Gossip

මම රංගනයට එන්නේ විවාහයෙන් පස්සෙ. දැන් විවාහ වෙලත් අවුරුදු විසිපහක්.

සේමිණි ඉද්දමල්ගොඩ… දශක දෙකක් පුරාවට කලාවේ විවිධ ඉසව්හි සැරිසරමින් එකිනෙකට වෙනස්වූ චරිත විමාන කළ අපේ කලාව සතු අපූරු දක්‍ෂතාවන්ගෙන් පිරිපුන් රංගනවේදිනියකි. වසර කිහිපයක් කලාවෙන් ඈත්ව සිටි මේ සොඳුරු රුවැති, නිහතමානී ප‍්‍රවීණ කලා ශිල්පිනිය උදාවූ 2020 නව වසරේ සුබ සිහින දකිමින්

මම කලාවට පිවිසෙන්නේ විවාහයෙන් වසර ගණනකට පසුව. ඒ මගේ සැමියාගේ පූර්ණ ආශිර්වාදයද සමගින්. ඔහු කවදත් මගේ ගමනට අත හිත ලබාදුන්නා. එය අදටත් එලෙසමයි.’’

විවාහයෙන් පසු කලාවට පිවිසියත්, ඔබ ලොකු කැපකිරීම් සිදුකරමින් ඉදිරියට පැමිණෙනවා?

ඔව්. මම කලාවට පිවිස දශක දෙකක් ගත වුණත් අඩු නිර්මාණ දායකත්වයක් තමයි එළිදක්වා තිබුණේ. නමුත් ඒ සෑම තැනකදීම එකිනෙකට වෙනස්වූ චරිත රඟ දක්වමින් ලැබුණු දේට උපරිම සාධාරණය කරන්න මම වග බලා ගත්තා.

ඒ නිසාම මට ඒ හැම චරිතයම වගේ සුවිශේෂිතයි. චරිත වෙනුවෙන් කළ කැපකිරීම් ගැන කතා කිරීමේදී ටෙලි නාට්‍ය කිහිපයකත් චිත‍්‍රපට කිහිපයකදීත් මා කළ රංගනයන් අමතක කරන්න බැහැ.

මම හිතන්නේ මටත් වැඩිය ඒ චරිත රසිකයින්ට මතකයි.‘යකඩ පිහාටු’, ‘සුදු හංසි’ සහ ‘සිනහව අතරින්’ චිත‍්‍රපට මගේ රංගන ජීවිතයේ මතකයෙන් නොමියුණු නිර්මාණ දායකත්වයන් අතර ප‍්‍රමුඛ ස්ථානයක තිබෙන බව කියන්නට සතුටුයි.

ඔබ වේදිකාවේදී සහ සිනමාවේදී හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා?

ඔව්. ‘පුංචි ආදර බලකිරීමක්’ නම් වූ වේදිකා නාටකය වෙනුවෙන් මම වේදිකාවේ හොඳම නිළිය ලෙස සම්මාන ලබනවා. ඒ වගේම සිනමා සිත්තමේ රංගනය වෙනුවෙන් ඉකුත් වසරේදී හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානය ලැබුවා. ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය සම්මානයට අවස්ථා ගණනාවකදී නිර්දේශිත නාමයන් අතරට පැමිණියත් සම්මානය හිමි වුණේ නැහැ. නමුත් හොඳම ටෙලි නිළිය ලෙස නිර්දේශිත නාමයන් අතරට පැමිණීමත් මම හිතන්නේ සම්මානය හිමිවීමකට සමානයි.

ඉකුත් කාල සමයේදී ඔබ කලාවෙන් ඈත්ව සිටිනවා?

විශේෂයෙන් ටෙලි නාට්‍ය රඟපෑමෙන්….

