Gossip

“එයාව කසාද බඳිද්දී මෙහෙම වෙයි කියලා නම් මම හිතුවේ නැහැ.. ඇස්වලින් කඳුළුත් ආවා.”- රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ බිරිඳ රිද්මා, සැමියා ගැන දැන් කියන කතාව

රිද්මා පිලපිටිය සහ රොෂාන් පිලපිටිය කියන්නේ ආදරණීය යුවළක්.
ඔවුන්ගේ ආදර කතාව දවසින් දවස දළුලනවා කිව්වොත් නිවැරදි.
ඉතිං මේ ආදරණීය යුවළගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

රිද්මා.. මුලින්ම ඔයාට රොෂාන්ව මුණගැහුණේ කොයි කාලේදීද?
රොෂාන් අයියත් නුවර. මමත් නුවර. ඉතින් ඉස්සර රොෂාන් අයියා ඉඳලා හිටලා අපේ ගෙදර ඇවිත් ගියා. ඒ වුණාට ඒ කාලේ දකිද්දී ලොකු විශේෂත්වයක් තිබුණේ නැහැ. මම ඒලෙවල් ඉවරවෙලා ආයේ මුණගැහිලා කතා කළාට පස්සේ යාළුකමක් ඇති වුණා. හැඳුනුම්කමක් එක්ක අපි ටික ටික කතාබහ කළා. එහෙම කතාකරලා කාලයක් ගියාට පස්සේ තමයි රොෂාන් අයියා මගෙන් මේ ගැන ඇහුවේ.

ඔයා ඉස්සර ඉඳන්ම රොෂාන්ගේ රසිකාවියක්ද?
මම එහෙම අයියාගේ නාට්‍ය බලලා තිබුණේ නැහැ. ඉස්කෝලේ යන කාලේදී පාඩම් වැඩ කරපු නිසා මට එහෙම නාට්‍ය බැලුවේ නැහැ. රොෂාන් පිලපිටිය මෙයා කියලා දැනගෙත හිටියට එහෙම ඉස්සර අයියාගේ නාට්‍ය මම බලලා තිබුණේ නැහැ. හැබැයි දැන් නම් අයියා ඉන්න හැම නාට්‍යයක්ම මම බලනවා. දැන් මම රොෂාන් අයියාගේ හොඳ රසිකාවියක්.

රොෂාන් ඔයාට “ආදරෙයි කියලා කියද්දී ඔයාගේ හිත් කොනෙත් එයා ගැන ආදරයක් ඇති වෙලා තිබුණාද?
නැහැ. ඇත්තටම මම කවදාවක් රොෂාන් අයියා එහෙම යෝජනාවක් ගෙනේවි කියලවත් හිතුවේ නැහැ. ඒ කාලේ මමීලා ලංකාවේ හිටියේ නැහැ. ඉතින් දවසක් රොෂාන් අයියා මට කෝල් කරලා “නංගී.. ඔයා ගැන ආදරයක් මගේ හිතේ ඇතිවෙලා තියෙනවා. මම ඔයාව බඳින්න කැමතියි.
මට ඔයාලගේ මමීගෙන් අහන්නද? කියලා ඇහුවා. එදා මට පුදුම හිතුණා. රොෂාන් අයියව අපේ මමීයි පප්පයි දෙන්නාම දන්නවා. ඉතින් ඒ හැඳුනුම්කමත් එකක් ඊට කලින් රොෂාන් අයියා ඒ දෙන්නත් එක්ක දවස් දෙක තුනක් කතා කරලයි තිබුණේ.

රිද්මා පවුලේ එකම දරුවා නේද?
ඔව්.. මගේ පවුලේ ඉන්නේ මම්මයි, පප්පයි, මමයි විතරයි. මම පවුලේ එකම දරුවා. මගේ මමී වැඩිපුරම හිටියේ ඉතාලියේ. මගේ පප්පා රාජ්‍ය ආයතනයක සේවය කළ නිසා ලංකාවේ හිටියා. දැන් පප්පා ඉන්නේ ලංකාවේ.

රොෂාන්ගේ යෝජනාවට කැමති වෙන්න හේතු වුණේ මොනවාද?
රොෂාන් අයියා එක්ක කතා කරන මුල් කාලේ ඉඳන්ම එයා හරි හොඳයි. හරියට මට උපදෙස් දුන්නා.
එයාට සිදුවුණු ප්‍රශ්නත් මාත් එක්ක කිව්වා. ආදරය කරන්න කලිනුත් ආදරේ පටන් ගත්තාම පස්සෙත් රොෂාන් අයියා මම ගැන පුදුම විදිහට හොයලා බැලුවා.
මම එහෙම “ආදරෙන් බලාගන්නා ආදරයක් තමයි බලාපොරොත්තු වුණේ. දුරින් හිටියත් ඒ කාලේදී එයා මම ගැන හොඳටම හොයලා බැලුවා. එයා ආගම දහමට හරි ලැදියි. එයා හරිම නිශ්ශබ්ද චරිතයක්. රොෂාන් අයියගේ ඒ ගතිගුණ ළඟදී මගේ හිත නතර වුණා.

