Gossip

කුණු හරුපයෙන් බැනලා මට කිව්වා මල්ලි ටවුමේ ඉන්නවා ගිහින් බලාපං කියලා, මම හිතුවා මල්ලිව මරලා ඇති කියලා – ගැහැණු වෙස් ගත් සනත්ගේ ඝාතන හෙළිදරව්ව

දඹුල්ල මුලික රෝහල ඉදිරිපිට වාහන නැවතුම්පළ, සති පොළට පිවිසුම් මාර්ගය, මෙන්ම සපත්තු මහන ස්ථානය, දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ප්‍රසිද්ධ වී ඇත්තේ කාමයේ හැසිරෙන්නන් ගේ කලාපයක් හැටියටය.
එය ලොකු කුඩා ඕනෑම අයකු හොඳටම දන්නා කාරණයකි. එම ස්ථානයන් හි සේවය කරන ත්‍රිරෝද රථ කුලී කරුවන් කීප දෙනෙකුම දිවා රාත්‍රී මෙම ව්‍යාපාරයට උදව් උපකාර කරති.
මාසයකට අවස්ථා ගණනාවක්ම දඹුල්ල පොලිසියෙන් මේ ස්ථාන වටලා දිවා කාලයට වීදි වල රැඳී සිටිමින් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් මෙන්ම රාත්‍රී කාලයේ කාන්තා ඇඳුම් පැළඳගෙන සිටින පිරිමින් ද අත්අඩංගුවට ගැනීම් සිදු කරති.
මෙවැනි ක්‍රියා නතර කරන ලෙස මෙම කණ්ඩායම් දෙකටම දඹුල්ල පොලිසියේ හිටපු මුලස්ථාන පොලිස් පරීක්ෂකවරු අවස්ථා ගණනාවක සිටම අවවාද දුන්නද අධිකරණය හරහා ඔවුන්ට එය අවබෝධ කර දෙන්නට උත්සුක වුවද මේ දෙපාර්ශවයම ඊට අවනත වුයේ නැත.
මේ නිසා මෙතැන සැරි සරන ගණිකාවන් අතර මෙන්ම පිරිමි ගෑනු අතරද නිරන්තර ගැටුම් ඇතිවන බව මුළු නගරයම දැන සිටියහ. එම සිද්ධින් සමථයකට පත්කිරීමට හෝ කිසිවකු නොයන්නේ එම පිරිසගේ මුවින් පිටවන පරුෂ වචන එතරම් ප්‍රබල නිසාය.
මීට වසර කීපයකට පෙර දඹුල්ල නගරයේ ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියකගේ නිරුවත් මළ සිරුරක් අතුපාරයාය පාර ප්‍රදේශයේ ඇලක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි. එමෙන්ම රාත්‍රී කාලයේ සිටින කාන්තා වෙස් ගත් පිරිමියකු හෝටලයක සේවය කරන තරුණයකු සමඟ විවාහවීමට සුදානම් වනවා යැයි ලද ආරංචියකට හබරණ ප්‍රදේශයේ ගල් තලාවකට රැගෙන ගොස් ඔහුට පිහියකින් ඇන ඝාතනය කිරිමේ සිද්ධියක් ද දඹුල්ලෙන් වාර්තා වී තිබිණි.
නිරන්තරයෙන් මෙවැනි ගැටුම් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද දඹුල්ල නගරයේ සිදුවෙමින් පවතින අතර තුරදී පසුගියදා තවත් එවැනි සිදුවීමක් පොලිසියට වාර්තා විය. දඹුල්ල නගරයේ ව්‍යාපාරික ප්‍රජාව මගින් රාත්‍රි සංචාරක ආරක්ෂක නිලධාරින්ගේ නිරීක්ෂණයට ලක්වු එම සිද්්ධිය රටම කම්පාවට පත්කරන්නක් වී තිබේ.
