Gossip

“වාඩි වෙලා හිටියා, ඉඳගෙන හිටියා, බුදියගෙන හිටියා මිසක් සේමිණී කරපු දෙයක් නැහැනෙ කියලා කියයි”

දශක දෙකක් පුරා නිර්මාණ රැසකට සිය දායකත්වය ලබාදී ඇති සේමිණී ඉද්දමල්ගොඩ පසුගිය විසිහය වැනිදා පැවැත්වුණ ජනාධිපති සම්මාන උළෙලේදි හොඳම නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වෙනවා.
නමුත් එම සම්මානය ගන්නට සේමිණී එම සම්මාන උළෙලට පැමිණ සිටියේ නැහැ. කලාකරුවකුගේ හෝ කලාකාරිණියකගේ බලාපොරොත්තු තැබිය හැකි නිර්මාණයක් සම්මාන උළෙලක නියෝජනය වන අවස්ථාවක එකී කලාකරුවන් සම්මාන උළෙල තුළ රැඳීම සාමාන්‍ය දෙයක් වුවත් සේමිණී තමන්ගේම වූ රාත‍්‍රිය පිළිගන්නට එම උළෙලට ආවේ නැහැ.
මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතු විමසමින් අපි ඇය සමග කතාබහකට එළඹුණා.

තමන්ගේ නිර්මාණයක් සම්මාන උළෙල නියෝජනය කරද්දි සේමිණී ඇයි ජනාධිපති සම්මාන උළෙලට ආවෙ නැත්තෙ?
දැන් අවුරුද්දක පමණ පටන් මම තීරණය කළා ලංකාවේ කිසිම සම්මාන උළෙලකට යන්නෙ නැහැ කියලා.

එවැනි තීරණයක් ගන්න හේතු වූ කාරණය මොකක්ද?
සම්මාන උළෙලවල්වල විනිශ්චයන් ගැන මට විශ්වාසය නැතිවෙලා ගියේ කාලයකට පෙරයි.
ඒකට එක හේතුවක් අවුරුදු විස්සක් පුරාවට හොඳම නිළිය සහ ජනප‍්‍රියම නිළිය කියන සම්මානය මට නොලැබුණ එකනම් නෙවෙයි.
ඔය සම්මාන උළෙලවල්වල පුද්ගලික අවශ්‍යතාවලට සමහරු වැරදි තීරණ දීල තිබුණ තැන් තිබුණ නිසා මම ඒ ගැන කලකිරිලා හිටියෙ.

කෙසේ වුණත් රංගන ශිල්පිණියක ලෙස ඔබට හිමි වටිනාකම මේ සම්මාන උළෙලවල් වලදි නොලැබී ගියා කියන දේ ප‍්‍රකට කරුණක්?
අවුරුදු විස්සක් වෙනව මම මේ ක්ෂේත්‍රයට ඇවිත්. ඔය කාලය පුරාම හැම අවුරුද්දකම වගේ හොඳම නිළිය කියන සම්මානයට මගෙ නම නිර්දේශ වෙලා තියෙනව.
හැබැයි ඒ සම්මානය මට ඊයේ වෙනකම් ලැබිලා තිබුණෙ නැහැ. වේදිකාවේ පමණයි මම හොඳම නිළිය සම්මානය ලබලා තියෙන්නෙ.
ටෙළි නාට්‍යයක රංගනය වෙනුවෙන්වත් මම හොඳම නිළිය වෙලා නැහැ. හැබැයි මට හැමදාම ජනතා සම්මානය ලැබිලා තියෙනව. ඔය කරුණු කාරණා එක්ක අවුරුද්දක විතර කාලයක පටන් මම තීරණයක් අරන් තිබුණා ආයේ කවදාවත් සම්මාන උළෙලවලට සහභාගි වෙන්නෙ නැහැ කියලා.
අපේ රටේ සිදුවුණ පාස්කු ප‍්‍රහාරයෙන් මහා ව්‍යසනයක් සිද්ධ වුණා. තවමත් ඒකට වගකිව යුතු අයට කිසිම දඬුවමක් ලැබුණෙත් නැහැ.
ඒකෙන් අගතියට පත්වුණ අයට කිසිම සාධාරණයක් වුණෙත් නැහැ ඒකට තනිකර වග කියන්න ඕනෑ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225. ඒ නිසා මම කැමති නැහැ ඒ දේශපාලකයන් සිටින කිසිම දෙයකට සහභාගි වෙන්න. අනික කොහොමත් සම්මාන උළෙල පැවැත්වෙන දිනයේ මම හිටියෙ ගාල්ලෙ රූපගත කිරීමකට සහභාගි වෙමින්.

