Gossip

“විවාහය කියන්නේ තමන්ට තමන්ව කියව ගන්න අවශ්‍ය කරන අපුරු පොතක්. මට ඒ පොත ලැබුණා. ඇය හරහා මම මාව යළි කියවනවා.” – පුබුදු චතුරංග

සිනමාවේ හොඳම නළුවා, සිනමාවේ හොඳම සහාය නළුවා, සිනමාවේ හොඳම දුෂ්ටයා සහ සිනමාවේ හොඳම විකට නළුවාට හිමි සම්මානයත් දිනා ගන්න මට හැකි වුණා.
මේ අංශ හතරම අපේ යුගයේ දිනා ගත් එකම නළුවා මම.

පිටපත් රචකයකු වීමේ බලාපොරොත්තු ඇතිව කලාවට පිවිසි ඔහු පසුව රංගන ශිල්පියෙකු ලෙස කලාවේ විවිධ මානයන් ඔස්සේ සැරි සරා සම්මානනීයත්වයට පත් වූ රංගන ශිල්පියෙකි. ‘හුස්ම‘ ඔහු රංගනයෙන් දායක වන නවතම කලාත්මක සිනමා පටයයි. මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංගයි.

හුස්මට ලැබෙන ප්‍රතිචාර සමඟ අපේ කතා බහ අරඹමු?
‘හුස්ම’ කලාත්මක ගණයේ චිත්‍රපටයක්. එහි අන්තර්ගතයේ, චිත්‍රපටය බලනවාට වඩා එහා ගොස් එහි කියවන්න තිබෙන ප්‍රමාණය වැඩියි.
සම්භාව්‍ය ප්‍රේක්ෂකාගාරයකට ආමන්ත්‍රණය කෙරෙන ‘හුස්ම’ සිනමා කෘතිය වැඩිහිටියන්ට අදාළ වන තේමාවක් යටතේ තිරගත වන චිත්‍රපටයක් නිසා බහුතර ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. නමුත් සම්භාව්‍ය සිනමා කෘති පරිශීලනය කරන ප්‍රේක්ෂකයින්ගේ විචාර හා විශ්ලේෂණ ඔස්සේ ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

සංස්කෘතිය යන විෂයය තුළ රංගනයෙන් බැහැරව පුබුදු ප්‍රේක්ෂකයෙක් ලෙස මේ චිත්‍රපටය දකින්නේ කොහොමද?
මේ චිත්‍රපටය සංස්කෘතියට නොගැළපෙනවා යැයි කියන්න නම් එම සිදුවීම් මේ සංස්කෘතිය තුළ සිදු නොවුණු ක්‍රියාවක් විය යුතුයි. නමුත් මේ චිත්‍රපටය කරන්න කලින් ලංකාවේ විවිධ ප්‍රදේශවල වාර්තා වූ මෙවැනි සිදුවීම් කිහිපයක්ම පුවත්පත් වාර්තා ඔස්සේ අපට පරිශීලනය කරන්න ලැබුණා.
එහි එම සිදුවීම් වූ අයුරු හා එයින් එක් අවස්ථාවක ඇත්තටම මළමිනියට පණ ආ ආකාරය ලංකාවේ පුවත්පත් වාර්තා කර තිබුණා. එයින් අදහස් වන්නේ මෙවැනි සංසිද්ධි මේ සංස්කෘතිය ඇතුළේ සිදුවන බවයි. මේ චිත්‍රපටයේ අන්තර්ගතයේ දේශපාලනික කියවීමකුත් තිබෙනවා. හේතුව, මේ චිත්‍රපටය නියෝජනය කරන තරුණයන් තිදෙනාගෙන් මෝචරියේ වැඩ කරන තරුණයාගේ මනෝභාවය නියෝජනය කරන්නේ ලංකාවේ පශ්චාත් නූතන සමාජයේ සිටින එක්තරා තරුණ කොටසක්.
ඔහු මවට ආදරය කරන, මව හා ආසක්ත වුණු හිස්ටරික මනෝභාවයක් සහිත තරුණයෙක්. නමුත් ඔහු යන්නෙත් ආශාව කියන ඉතා භායානක නිර්ණායකය පසු පස. එහි අවසානය විනාශය කරා එළැඹීමක්. අනෙක් තරුණයා මුදල් තිබෙන තම පියාට මානසිකව ආසක්ත වුණු සයිකෝසීය තරුණයෙක්. ඔහුගේ චරිත සොබාවට අනුව ඔහු ඉතා මුරණ්ඩු දැඩියි.