ඔව්. දැන් මම ආවාට ගියාට ටෙලි නාට්‍යවල රඟපාන්න යන්නෙ නැහැ. මටත් වටිනාකමක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන මුදල ලැබිය යුතුව තිබෙනවා. සමහර වෙලාවට මම රංගන දායකත්වය ලබාදෙන නිර්මාණය හොඳනම් මුදල විශාල සාධකයක් කර ගන්නෙ නැහැ.

කොහොමටත් විවිධ වූ හේතු නිසාවෙන් මම වසර පහක් පමණ ටෙලි නාට්‍යවලින් ඈත්ව සිටියා. ‘මාද ඔබම විය’ ටෙලි නාට්‍යය වෙනුවෙන් තමයි මම අන්තිමට රඟපෑවේ.

සිනමාව සමඟ යනෙන ගමන ගැන මොකද හිතන්නේ?

මම වසරකට චිත‍්‍රපට දෙක තුනක රඟපානවා. හැබැයි ඒ චිත‍්‍රපට මට විශේෂිත විය යුතුයි. මොකද.. මගෙත් රඟපෑමේදී තෝරා බේරා ගැනීමක් තිබෙනවා. විශේෂයෙන් මගේ රංගන දක්‍ෂතා හඳුනාගෙන ඒවා නිරූපණය කිරීමට මට ලැබී තිබෙන ඉඩහසර ගැනත් මම සොයා බලනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා කීවොත් වඩාත් නිවැරදියි. අනික තමයි මෙතනදීත් මට කියන්න තියෙන්නෙ ආවාට ගියාට රඟපාන්න බැහැ කියලා.

කලාව සමඟ ඉදිරියට යන නවක පරපුරට ප‍්‍රවීණයකු ලෙස ඔබ ලබාදෙන ඔවදන…

මෙහෙමයි.. දැන් ඉන්නෙ නිව් ජෙනරේෂන් එකේ කට්ටියක්. ඒ අය බොහෝ විට වැඩිහිටියන් ලබාදෙන උපදෙස් පිළිගන්නෙ නැහැ.

ඔවුන් හුඟක් වෙලාවට විශ්වාස කරන්නේ ටෙක්නොලජී එක. හැබැයි අධ්‍යාපනය කලාවට හරි වැදගත්. විනයත් ඒ වගේමයි. තමන් ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, කරන්නෙ මොනවාද කියලා හරියට තේරුම් ගත යුතුයි.

ඒ වගේම හැම දෙයක් ගැනම අප්ඬේට් විය යුතුයි. අද සමහර වෙලාවට අලූත් අය අනවශ්‍ය විදිහට පුම්බන්නෙ මාධ්‍ය හරහා. එසේ නොකර ඔවුන්ට තමන්ගේ හැකියාවෙන් සහ දක්‍ෂතාවයෙන් දියුණුව කරා යන්නට අවස්ථාව ලබාදිය යුතුයි. ඒ වගේම සමහරුන්ට කලාවට පැමිණි විගසම ලොකු ලොකු සම්මාන පුදදීමත් සිදුකරනවා. එවැනි දේ බොහෝ විට සිදුවන්නේ නිසි ක‍්‍රමවේදයකින් තොරවයි.

ඔබ රංගන ශිල්පිනියක නොවුණා නම්… ජීවිතය කොතනට ගලා යයිද?

අපෝ… එහෙම නොවුණා නම් මම ගෘහණියක්. ඒ වගේම ව්‍යාපාරික කාන්තාවක ලෙසත් ඉඳීවි. මම කොහොමත් දැනටත් ව්‍යාපාරිකාවක් තමයිනේ. මම රංගනයට එන්නේ විවාහයෙන් පස්සෙ. දැන් විවාහ වෙලත් අවුරුදු විසිපහක්.

ඔබේ සුන්දරත්වය ඇතුළේ යම් සැඩ පරුෂ චරිතයකුත් ජීවත්වන බව පෙනෙනවා. ඇත්තටම ඔබ කුමනාකාරයේ චරිතයක්ද? මම අහන්නෙ සැබෑ ජීවිතයේ..

මම හොඳට හොඳයි. නරකට අන්තිම නරකයි.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!