මෙම ආරක්ෂක නිලධාරීන් පොලිසියට ගොස් දැනුම් දී ඇත්තේ දඹුල්ල රෝහල ඉදිරිපිට කුලී රථ ගාලේ මල් ශාලාවක් ආසන්නයේ කාන්තාවක් ලේ පෙරාගෙන වැටී සිටින බවත් එම ස්ථානයේ ලේ තැවරුණු පොලු කැබලි ද තිබෙන බවත්ය.
දඹුල්ල පොලිසියේ රාත්‍රී සේවයේ යෙදී සිටි නිලධාරීන මේ පිළිබඳව දුරකථනය මගින් මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට දැනුම් දී ඔහුගේ උපදෙස් පරිදි වහාම පොලිස් ජංගම රථය එම සිද්ධිය වූ ස්ථානයට යවා තිබිණි. ඒ වනවිටත් කීප දෙනකු එම ස්ථානයට එක් රොක් වී සිටි අතර ඔවුන් නිලධාරින්ට පැවසුවේ මෙසේ වැටී සිටින කාන්තාවට තවමත් සිහිය ඇති බවයි.
රෝහල ඒ ආසන්නයේම පිහිටි නිසා තුවාල ලබා සිටි තරුණිය රෝහලට ඇතුළත් කිරීමට නිලධාරින් පියවර ගත්තද වෛද්‍යවරු කීවේ ඒ වන විටත් ඇය මිය ගොස් ඇති වගයි. ඒ අතරතුර කාන්තා ඇඳුම් පැළඳ සිටියද ඔහු පිරිමියකු බව ද රෝහල් සේවකයන් පොලිසියට දන්වා තිබිණි.
එය ඝාතනයක් දැයි පරීක්ෂා කර බලද්දී නිලධාරින් අනාවරණය කැර ගෙන තිබුණේ මියගිය අය නිතර නිතර නගරයේ රාත්‍රි කාලයේ සැරිසරන බවත් ඔහු කාන්තාවකට සමාන හැසිරීම් සහිත අයකු බවත්ය.
මෙසේ මියගොස් තිබුණේ දඹුල්ල වල්ගම්වැව ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි සනත් කුමාර නමැති අවිවාහක තරුණයෙකි. සිද්ධිය මියගිය තරුණයාගේ ඥාාතීන්ට දැනුම් දීමට පෙර ඥාාතීන් දඹුල්ල රෝහලට පැමිණ තිබිණි. ඒ අතර රෝහල් භූමියේදී මියගිය සනත් ගේ සහෝදරියක විලාප තබමින් පවසා සිටියේ අලුයම් කාලයේ සිදු වී ඇති දේ මල්ලිගේ දුරකථනයෙන් යමෙකු තමන්ට දැනුම් දුන් බවය. ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“පාන්දර තුන පහුවෙලා මට මතක හැටියට මගේ ෆෝන් එකට කෝල් කීපයක් ආවා. මම ඇස් ඇරලා බලනකොට මල්ලිගෙන්. මම ඉක්මනට ඒක ආන්සර් කළා.
මොකද එයා කරදරයක් වුණාම විතරයි මට කතා කරන්නේ. පොලිසියෙන් ඇල්ලුවොත් ඔය උන් අතරේ ගහ ගත්තොත් බේරා ගන්න කියලා කතා කරනවා.
ඒ නිසා ආන්සර් කළාම මල්ලිගේ කටහඬ නොවෙයි වෙන කෙනෙක් මගේ නම කියලා අක්කා කියලාම කතා කරලා කුණු හරුපයෙන් බැනලා මට කිව්වා මල්ලි ටවුමේ ඉන්නවා ගිහින් බලාපං කියලා.
මම ආයෙත් මල්ලිගේ ෆෝන් එකට කෝල් ගත්තා. ආයෙත් ඌ තමයි ආන්සර් කළේ. ඌ මට හොඳටම බැන්නා. මමත් ඌට බැන්නා හැබැයි මට අඳුරග්නන බෑ කවුද කියලා. මම හිතුවා අනිවාර්යෙන් මල්ලිව මරලා ඇති කියලා.”
