Gossip

මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක් – ඒ යෝජනාව ගෙනෙද්දී, ඇත්තටම මම බය වුණා – රවීන් කණිෂ්ක

ගරාජය සිට ක්‍රිකට් ක්‍රීඩාව ගැන සිහින මවන ‘දෙවෙනි ඉනිමේ’ අනුහස් , සැබෑ ජිවිතේදී ඔහු රවීන් කනිෂ්කයි. ඉතින් රවීන් ඒ කතාව ගැනත් තමන්ගේ සැබෑ ජීවිතය ගැනත් පුවත්පතක් හමුවේ කියා තිබුණේ මෙලෙසින්.

කොහොමද රවීන් ?
හොඳින් ඉන්නවා.

මොනවද මේ දවස්වල වෙන්නේ ?
මේ දවස්වල දෙවෙනි ඉනිමේ සෙල්ලම් කරනවා. ඒ වගේම star city එකේ නටනවා, සිංදු කියනවා, රඟපානවා, හැමදේම කරනවා. ඒ දෙක ඇරෙන්න වෙන මුකුත් කරන්න වෙලාවක් නැහැ.

කොහොමද ‘දෙවෙනි ඉනිමේ’ රඟපාන්න අවස්ථාව ලැබුණේ ?
මේ අවස්ථාව ලැබුණේ මට සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂකතුමයි,දෙරණේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා නිසායි. ඒ දෙන්න තමයි මේ වැඩේට මට කතා කළේ. මගේ විෂය ක්ෂේත්‍රය සංගීතය. තාමත් කැමරාව ඉස්සරහට ගියහම මොකද්දෝ මොකද්දෝ වගේ.ඉතිං ඒ දෙන්න මට කතා කළා.දැන් වැඩේ ටික ටික කරගෙන යනවා.

මේ ඔබගේ පළමු රංගනය. කොයි විදියටද දැනෙන්නේ ?
මම රංගනය ගැන කිසිම අත්දැකීමක් නැති ගායකයෙක්. පළමුවැනි අත්දැකීම විදියට මේ වගේ ප්‍රවීණ, දක්ෂ,ප්‍රේක්ෂක ආදරය දිනා ගත් දැවැන්තයෝ කිහිප දෙනෙක් එක්කම තමයි මට මගේ රංගනය කරන්න ලැබුණේ. ඒක මං මගේ වාසනාවක් විදියට සලකනවා.

ඔබට රංගනය සඳහා ආරාධනා ලැබුණේ මොන හේතුවක් නිසා වෙන්න ඇතිද ?
ඇත්තටම මටත් එයට දෙන්න උත්තරයක් නැහැ. මොනවා නිසා මට මේ සඳහා කතා කළාද කියනඑක මටත් ප්‍රශ්නාර්ථයක්. සමහරවිට ඉතිං දෙරණත් එක්ක අපි සැහෙන්න කාලයක් වැඩ කළා. ඉතිං ඒ ඉන්න කාලය ඇතුළත මාව අධ්‍යයනය කරලා මං ගැන විශ්වාසය තියන්න ඇති කියලා මම හිතනවා.

මේ යෝජනාව ගෙනෙද්දී ,රවීන්ට බයක් දැනුණේ නැද්ද?
ඒ යෝජනාව ගෙනෙද්දී, ඇත්තටම මම බය වුණා . මොකද ප්‍රධාන චරිතය නිසා. මට එච්චර ලොකු වගකීමක් භාර ගන්න පුළුවන් වේවිද , කවදාවත් අත නොගහපු විෂයක් කියන බය මට ආවා. ඇයි මෙය ලොකු වගකීමක් නේ. ඉදිරියේදී ආධුනික රංගනයෙන් මිදිලා, මිට වඩා හොඳ රංගනයක් බලාගන්න පුළුවන් වේවි.

දැන් රවීන්ට වැඩිපුරම ලේසි ගායනයද, රංගනයද?
මගේ ඇඟෙන් එන, ආයාසයකින් තොරව එන දේ සංගීතය.මට උපතින් ,දෙවියෝ මට හොඳටම දීලා තියෙන්නේ සංගීතය.

ඔබ රියැලිටි වැඩසටහනකින් පැමිණි තරුවක්. මතක් කරමු නේද ඒ අතීතය.
ඔව්,පොඩි කාලයේ ඉඳන් සංගීතය ඇඟේ තිබුණ දෙයක්. තනියම කාමරයට වෙලා සිංදු කියපු මම ,මට ඒ හැකියාව කොයි වගේ තැනකද තියෙන්නේ කියල බලන්න හිතුණා. ඒ ගිය ගමනේදී මට දෙවැනියා වෙන්නයි පුළුවන් වුණේ. දෙවැනියා වුණාට,මම හිතනවා මම පරාජිතයෙක් නෙමෙයි කියලා.