රොෂාන් “ආදරෙයි කියලා කිව්වට පස්සෙ රිද්මා එක පාරටම ඒ යෝජනාවට කැමති වුණාද?
නැහැ. එයා ඒ යෝජනාව මට ගෙනත් මාස පහක් හයක් විතර යනතුරැ මම එයාට උත්තර දුන්නේ නැහැ.
රොෂාන් අයියත් මට කිව්වේ හදිස්සි වෙන්න එපා හොඳට හිතලා බලලා හොඳ තීරණයක් ගන්න කියලයි. ඒ මාස පහේදීම රොෂාන් අයියා “මම අම්මලාගෙන් අහන්නද කියලා කියද්දීත් “කතා කරන්න එපා එහෙම වුණොත් මේ කතා කරන ටිකත් නතර කරන්න සිද්ධ වේවී කියලා තමයි මම කිව්වේ.
ඒ අය කැමති වෙන්නත් කලින් මගේ කැමැත්ත තියෙන්න ඕනෙනේ. ඉතින් රොෂාන් අයියා එක්ක ටික ටික කතා කරද්දී මගේ හිතෙත් එයා ගැන ලොකු ආදරයක් ඇති වුණා.. ඉතින් එක දවසක් මම අයියාට “මම කැමතියි. හැබැයි මමීලාත් කැමති වෙන්න ඕනේ. කියලා කිව්වා.

රිද්මාගේ මව්පියෝ මේ සම්බන්ධයට කැමති වුණාද?
රොෂාන් අයියා මගේ මමීටයි පප්පටයි කතා කළා. මුලින්ම නම් එයාලා එකපාරටම කැමති වුණේ නැහැ.
මගේ ආසාව වෙලා තිබුණේ නීතිඥවරියක් වෙන්නයි. ඒ වෙනුවෙන් මම වැඩිදුර ඉගෙන ගත්තා. මේ සම්බන්ධයත් එක්ක මගේ ඒ ඉගෙනීමේ කටයුතු නතර කරන්න සිද්ධ වේවී කියලා තමයි ඒ අය හිතුවේ. ඒ වුණාට දිගින් දිගටම මම ඒ අයට මම බඳින්නේ රොෂාන් අයියව විතරයි. කියලා කියද්දී ඒ දෙන්නා අපිට කැමති වුණා.

දෙන්නත් එක්ක මුලින්ම හුවමාරු කරගත්තු තෑගි මතකද?
ඔව්.. රොෂාන් අයියා මට මුලින්ම ලස්සන ඇඳුමක් තෑගි කළා. ඒකට මම හරි ආසයි. තාමත් ඒ ඇඳුම මම ළඟ තිබෙනවා.
ඊට පස්සේ නම් එයා මට තෑගි ගොඩාක් දුන්නා. මම මුලින්ම රොෂාන් අයියාට දුන්නේ කරඬුවක් තියෙන ඇතෙක්වයි. අදටත් අපේ බුදු පහන ළඟ ඒ ඇතාව තියලා තියනවා.

රොෂාන්ගෙත් රිද්මාගෙත් විවාහය සිදුවුණේ කොයි කාලේදීද?
අපි දෙන්නාගේ විවාහය සිදුවුණේ 2017 ඔක්තෝබර් 19 වැනිදා. අපි දෙන්නම ලොකුවට විවාහ උත්සවයක් ගන්න කැමති වුණේ නැහැ.
ඒ නිසා ඉතාම සීමිත පිරිසක ඉදිරියේදී අපි විවාහ වුණා. ඊට පස්සේ අපි ලස්සන Photo Shoot දෙකක් කළා. ඒ විදිහට තමයි රොෂාන් අයියගෙයි, මගෙයි විවාහය සිදු වුණේ.

විවාහ වුණාට පස්සේ දෙන්නා පදිංචි වුණේ කොහේද?
විවාහ වෙන්න කලින්ම රොෂාන් අයියා මහරගමින් ගෙයක් හදලා තිබුණා. ඉතින් අපි විවාහවෙලා පදිංචි වුණේ එහෙමයි. මම විවාහ වෙද්දී නම් රොෂාන් අයියා කෝපි එකක් විතරයි හදාගන්න දැනගෙන හිටියේ. අඩු ගානේ රසට තේ එකක්වත් එයා හදන්න දැනගෙන හිටියේ නැහැ.
එයාට හැමදාම උදේට කෝපි එකක් බොන්න ඕනේ. ඒ නිසා ඒක හදන්න එයා දැනගෙන හිටියා. හැබැයි මම විවාහ වුණාට පස්සේ රොෂාන් අයියා උයන පිහින දේවල්වලටත් පොඩ්ඩ පොඩ්ඩ උදව් වුණා. ඒ නිසා බිත්තර ඔම්ලට් එකක් දාන්න, පොල් සම්බෝලයක්, පරිප්පු ටිකක් හදන්න දැන් රොෂාන් අයියට පුළුවන්. මට නම් හරි රසට උයන්න පුළුවන්. ඉස්සර ගෙදර දී මගෙන් කවුරුවත් වැඩක් ගත්තේ නැහැ. හැබැයි යූ ටියුබ් එකෙන්, පොතපත් බලලා මට රහට කෑම හදන්න දැන් පුළුවන්.