මීට කලින් අවස්ථා කිපයකදීම මල්ලිට හොඳටම ගහලා පාරේ දාලා තිබුණා. බොහොම අමාරුවෙන් තමයි සනීප කර ගත්තේ. ආයේ දවසක් මල්ලිව කපලා තිබුණා.
මම ගිහින් මටත් තුවාල වුණා. එයාලා එක්කම ඉන්න ඔය මල්ලි විදිහට හැසිරෙන අය අතර තමයි ගැටුම් අති වෙන්නේ ඇයි කියලා මල්ලිවත් උන්වත් කියන්නේ නැහැ. ආයෙත් උන් හොඳට කතා කරලා රට වටේ යනවා. පෙරහැර වලට සංගීත සංදර්ශන වලට එක එක තැන්වල ආයෙත් ගත කරනවා. එයාට අපි නිතර නිතර කියනවා රෑ ගමන් නවත්වන්න කියලා. දැන් යන්නේ අපට හොරෙන්.
ඇය එසේ කියද්දී මියගිය තරුණයාගේ පියා “තම පුතා ඉතා අහිංසකයෙක් බවත්” ගෑනි වගේ හිටපු මගේ පුතාට මේ අපරාධය කළේ කවුද දෙයියනේ”
කියමින් විලාප තබන්නට විය. තම දරුවා නිවෙස් සියලුම වැඩ ටික ඉවුම් පිහුම් රෙදි සේදීම ආදි සියල්ල සිදු කරන බවත් පසුව හවසට එපා කියද්දී නගරයට යන බවද පියා කියන්නට විය. පවුලේ සියලු දෙනා ඔහුට දැඩි ලෙස අවවාද කළද ඒ සියල්ල පසෙකලා ඔහු නිතර නිතර මිතුරන් සමඟ විවිධ ගමන් බිමන් විවිධ උත්සව නිරූපන වැඩසටහන් වලට සහභාගී වී ඇත. නිරන්තරයෙන් කාන්තා ඇඳුම් ඇඳීම ඒ විලාසිතා කිරීම කාන්තා අත් බෑගය, කුඩය පාවිච්චි කිරීම ඔහු විසින් සිදු කීරිම ද විශේෂත්වයකි.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කීවේ මෙම ඝාතනයේ සුලමුල පිළිබඳව වැදගත් සාක්කි තොරතුරු රැසක් පොලිසියට ලැබී තිබෙන බවත් ඉක්මනින් අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙන යා හැකි බවත්ය. මෙම මියගිය පුද්ගලයා තවත් කීප දෙනෙකු සමඟ මියගිය දිනයේ රාත්‍රී කාලයේ මත්පැන් සාදයක් ද පවත්වා ඇති බවත් ස්ථාන කිපයකදීම මියගිය අයට පහරදීම් සිදුව ඇති බවත් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන බව ද පැවසීය.
කෙසේ වෙතත් දඹුල්ල නගරයේ සිදුවන මෙම අසම්මත ලිංගික ඇසුරු ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ දඹුල්ල රෝහල ඉදිරිපට පදිංචි කරුවන් විසින් කරන ලද ප්‍රකාශ ද සමඟිනි. ඔවුන් අප සමඟ කිවේ රාත්‍රි කාලයේ කාන්නාවන් ලෙස ඇඳුම් ඇඳගත් පිරිමි කීප දෙනෙකුම රැඳි සිටින බවත් ඔවුන් ඔවුන් අතර හදුනා ගෙන ඇසුරු කරන තරුණයන් එක් අයකුට පමණක් සීමා කර ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිතර වන බවත්ය. ඔවුන් මිතුරන් ලෙස එකට හිටියත් තමන් ඇසුරු කරන තරුණයා අනෙකා සමඟ ඇසුරක් කළහොත් ඉතා ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකර ගන්නා බවත් දැඩි ලෙස පරුෂ වචන කියා බැන ගන්නා බව ද ඔවහු කියති.
බොහෝ දුරට ඝාතනයේ සුලමුල හෙළි වෙද්දී එවැනිම සිද්ධියක් විය හැකි යැයි ද ඔවුන් අනුමාන කරන්නට විය.
දඹුල්ල මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!