ඔබ අද ඊට වඩා ජයග්‍රහණයක් ලබලා තියෙනවා?
ඔව්. මම මගේ ජිවිතේ අඩියක් පස්සට තියලා නැහැ. කල් ගත වුණත් ,හෙමින් හෙමින් ඉදිරියට ආව මිසක් පස්සට හිහින් නැහැ. මම අවංකව සතුටු වෙනවා ඒ ගැන.

රවීන් සංගීතය කියන දේ තුළින් ඈත් වෙලාද?
සංගීතය කියන විෂය තුළදී , එක තැනකදී මම පුදුම විදියට කල කිරෙනවා. මොකද මම විශ්වාස කරන්නේ, මම ඉපදුණේ වැරැදි තැන,වැරැදි වේලාවේ කියලා. මොකද අද කාලේ සංගීත ක්ෂේත්‍රයේ ගමන් කරන දිශාව ගැන කොහෙත්ම පැහැදීමක් නැහැ. මම මොන ලෝකේ ගියත් සංගීතයටමයි එන්නෙත්. ඒක ඉතිං හොඳ අතකට හැරෙයි කියන බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.

සංගීත ක්ෂේත්‍රය තුළ අලුත් රැල්ලක් බිහිවෙලා නේද?
වෙනස්ම රැල්ලක් බිහිවෙලා තියෙනවා. මේ රැල්ලේ නිර්මාතෘ කවුද කියන්න මං දන්නේ නැහැ. ඔය කතන්දර කියන්න ගියාට පස්සේ හුඟක් අය මම එක්ක තරහ වෙන නිසා,මම හතුරෝ ඇති කරගන්න කැමති නැහැ. කවුරු හින්දා හරි, මොන හේතුව නිසා හරි මේ ඇති වෙලා තියෙන ගීත සංස්කෘතිය ඉක්මනටම නැති වෙන්න ඕන කාරණාවක්. නැත්නම් අපේ අනාගත පරම්පරාවේ ගීත රසවින්දනය කියන එක පහත් රසවින්දනයක් දක්වා යන තත්වයකට දැන් පටන් අරගෙන ඉවරයි.

ඔබව කවුරු විදියට හදුන්වනවටද කැමැති?
මම පෞද්ගලිකව කැමැති මම ගායකයෙක් කියනවට. මගේ කනට සමීපතම නම ඒක.

මේතාක් පැමිණි දුර ගැන ?
මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක්.පුංචි තැන ඉඳන් පටන් ගෙන, අද වෙනතුරු මේ ආව දුර ගැන මට පුදුම සතුටක් තියෙනවා. මගේ පොඩි කාලේ තිබුණ හීන එකින් එක සැබෑ කරගෙන යනවා. ඉදිරියේදීත් සැබෑ කර ගන්න තියෙන හීනත් අනිවාර්යෙන්ම මේ වෙනතුරු හීන සැබෑ කරගත්තා වගේ, ඒවත් මම සැබෑ කරගන්නවාමයි.

රවීන් ඉදිරියට යද්දී කාලයත් එක්ක මුල අමතක වෙයිද ?
මෙහෙමයි, මුල අමතක වෙන මනුස්සයෙක් නම් මේ වෙද්දී මම ලබාගත්ත දේවල් වලිනුත්, මට මගේ මුල අමතක වෙන්න ඕන. එහෙම වුණා නම් ඒ අමතක වෙච්ච ගමන්ම මම කඩාවැටෙනවා මිසක් මම එතැනින් එහාට ඉදිරියට එන්න විදියක් නැහැ. එහෙම අමතක වුණ මනුස්සයකුට ඉදිරි ගමනක් නැහැ. නමුත් මම දවසින් දවස ඉදිරියට ආව මිසක් පස්සට ගියේ නැහැ.ඒකෙන් කියන්නේ මට මුල මතකයි කියන එක.

තනිකඩ ජිවිතයෙන් දැන්ම ඈත් වෙන්න අදහසක් නැද්ද ?
ඒක ගැන දැන්ම නිශ්චිත යමක් කියන්න අමාරුයි. නිශ්චිත කෙනෙක් හම්බ වුණු ගමන්ම කියනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!