Gossip

“පාන්දර ජාමේ නින්දට ගියත් පැය කාලක්වත් පොතක් කියවනවා.. මගේ පියා පොලිස් නිලධාරියෙක්. ඒත් මගේ පියාව ජායාරූපයකින් ඇරෙන්න නිල ඇඳුමෙන් දැකලා නැහැ.”

පොලිස් සේවයට බැඳුණට පස්සේ මට බොහෝ අය ඇසුරු කරන්න ලැබුණා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඇසුරු කරන්නත් ලැබුණා. ඒ අයගෙන් ලද සහාය මත මගේ ලිවීම, පුවත්පත්වලට ලිවීම දක්වා ව්‍යාප්ත වුණා. මම පොලීසිය ගැන බොහෝ ලිපි ලියා තිබෙනවා. විශේෂයෙන්ම මම පොලිස් ඉතිහාසය හුඟක් හදාරලා ඒ ගැන ලියනවා.
දශක හතරකට ආසන්න තම වෘත්තීය ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් දෙස හැරී බලා සතුටු වන්නට ඔහුට බොහෝ කරුණු කාරණා ඇත.
එමෙන්ම තමන් රචනා කළ කෘති පාඨකයන්ගේ පැසැසුමට ලක්ව ඇති අයුරු දකින විට ඒ සතුට තව තවත් වැඩි වනු නොඅනුමානය.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ලියූ මේ ඒ කතා, කළු අධිරාජ්‍යයේ කතාව, රටම ගිනියම් කළ පාතාල අපරාධ යන ග්‍රන්ථ ත්‍රිත්වය පසුගියදා එළිදක්වන ලදි.
පොලිස් සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි ලද අත්දැකීම් ඇසුරෙන් රචිත ඒ කෘති ත්‍රිත්වය පිළිබඳ මෙන්ම ඔහුගේ ජීවන අත්දැකීම් පිළිබඳ කතා කරන්නට පසුගිය දිනෙක අප ඔහු හමුවීමු.
“මම උපන්නෙ පමුණුගම. පමුණුගම කියන්නේ මීගමුව සහ කොළඹ අතර මුහුද අද්දර තිබෙන කුඩා බිම් තීරුවක්.
එය දූපතක් ලෙස හැඳින්වුවොත් වඩා නිවැරදියි. එක පැත්තකින් මීගමුව කලපුව. අනෙක් පැත්තෙන් මුහුද. සොබාව සෞන්දර්යය අතින් අනූන ප්‍රදේශයක්. මගේ ළමා කාලය ගත වුණේ ඒ ප්‍රදේශයේ. මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ. ද්විතීයික අධ්‍යාපනය කඳාන දි මැසනද් විදුහලේ.
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ 1982 වසරේ දී මම උප පොලිස් පරීක්ෂකවරයකු හැටියට පොලීසියට සම්බන්ධ වුණා.
මගේ පියා උසස් පොලිස් නිලධාරියෙක්. ඒ නිසා පොලීසිය මට ආගන්තුක නෑ. ඒත් මම කවදාවත් මගේ පියාව ජායාරූපයකින් ඇරෙන්න නිල ඇඳුමෙන් දැකලා නැහැ. ඔහු රැකියාව කළේ ජාතික ආරක්ෂක තොරතුරු සේවයේ බුද්ධි නිලධාරියෙක් හැටියට. ඒක නිසා පොලීසිය කියන දෙය ඒ කාලෙ සිටම ඇඟේ තිබුණා. මම වඩාත්ම ප්‍රිය කළේ පාපන්දු ක්‍රීඩාවට.”
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට එක් වූ ප්‍රියන්ත මේ වන විට වසර තිස්හතක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.
ගෙවුණු සේවා කාලය තුළ ඔහු සිය රාජකාරියේදී විවිධ ඉසව් නියෝජනය කළේය. වර්තමානයේදී අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කටයුතු භාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරයි. පොලිස් සේවය හා සාහිත්‍යය එකට නොපෑහුණද ඔහු සාහිත්‍ය විෂය කෙරෙහි ද ඇල්මක් ඇත්තෙකි. මේ නිසාම ඔහු ලේඛන කලාවට පිවිසෙන්නේය.
