහට වෙයි. එහෙම නොවුණොත් මම මේ විදිහට ජිවත් වෙයි.

ජීවිතයේ යම් තැනෙක නැවැතී තවමත් විඳවමින් ඉන්න තරුණියන්ට ඔබෙන් ලැබෙන උපදෙස?
මුහුදු පොතෙන් සමහර රසික රසිකාවියෝ මගෙන් අහනවා ‘අක්කේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ඔයා ඒ ප්‍රශ්නෙන් ගොඩ ආවේ කියලා? ඒ හැම කෙනකුටම මම උත්තර දෙනවා. මේ සමාජයෙන් නොකළ වරදට නින්දා අපහාස විඳින ගැහැනු මම ගොඩක් දැකල තියෙනවා. ඔවුන් අදටත් හැංගිලා හඬමින් ජීවිතය විඳෝනවා.
තමන්ගේ අතේ වැරැද්දක් නැත්නම් ඒ කිසි දේකට බය වෙන්න එපා. මේ සමාජයට මුහුණ දෙන්න. ඒවට මුහුණ දෙමින් ඒ කිසිම දෙයක් ඇහෙන්නෙ නෑ, දකින්නේ නෑ වගේ තමන්ගේ ගමන යද්දි මිනිස්සුන්ට ඒවා දරාගන්න බැරි වෙයි. ගැහැනියක් දුර්වල විය යුතු නැහැ.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!