දෙන්නටම ලැබෙන විවේක කාලවලදී මොන වගේ දේවල් ද කරන්නේ?
අපි දෙන්නා අනිවාර්යයෙන්ම දවසක් හැර දවසක්වත් ගෙදර දී ෆිල්ම් එකක් නම් බලනවාම තමයි. මම මල් හදන්න හරි ආසයි. රොෂාන් අයියත් මල් පිපිලා හරි ලස්සනට තියනවා නම් හරි ආසයි. අපේ වත්තේ අපි මල් පැළ හිටවලා තියෙනවා.
ඉතින් අපි ඒවාට සාත්තු කරනවා, වතුර දානවා. කොළ පාට පරිසරය ගස් කොළන්, සතුන් දකිද්දී ගෙදර ඉන්න ආස හිතෙනවා කියලා තමයි රොෂාන් අයියා කියන්නේ. සතුන්ට වතුර බොන්න අපි වතුර තියලා තියනවා. ඒ දේවල් එක්ක පරිසරය අපි නිර්මාණය කරලා තියෙනවා. විවේක වෙලාවට අපි දෙන්නා එළියට ගිහින් කෑම කලා ටිකක් ඇවිදලා එනවා.

රොෂාන්ට කේන්ති යනවාද?
එයාට කේන්ති යනවා නම් හරිම අඩුයි. එයා හරිම නිශ්ශබ්ද චරිතයක්. අපි දෙන්නම කතාවෙලා තියෙන්නේ දෙන්නගෙන් කාට හරි හිතට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතිව අනිත් කෙනා එක්ක කතා කරනවා කියලයි. එතකොට ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. කේන්ති යන්නේ නැහැ. එයා හරියට භාවනා කරන නිසා කේන්ති යන්නෙත් හරිම අඩුවෙනුයි.

පිය පදවිය ලැබෙන්න යනවා කියන සුභ ආරංචිය ලැබුණාම රොෂාන් මොකද කිව්වේ?
එයා එදා පුදුම විදිහට සතුටු වුණා. එයාගේ ඇස්වලින් කඳුළුත් ආවා. එයාගේ ජීවිතේම දැන් තමයි හැම සතුටක්ම ලැබෙන්නේ කියලයි එයා කිව්වේ. දරාගන්න බැරි සතුටක් එක්කම. “ඉක්මනට අපි අම්මට කියමු. කියලා එයා එයාගේ අම්මට කතා කරලා මේ සුභ ආරංචිය කිව්වා.

ඇත්ත කියන්න රොෂාන් කැමති දුවෙක්ටද? පුතෙක්ටද?
එයා කියන්නේ මම වගේ හුරතල් දුවෙක්ට එයා ආසයි කියලයි. හැබැයි එයා පුතෙක්ටත් හරි ආසයි. පුතෙක් ලැබුණොත් සංගීතය උගන්වන්න ඕනේ කියලත් රොෂාන් අයියා කියනවා.

කුළුඳුල් දරුවා ලැබෙද්දී ඒ අත්දැකීම් හරිම නුහුරුයිනේ. මුල් කාලයේදී රිද්මාට ඒ ලබපු අත්දැකීම් මොන වගේද? වැඩියෙන් කන්න ආස කළේ මොනවාද?
මම නම් මුල් කාලේ කන්න ආස කළේම හොයාගන්න අමාරුම දේවල්. හැබැයි ඒ හැම දෙයක්ම රොෂාන් අයියා කොහොම හරි හොයලා මට දුන්නා.
එක සැරයක් කජු පුහුලන් කන්න ආස හිතිලා හීනෙනුත් මට කජු පුහුලන් තමයි පෙනුණේ. මම නැගිට්ට ගමන් රොෂාන් අයියට “මට කජු පුහුලන් කන්න ආසයි කියලා කිව්වා. රොෂාන් අයියා කුරුණෑගල ගිහින් තමයි මට කජු පුහුලන් ලොකු බෑග් එකක් ගෙනත් දුන්නේ. තව වතාවක් මට මී වදයෙන්ම මී පැණි කන්න ආස හිතුණා. රොෂාන් අයියා බුත්තල ගිහින් මී වදයක් කඩාගෙන මට ගෙනත් දුන්නා. මම ආස කරපු හැම කෑමක්ම රොෂාන් අයියා කොහොම හරි හොයලා ගෙනත් දුන්නා.