“මම පාසල් සමයේ සිටම ලියන්න කැමැතියි. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ඉගෙන ගන්නා විට මම සිංහල සාහිත්‍ය සංගමයේ උද්‍යෝගිමත් සාමාජිකයෙක්.
සාහිත්‍ය සංගමයේ විවිධ දේවලට සහභාගි වුණා. පාසල් කාලේ ඉඳලම මට පොත් කියවීමේ පිපාසයක් තිබුණා කියලා කිව්වොත් නිවැරදියි.
පාසල් පුස්තකාලයෙන් වැඩිපුරම පොත් ගන්න ළමයින්ගේ ලැයිස්තුවේ උඩින්ම හිටියේ මම. අතට අහුවෙන ඕනෑම පොතක් මම කියවනවා. මම පොත් කියවන්න පටන් ගත්තේ ඩීමන් ආනන්දගේ පොත්වලින්. ඒ පොත් රහස් පරීක්ෂක කතා පොත්. ඒත් අපේ වැඩිහිටියන් නම් ඒ පොත් බලනවාට කැමති වුණේ නැහැ. සමහර විට පොත්වල තිබෙන පිටකවරය හා අන්තර්ගතය හින්දා වෙන්නත් ඇති. නමුත් ඒවා හොරෙන් කියවන්න අපි පුරුදු වෙලා හිටියා. මගේ පොත් ගොඩ අස්සේ අනිවාර්යෙන්ම ඩීමන් ආනන්දගේ පොතක් දෙකක් තිබෙනවාමයි.”
ප්‍රියන්ත මහතා තම පාසල් ජීවිතය ගැන පවසන්නේ උද්‍යෝගයෙනි. ඇතැමුන් කොතරම් කියවීමට ඇබ්බැහි වී සිටියද රැකියාවකට ගිය පසු ඒ පරිසරය අනුව සියල්ල වෙනස් කරගනී. එහෙත් ප්‍රියන්තගේ තරුණ සිත ඊට වෙනස්ය.
“පොලිස් සේවයට බැඳුණට පස්සේ මට බොහෝ අය ඇසුරු කරන්න ලැබුණා.
විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඇසුරු කරන්නට හම්බ වෙනවා. ඒ අයගෙන් ලද සහාය මත මගේ ලිවීම, පුවත්පත්වලට ලිවීම දක්වා ව්‍යාප්ත වුණා.
මම පොලීසිය ගැන බොහෝ ලිපි ලියා තිබෙනවා. විශේෂයෙන්ම මම පොලිස් ඉතිහාසය හුඟක් හදාරලා පොලිස් ඉතිහාසය ගැන ලියනවා. ඒ අතරතුර මම කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා මානව අයිතිවාසිකම් සම්බන්ධව පශ්චාත් උපාධියක් ලබාගත්තා. ශාස්ත්‍රපති උපාධිය දැනට හදාරමින් ඉන්නවා.
ඒ වගේම මෑත කාලයේදී ශ්‍රි ලංකා පොලිසිය අලළා නිර්මාණය වූ 90%ක් සමරු කලාප සංස්කරණය කිරීමේ අවස්ථාව මට ලැබුණා.
ඒ වගේම පොලිස් ඉතිහාසය සම්බන්ධව තිබුණු ඉතා විටිනා ග්‍රන්ථ කීපයක් නැවත මුද්‍රණය කිරීම සහ ඒවා සිංහල භාෂාවට පරිවර්තනය කිරීම වගේ සාහිත්‍යමය කටයුතු රාශියක නිරතව සිටිනවා.
අද වන විට පොලිස් ඉතිහාසයේ හුඟාක් තැන් වැළලිලා ගිහින්. ඒ තැන් මතු කර ඉදිරි පරපුරේ භාවිතා කිරීමට යොමු කිරීමයි මගේ උත්සාහය.
සිංහල වගේම මම ඉංග්‍රීසි විෂයටත් කැමතියි. මගේ මව ඉංග්‍රීසි භාෂා ගුරුවරියක්. ඇය මුල සිටම අපව යොමු කළේ ඉංග්‍රීසි පොත් කියවන්න.