මේ සම්මානය ගැන ඔබට තියෙන හැඟීම කුමක්ද?
මගේ හිතේ සතුටත් තියෙනවා. මෙම සම්මාන උළෙලේ ජූරියට මම ස්තුතිවන්ත වෙනවා මාව ඇගයීමට ලක්කිරීම ගැන.
නමුත් මේක තුළ මම සතුටෙන් යම් දේවල් බලාපොරොත්තු වුණ කාලෙ මට ලැබිය යුතු දේවල් මට ලැබුණෙ නැහැ.
සාමාන්‍යයෙන් මගේ හිත කැමති වෙන දේවල් තමයි මම කරන්නෙ. මේ සම්මාන උළෙලට යන්න මගේ හිතේ කැමැත්තක් තිබුණෙ නැහැ.
නමුත් ඒ අවස්ථාවට සහභාගි නොවීමේ එක දුකක් තියෙනව. මාව මෙතනට ගෙනාව ශ‍්‍රියානි අමරසේන මහත්මිය අතින් තමයි ඔය සම්මානය මට ගන්න තිබිලා තියෙන්නෙ. ඇයගේ අතින් එම සම්මානය ගන්න නොලැබීම තමයි මට තියෙන එකම කනගාටුව.

සුද්දිට නිසි ඇගයීමක් නොලැබීමේ පශ්චත්තාපය ඔබේ හිතේ තියෙන හැඩයි?
බොහොම කාලයකට පෙර ඉඳන් සම්මානයක් බලාගෙන මම කිසිම වැඩක් කළේ නැහැ. හැමදාම මම වැඩක් කරද්දි මගේ අධිෂ්ඨානයක් තිබුණා මම කරන දේ උපරිම කැපවීමෙන් කරලා මගේ උපරිම දක්ෂතාව පෙන්වන්න.
මට එහෙම වුණේ අවුරුදු විස්සක් තිස්සෙ මම ඔය සම්මානය අතට ගත්තෙ නැති නිසයි.
මම හැමදාම හිතුවෙ මම මේ කරනව මදි, මම මීට වඩා හොඳින් මේ දේ කරන්න ඕන, මම මේ සම්මානය ගන්න මීට වඩා දෙයක් කරන්න ඕනෑ,
මම තව ඉගෙන ගන්න ඕනෑ කියලයි.

ඔබ මෙතෙක් රඟපෑ චරිත අතරින් සුද්දි විශේෂ වෙන්නෙ කුමන විදිහටද?
විශේෂයි කියන්නෙ හරිම වෙනස් සහ එය මට ලැබුණ දේවල් අතරින් කරන්න අමාරුම චරිතයක්. පිටින් බලන් ඉන්න රංගනය ගැන දැනුමක් නැති කෙනකුට සමහර විට හිතෙන්න පුළුවන් මේ නිකං මළ මිනියකට රඟපෑවා, මොනවද සේමිණී කළේ කියල. වාඩි වෙලා හිටිය, ඉඳගෙන හිටිය, බුදියගෙන හිටිය කරපු දෙයක් නැහැනෙ කියලා. එහෙම එකක් පහුගිය කාලෙ ෆේස්බුක් එකෙත් එක්තරා විචාරකයෙක් මෙම චිත‍්‍රපටයත් නියෝජනය වූ සම්මාන උළෙලක හොඳම නිළියට සම්මාන ලැබුණ නිළියකගෙ රංගනයයි, මගේ රංගනයයි සසඳමින් විචාරය කරමින් මම කරපු දේ කිසිම වැඩක් නැහැ කියලා පවසා තියෙනවා.
ඇත්තටම ප‍්‍රසන්න ජයකොඩි වගේ අධ්‍යක්‍ෂවරයෙක් මාව අධ්‍යක්‍ෂණය කළේ නැත්නම් මට ඒ චරිතය කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැහැ. ඒක එච්චර අමාරු චරිතයක්. විසිඅටේ සුද්දිට අවසන් මොහොතෙ හරි නිසි වටිනාමක් ලැබුණ එක ගැන සතුටුයි. ඒත් එයාල අගයද්දි හරිම ප‍්‍රමාදයි. මගේ හිත කලකිරිලා ඉවරයි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!