තරු හුට පට

මමයි මැරුවේ – සේයා ඝාතකයා “කොණ්ඩයා” පාපොච්චාරණය කරයි

2

මීට දින කිහිපයකට ඉහතදී මුළු රටම කම්පා කළ සේයා සදෙව්මි දැරියගේ අමානුෂික  ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රහස් පොලීසිය  හමුවේ පාපොච්චාරණයක් කරමින්, තමන්  දැරිය ඝාතනය කළ බව පවසා තිබේ. දැරියට අතවර සිදුකිරීමෙන් පසු ඝාතනය සිදුකළ බව 32 හැවිරිදි එම සැකකරු පවසා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අයියා මලෝ බව කියැවෙයි.

දෙදෙනාගෙන් බාල සොහොයුරා මෙම ඝාතනය සිදුකළ බව පාපොච්චාරණය කර ඇතැයි පැවසේ.  ඔවුන් දෙදෙනා වනචාරීන් ලෙස හැසිරෙමින් ජීවත් වූ බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. ඝාතනය කළ බව කියන පුද්ගලයා “කොණ්ඩයා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය.

අදාළ සැකකරු හා ඔහුගේ සහෝදරයා ගංජා පානය කිරිම සඳහා දැරියගේ සිරුර හමුවූ ස්ථානයට නිතර යන එන බවට ප‍්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී මෙම පාපොච්චාරණය සිදු කර තිබේ.

දැරියන් පැහැරගෙන ගොස්‌ අතවර කිරීම, මිය ගිය තරුණියකගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීම වැනි විකෘති ආශාවන්ගෙන් පෙළෙන මෙම අපරාධකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැක කරයි. සැකකරුවන් දෙදෙනා කොටදෙණියාව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි බවද පැවසෙයි.

එම සැකකරුගේ සොහොයුරා වන අනෙක්‌ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟවී සිටියදීය. මෙම සැකකරුවන් දෙදෙනාම ඔවුන්ගේ සොහොයුරිය පදිංචි කොටදෙණියාව, බඩල්ගම ප්‍රදේශයේ නිවසට නිතර ආ ගිය බව කියැවෙයි

එම නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්‌වූ සේයා දැරියගේ නිවස ආසන්නයේය.  අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස්‌ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධ බව හෙළි වී ඇත.

ගම්පහ ප්‍රදේශයේ මියගිය 26 හැවිරිදි තරුණියකගේ සිරුර වළ දැමීමෙන් පසු මෙම සොහොයුරන් දෙදෙනා එම සිරුර ගොඩගෙන ඊට අතවර කර ඇති බවද පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. කුලීවැඩ කරමින් ජීවත් වී ඇති මොවුන් දෙදෙනා ජංගම දුරකථනයක්‌ පවා පරිහරණය නොකරන බව කියැවේ.

වැඩිමහල් සහෝදරයා සමන් ලෙසත් අනෙකා දුනේෂ් ප්‍රියශාන්ත ලෙසත් හඳුනාගෙන ඇත. සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනූව පොලිස්‌ නිලධාරීන් මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු සෙවීම ඇරඹීය.
මොවුන් දෙදෙනා හිටිහැටියේම එම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය තවදුරටත් වර්ධනය වීමට හේතුවක්‌ විය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සොහොයුරන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර මුලින්ම වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.  මොවුන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරියද පසුව පොලිස්‌ භාරයට ගත් අතර ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් සාක්‍ෂි රැසක්‌ හෙළිදරව් වී ඇත.

ගම්පහදී වළදැමූ තරුණියගේ සිරුර ගොඩගෙන දූෂණය කළ ස්‌ථානය වෙත සැකකරු රැගෙන ගිය පොලිසිය එම ස්‌ථානයද පරීක්‍ෂා කර තිබිණ.
මේ අතර සේයා ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන බාල සොහොයුරාද ගම්පහ, බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

එහිදී සැකකරු කැලෑවක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිණ. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ කැලෑව වැටලූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ඇතුළුවී සැකකරු අත්අඩංගුවට ගත්තේ ඊයේ දහවල්ය.

පසුව සැකකරු ගෝනියකින් වසා ඔහු ඩිපෙන්ඩර් රථයකින් රැගෙන ගොස්‌ ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි. මෙම සැකකරුවන් දෙදෙනා සේයා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ දැයි සෙවීමට පොලිසිය විද්‍යාත්මක සාක්‍ෂි ලබා ගනිමින් සිටින බව පොලිස්‌ ආරංචිමාර්ග කියයි.
මොවුන් විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන අය බවද කියැවෙයි. සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ සවස ඔවුන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙනැවිත් තිබිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!