මම ඒ ඉංග්‍රීසි පොත් අස්සෙන් තමයි සිංහල පොත් කියෙව්වේ. තාමත් වැඩි කැමැත්ත තිබෙන්නේ සිංහල පොත් කියවන්න. මම දැනුම පුළුල් කරගැනීම සඳහා තමයි බොහෝ දුරට ඉංග්‍රීසි පොත් කියවන්නේ.
පාසල් වියේ සිටම පොත පත කියවන්න හුරු වූ ඔහු අවසානයේ සිය අත්දැකිම් ඇසුරෙන් පොත් කිහිපයක්ම රචනා කරයි.
පසුගිය දා එළි දක්වන ලද ඒ කෘති පිළිබඳ ඔහු පවසන්නේ මෙවැනි කතාවක්.
“මේ පොත්වල තියෙන්නේ වෘත්තිය ජීවිතය තුළ මුහුණ දුන් විවිධ අත්දැකීම්. ලංකාවේ හිටපු නම්දරාපු අපරාධකරුවන් කිහිප දෙනෙක්.
ඔවුන් අතර වූ සංවේදීය සිදු වීම්. විශේෂයෙන් ‘චීනා‘ ‘වන්ෂොට්‘ කියන අපරාධකාරයන්, ඔවුන්ගේ ක්‍රියාකාරකම්, මට ඔවුන් හමු වූ හැටි. ඊට අමතරව තව විරල කතාවක් තියෙනවා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ. සමාන්‍යයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු හමුවෙන්න පුළුවන් වන තත්ත්වය හරිම දුර්ලභයි.
නමුත් මෙහි එවන් මරාගෙන මැරෙන බෝම්කරුවෙකු මට හමුවූ අවස්ථාව ගැනත් ඔහුගේ කතාවත් ඇතුළත් වෙනවා. එ අතර ඉතාම සංවේදී කතාවක් තිබෙනවා.
ඔහු සිවම්. වවුනියාව යුද කලාපයේ මම සේවය කරන කාලයේ මගේ කරනැවෑමියා. ඔහු නුවර ව්‍යාපාරිකයෙක්. 83 කලබල සමයේ ඔහුගේ දේපොළ සේරම විනාශ වෙනවා. ඔහුට යන්න සිදු වුණා උතුරට. ඔහුට පුතුන් දෙනෙක් සහ දියණියක් හිටියා. එක පුතෙක් බොහොම අමාරුවෙන් කොළඹ හින්දු විද්‍යාලයට ඇතුළත් කර උගන්වනවා.
අනෙක් පුතා ඒල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වෙලා නැති වෙනවා. දුවත් සමඟ තමයි ඔහු වව්නියාවට එන්නේ. වව්නියාව්දී තමයි සිවම් මට හමු වෙන්නේ. වෛද්‍ය විද්‍යාලයට ගිය සිවම්ගෙ පුතා විදේශගත වෙනවා. ඔහු විවාහ වෙනවා. ඔවුන් ඉන්නේ ඉහළ තලයක. මේ නිසා තමන්ට අවනම්බුවක් වෙයි කියලා හිතලා තාත්තාගේ ඉතිහාසය අයින් කරනවා. පුතා ඔහුගේ යාළුවෙකු එවනවා සිවම්ට ලක්ෂ පහක් දෙන්න කියලා. පුතාගේ යාළුවා එන්නේ වවුනියාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවට.
ඔහු එතැනදි සිවම්ට පුතා දුන්නා කියලා මුදල් දෙනවා. සිවම් එය ඒ තරුණයාගේ මුහුණට දමලා ගහනවා. මොන තරම් වෙස් මාරු කරගෙන හිටියත් මගේ පුතා මට අඳුරන්න බැරිද කියලා ඔහු මට කියනවා. එදා යාළුවා විදිහට එන්නේ සිවම්ගේ පුතා. ඒ වගේ සංවේග ජනක සිදු වීම් ඒ පොතට ඇතුළත්.”
වෘත්තීය ජීවිතයේදී ලැබු එවැනි සංවේදී අත්දැකිම් ඔහු ලියන්නේ පාඨකයාගේ නෙතට කදුලක් එන ලෙසිනි.
