Gossip

“ඇක්ෂන්.. කියලා කෑගහනකොටත් මට මිනී පෙට්ටියේ නින්ද ගිහිල්ලා“- සේමිණි කියන පිස්සු හැදෙන කතාව මෙන්න

‘28’ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ විගස සේමිණි අපිත් එක්ක මේ විදියට සංවාදයකට එක් වුණේ ඒ චිත්‍රපටයේ ඇගේ භූමිකාව ගැන වැඩිදුර තොරතුරු කියන්නත් එක්කයි.

සේමිණි මේ දවස්වල ඉන්නේ බොහොම සතුටින් කියලා ආරංචියි?

ඔව්. කාලයක් තිස්සේ බලාගෙන හිටපු “28” චිත්‍රපටය පසුගිය සිකුරාදා ප්‍රදර්ශනය ඇරඹුණා. ඒක තමයි මගේ සතුටට හේතුව.

දැනටමත් ප්‍රතිචාර ලැබෙන්න පටන්ගෙනද?

28” කියන්නේ ප්‍රේක්ෂකයන්ට අලුත්ම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන චිත්‍රපටයක්. ඒකේ මම රඟපාන චරිතයත් හරිම සුවිශේෂී එකක්. චිත්‍රපටය නරඹපු අයගෙන් මට ලැබෙන ප්‍රතිචාර බොහොම සතුටුදායකයි.

ඔබේ චරිතය සුවිශේෂී එකක් කියලා කියන්නේ ඇයි?

“28” චිත්‍රපටයේ මම රඟපාන්නේ මළමිනියක් විදිහටයි. ‘සුද්දි’ නමැති කාන්තා ප්‍රධාන චරිතය තමයි මම එහි නිරූපණය කරන්නේ.

මළමිනියක් විදිහට රඟපන එක අමාරුවක් ‍නෙවෙයි නේද?

බැලූ බැල්මට හිතෙන්න පුළුවන් ඒ වගේ චරිතයක් රඟපාන එක පහසුයි කියලා. නමුත් රඟපාපු මම තමයි දන්නේ ඒ චරිතය කරන්න කොච්චර අමාරුද කියලා.

ඔය තරම් අමාරුවෙන්න හේතු මොනවාද?

දුවලා පැනලා කරන්න ඕනෑ රඟපෑමක් එහි තිබුණේ නැහැ. ඒත්, ඒ චරිතයට ප්‍රවිෂ්්ට වෙන්න හරිම අමාරුයි. ඒ වගේම චරිතයේ රැඳිලා ඉන්න එකත් පහසු නැහැ. පුංචි අධි රංගනයක් හරි කළානම් චරිතයේ රිද්ම කඩා වැටෙනවා. මගේ රංගනය දකින දක්ෂ නළු නිළියෝ නම් ඒ චරිතයේ තියෙන ගැඹුර වටහා ගනීවි.

සමහරුන්ට හිතෙන්නට පුළුවන් ඔබ කරන්නේ දෙබස් පවා නැති චරිතයක් කියලා?

‘28’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත 4යි තියෙන්නේ. චිත්‍රපටයේදී මට අනෙක් කිසිම නළුවෙක් එක්ක කතාබහ කරන්න ලැබෙන්නේ නැහැ. චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයන් එක්කයි මගේ ගනුදෙනුව තියෙන්නේ. හැබැයි සුද්දිගේ ජීවිත කතාව මම චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයන්ට කියනවා.

සේමිණිට මිනී පෙට්ටියක වැතිරෙන්නට ලැබුණු පළමු වතාව මෙය නොවෙයි නේද?

මියගිය කාන්තාවක් විදිහට මට රඟපාන්න ලැබුණු දෙවැනි වතාව තමයි මේක. මීට කලින් මට “ස්වංජාත” ටෙලි නාට්‍යයෙත් මළමිනියක් විදිහට මිනී පෙට්ටියක ඉන්න ලැබුණා. හැබැයි මේ වතාවේ ලැබුණු අත්දැකීම පළමු අවස්ථාවට වඩා හුඟක් වෙනස්.

ඇයි එහෙම කියන්නේ?

ස්වයංජාත ටෙලි නාට්‍යය රූපගත කරද්දී නම් මාව මිනී පෙට්ටියට දමද්දී ගෙදර අය මතක් වෙලා මට ඇඬුණා. හැබැයි ‘28’ චිත්‍රපටයේදී නම් එහෙම වුණේ නැහැ. සමහර දවස්වල මම මිනී පෙට්ටියේ සිටින දර්ශන රූගත කළේ දවල් කෑම වෙලාවෙන් පස්සෙයි. ඒ නිසා අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි ‘ඇක්ෂන්’ කියලා කෑගහනකොටත් මට මිනී පෙට්ටිය ඇතුළේ හොඳටම නින්ද ගිහින් තිබුණු අවස්ථා තිබුණා.

“28” චිත්‍රපටයෙන් හැරුණාම ඔබව මොන විදියේ නිර්මාණවලින්ද දැක ගන්නට ලැබෙන්නේ?

ගිහාන් රෝහනගේ අලුත් ටෙලිනාට්‍යයේත්, සිවගුරුනාදන්ගේ ළමා චිත්‍රපටයකත් මෑතකදී රඟපෑවා. ඒවා ඉදිරි කාලයේදී රසවිඳින්නට ලැබේවි.

කිෂාන් කනංකෙ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!