නමුත් ඔහුගෙත් පොදු දුර්වලතාව ආශාව පසු පස හඹා යාමයි. ඒ හඹා යෑමේදී මේ තරුණයින් දෙදෙනාටම ඔවුන්ගේ මනෝභාව අනුව මේ පවතින යථාර්ථයේ ශිෂ්ට බව අමතක වෙනවා. වර්තමානයේ ඇතැම් තරුණ කොටස් තුළින්ද අපි මේ ස්වාභාවයම දකිනවා. තම අසල්වැසියා, අත දරුවන් දූෂණය කරන්නේ ඒ මානසික අර්බුදයේ ප්‍රතිඵල ලෙසයි. මළ මිනියක් දූෂණය කිරීම කියන මානසික රෝගය ද අඩු වැඩි වශයෙන් මේ මනෝභාව තුළ දකින්න පුළුවන්. චිත්‍රපටයේ කුමාර සහ රුවන් කියන චරිත හරහා නියෝජනය වන්නේ ඒ තිබෙන මානසික ප්‍රශ්නයයි. මම පණ පොවන නාමල් නියෝජනය කරන්නේ උසස් අධ්‍යාපනය හැදෑරූ යම්තාක් දුරකට ශිෂ්ට වූ තරුණයකු ගේ චරිතයයි. ඒ ශිෂ්ටසම්පන්න තරුණයා මේ සිදුවන අශීලාචාර ක්‍රියාවලියට විරුද්ධව නැඟී සිටින්නේ ඒ නිසයි. නමුත් ඔහුගේ ශිෂ්ටත්වය මේ ක්‍රමය නොහොත් බහුතරය විසින් මරා දමනවා.

මගේ පෞද්ගලික මතයට අනුව නම් මේ මොහොතේ මේ රටේ සංස්කෘතිය තුළ සිදු වෙන්නෙත් ඒ ශිෂ්ටත්වය මරා දැමීමේ උත්සාහයක්. සංස්කෘතිය කියන්නේ ශිෂ්ටත්වයට. හොඳ සංස්කෘතියක් කියන්නේ හොඳ ශිෂ්ට සමාජයකට. එවන් සමාජයක් බිහි වෙන්න බාධා කරන්නේ අපේ ඇතුළාන්තයේ තිබෙන ඉතා නරක මනෝභාවය. මේ නරක කියන දේ අවසානයේදි විනාශ කර ස්ත්‍රිය ස්ත්‍රිය වෙනුවෙන් පෙනි සිටීම තමයි මේ කතාවේ අන්තර්ගතය ලෙස මම දකින්නේ.

ඔබේ රංගනයේ සීමා තිබෙනවාද?
සීමා පනවා ගෙන නැහැ. නමුත් මම වාණිජ හා කලාත්මක සිනමාවත් නියෝජනය කරන නිසා එයින් එකිනෙකට හානි නොවන ආකාරයේ නිර්මාණ තමයි බොහෝ විට තෝරා ගන්නේ. සරලවම ගත්තොත් මම ආනන්දය සහ ප්‍රඥාව යන දෙකම ප්‍රේක්ෂකාගාරය වෙත ලබා දෙන්නයි හැම විටම නිර්මාණයක් හරහා උත්සාහ කරන්නේ.

මෙම චිත්‍රපටයේ ‘රුවන්‘ ගේ චරිතයට ආරාධනය ලැබුණා නම් ඔබ එය බාර ගනීවිද?
කොයි ආකාරයෙන්ද ඒ ඉදිරිපත් කිරීම වෙන්නේ යන්න අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කොට එක්තරා සීමාවක සිට මට එය බාර ගන්න පුළුවන්.