රොෂාන් එක්ක ගතකරන ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ?
එයාව කසාද බඳිද්දී නම් මේ තරම් සතුටින් එයා එක්ක ගතකරන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතුවේ නැහැ.
එයාගේ ගතිගුණ හොඳයි කියලා මම දැනගෙන හිටියා. ඒ ආදරේ මේ තරම් විශාලයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. මේ කාලය තුළදී ඇත්තටම ජීවිතේ දවසින් දවස සුන්දර වෙනවා. රොෂාන් අයියා එක්ක ගතකරන මේ ජීවිතයට මම හරි ආදරෙයි.

රිද්මා ඔන්න ඔහොම ඒ ආදරය ගැන කියද්දී රොෂාන් රිද්මා ගැන කිව්වේ මෙන්න මේ විදිහටයි.හෙට අනිද්දාට පියකු වෙන්න බලාපොරොත්තු වෙන රොෂාන් දැන් ඉන්නේ හරිම සතුටින්. මේ දවස්වල රූගත කිරීම් නිසාම රොෂාන් ටිකක් කාර්යබහුලයි.

රොෂාන් රිද්මාට ආදරය කරන්න, බිරිඳ කරගන්න ඇය තුළ තිබුණු සුවිශේෂීකම මොකද්ද?
රිද්මා එක්ක කතාබහ කරද්දී එයා ජීවිතය හොඳට තේරුම් ගත්තු කෙනෙක්. එයා පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. මානවහිංසනයට හරියට විරුද්ධව කතා කරපු කෙනෙක්. සතුන්ට එයා හරි ආදරෙයි. ඒ මනුස්සකමට මම හරියට ආදරේ කළා. එයා එක්ක කතා කරද්දී ආශ්‍රය කරද්දී මට හිතුණේම එයා මට ගැලපෙනවා කියලයි. එයා මානවහිතවාදී කෙනෙක්. ඕනෑම කෙනෙක්ට එයා උදවු කරන්න ඉදිරිපත් වෙනවා.

රිද්මාට කේන්ති යනවාද?
එහෙම කේන්ති යන්නේ නැහැ. දෙන්නගෙන් කාගේ හරි හිතට ප්‍රශ්නයක් ආවොත් ඒක ගැන කතා කරමු කියලා තමයි අපි මුල ඉඳන්ම පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ නිසා කේන්තිය කියන දේ කවදාවත් අපේ හිත්වල පැළපැදියම් වෙලා තියෙන්නේ නැහැ.

රිද්මා කරන විලාසිතා ගැන රොෂාන් මොකද හිතන්නේ?
එයා හැමවෙලේම එයාට ගැලපෙන විලාසිතා තමයි කරන්නේ. එයා කැමති විලාසිතා කරන්න මම පූර්ණ නිදහස දීලයි තියෙන්නේ. ඒකෙන් එයා අයුතු ප්‍රයෝජන ගන්නෙත් නැහැ. තමන්ට ගැලපෙන විලාසිතා තෝරා බේරාගෙන එයාට ගැලපෙන දේ එයා අඳිනවා.

ඇත්ත කියන්න රොෂාන් ආස පුතෙක්ට නේද?
එහෙම කියන්න බැහැ. පුතෙක් වුණත්, දුවෙක් වුණත් ඒ අපි දෙන්නගේ දරැවෙක්. ඒ නිසා ලැබෙන ඒ දරැ පැටියාව අපි සතුටින් බාරගන්නවා.
මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසේ මම පුදුම විදිහට සතුටු වුණා. ඒක වචනවලින් කියන්න මට තේරෙන්නේ නැහැ. දැනටත් මට පුළුවන් හැමවෙලේම ගෙදර ඉන්න තමයි ආසා. පසුගිය කාලේදී කොළඹින් පිට රූගත කරන නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණත් මම ඒවා බාර ගත්තේ නැහැ.

රිද්මා එක්ක ගතකරන ජීවිතේ ගැන අද රොෂාන්ට මොකද හිතෙන්නේ?
ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ලොකු ගෞරවයක් තියනවා. අපි අපට ආදරය කරනවා වගේම දෙන්නට දෙන්නා ගෞරව කරගන්නවා.
මගේ ජීවිතේ පසුගිය කාලේ ඇතිවුණු ප්‍රශ්නත් එක්ක ආයේ කවදාවත් කසාද බඳින්නේත් නැහැ කියලයි හිතාගෙන හිටියේ. ඒත් රිද්මා ඇවිත් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඇත්තටම අද අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!