කලාවේ ඔබේ ගැවසීම ගැන තෘප්තිමත්ද?
අතිශය තෘප්තිමත්. සිනමාවේ හොඳම නළුවා, සිනමාවේ හොඳම සහාය නළුවා, සිනමාවේ හොඳම දුෂ්ටයා සහ සිනමාවේ හොඳම විකට නළුවාට හිමි සම්මානයත් දිනා ගන්න මට හැකි වුණා. මේ අංශ හතරම අපේ යුගයේ දිනා ගත් එකම නළුවා මම. ඒ ඇගැයීමට මා මේ තරම් දුර ගෙනවිත් තිබෙන්නේ මගේ මහන්සිය, උත්සාහය සහ කිසිඳු හැඳුනුම්කමක් නැතිව මේ ක්ෂේත්‍රයට පය ගහද්දි මට හමු වූ හොඳ මිනිසුන්.

ඔබේ ජීවිතයට අත්වැලක් වූ මාෂි හා ගෙවෙන කාලය?
විවාහය කියන්නේ තමන්ට තමන්ව කියව ගන්න අවශ්‍ය කරන අපුරු පොතක්. මට ඒ පොත ලැබුණා. ඇය හරහා මම මාව යළි කියවනවා. මෙතෙක් මම මගේ ජීවිතේ නුදුටු පැත්තක් ඇය හමු වීමෙන් මට දකින්න ලැබුණා. එය සුවිශේෂි කාරණයක්. ජීවිතයේ ඉදිරියට යන්න කැඩපතක් අවශ්‍යයි. ඒ කැඩපත තම බිරිය වීම ලොකු වාසනාවක්. ජීවිතය ගත කරන ආකාරය ඇයගෙන් මමත්, මගෙන් ඇයත් ඉගෙන ගනිමින් විශේෂයෙන්ම ආදරය අප ඉතා ඉහළින් අගය කරමින් ජීවත් වෙනවා.

ඇයත් දැන් සිනමාවට ප්‍රවිෂ්ටව සිටිනවා?
ඇය දැනට චිත්‍රපට හතරක් කර තියෙනවා. ඇගේ රංගනයේ ප්‍රබලත්වය මම දැක්කේ ඇගේ පළමු චිත්‍රපටය වන ඉදිරියේදී තිරගත වීමට නියමිත චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘යුගාත්‍රා’ චිත්‍රපටයෙන්. මම හිතන්නේ ලාංකේය සිනමාවේ රංගනයේ යෙදෙන්න පුළුවන් ලස්සන නිළියකුගේ අඩුවක් ඇය විසින් සපුරා ඇති බවයි. ඇයගේ චිත්‍රපට තිරගත වෙන්න පටන් ගත් පසු එය අපේ සිනමාවට හොඳ ප්‍රවණතාවක් වෙයි.

බොහෝ නළුවන් මෙන් දිනෙක අධ්‍යක්ෂවරයකු වීමේ හීනය ඔබත් දකිනවාද?
මම ක්ෂේත්‍රයට ආවේ පිටපත් රචකයෙක් වෙන්න. ආදායම් වාර්තා පවා තැබූ චිත්‍රපට කිහිපයක්ම තිර රචනය කරමින් ඒ බලාපොරොත්තුව ඉටු කර ගත්තා. තිර රචනය හදාරමින් තමයි මම මේ ගමන යන්නේ. ඒ හැදෑරිම් එක්ක මට ලොකු අවශ්‍යතාවක් තිබෙනවා චිත්‍රපට ලියන්න. ඒ අඩුව පුරවන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා. ඒ සමඟ අධ්‍යක්ෂවරයෙක් වීමේ බලාපොරොත්තුව ටිකක් එහාට ගියත් කවදා හෝ හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරාත්තුව මටත් තිබෙනවා. සමහර විට එය ‘මායා 2’ චිත්‍රපටය වේවි.

ලබන වසර පුබුදුට නොසෑහෙන ප්‍රතිචාර ලබන වසරක් වේවි?
අනිවාර්යයෙන්ම. දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ‘ගිරි වැසි පුර’ ආචාර්ය සෝමරත්න දිසානායකයගේ ප්‍රථම කලාත්මක චිත්‍රපටය වන ‘ජංගි හොරා’, අනුරුද්ධ ජයසිංහගේ ‘මා’ , පී. සිවදාසන්ගේ ‘දෙවැනි යුද්ධය’, ප්‍රිති රාජ් වීරරත්නගේ ‘එදත් දිනුම් අදත් දිනුම්’ සහ සුනිල් ප්‍රේමරත්න මහතාගේ ‘නිහඬ සෙවණැලි’ යන චිත්‍රපට හයම ලබන වසරේ තිරගත වෙනවා.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!