ඔහු දේශියව පමණක් නොව විදෙස්වලද සංචාරය කර ඇත. එසේ ගිය ගමන්වලදී ලද සොඳුරු අත්දැකීම ‘මේ ඒ කතා’ කෘතියේ ඇත. ‘කළු අධිරාජ්‍යයේ කතාව’ කෘතිය ලංකාවේ සිදු වූ සංකීර්ණ අපරාධ ක්‍රියාවලියක් සහ විමර්ශනයක් ගැන කියැවෙන කෘතියක්.
1967 වස‍රේදී අනුරාධපුරය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ දොස්තර ඇල්ප්‍රඩ් පෙරේරා සිදු කළ කලැත්තෑවේ ද්විත්ව මිනී මැරුම් නඩුව සහ එහි විමර්ශනය මේ කෘතියට පදනම් වෙනවා.
“ශ්‍රී ලංකාවේ පොලිසිය සිදු කළ විශිෂ්ට විමර්ශන අතුරින් එකක් වෙනවා. එයට ප්‍රධාන හේතුව තමයි විමර්ශනයේදී විමර්ශකයන්ට හැකි වුණේ නැහැ මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සොයාගන්න. ඔවුන්ව ඝාතනය කරලා ඒ මළ සිරුරු ඉතා සූක්ෂමව විනාශ කර තිබුණා.
ඒ කාලේ නෛතික සිද්ධාන්තයක් තිබුණා ‘නෝ බොඩි නෝ මර්ඩර්’ කියලා. මෘත ශරීරයක් නැත්නම් එතැන මිනී මැරුමක් නැහැ කියලා. මේ සංකල්පය වෙනස් කරපු අවස්ථාවක් වුණා එය.
මෘත ශරීර නැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර ප්‍රදේශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් (අදටත් ජීවතුන් අතර ඉන්නවා) කීපදෙනෙක් මේ විමර්ශනය කොහොමද කළේ? එයට පසුබිම් වූ කතා පුවත මේ විමර්ශනයේදී සාක්ෂි සොයාගත් අයුරු, අබමල් රේණුවක සැකයක් ඇති නොවන ලෙස මෙය අධිකරණයේදී ඔප්පු කළේ කෙසේද? අපරාධකරුවන් සමූහයට නිසි දඬුවම් ලබාදෙමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ අයුරු කළු අධිරාජ්‍යයේ කතාවට ඇතුළත් වෙනවා. නීතිය හා අපරාධ විමර්ශනය ගැන උනන්දුවක් දක්වන අයට මේ කෘතිය ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා.
‘රටම ගිනියම් කළ පාතාල අපරාධ’ මගේ තුන්වන කෘතිය. 1994 සිට මගේ විෂයය වුණේ සංවිධානාත්මක අපරාධයි.
දීර්ඝකාලීනව මේ විෂයය ගැන මට හදාරන්න ලැබුණා‍. ලංකාවේ බහුතරයක් ප්‍රධාන අපරාධකරුවන් රාශියක් මම අත්අඩංගුවට අරන් තිබෙනවා.
ඒ අතුරින් අත්අඩංගුවට ගැනීම් හා ඒ ආශ්‍රිත සිදුවීම් විසි පහක් අලළා තමයි මේ තුන්වන පොත මා අතින් රචනා වෙන්නේ.”‍ උසස් පොලිස් නිලධාරියෙකු ලෙස ඔහු බොහෝ කාර්යබහුලය. එනමුදු ඔහු ලිවීමට කාලය වෙන් කරගැනීමට දක්ෂය.
“කොපමණ කාර්යබහුල ජීවිතයක් ගත කළත් පොත් කියවීම සහ ලිවීම කියන දෙය මගේ ජීවිතය හා එකට බැඳී පවතින දෙයක්.
එයින් ඉවත් වීම අපහසුයි. මම අදටත් හැමදාම වගේ පොත් කියවනවා. ලියන එකත් නිතරම වගේ කරනවා. තමුන්ට එන අදහස් අනෙක් අය සමඟ බෙදා ගැනීමයි ලේඛකයකුගේ පරමාර්ථය. කාලය කළමනාකරණය කරගන්නවා නම් අපට පොත් ලියන එක අපහසු නැහැ.”
එදා අද කියා වෙනසක් නැත. දැන් රටේ සිදු වන අපරාධ වැඩිය. එසේ අපරාධ වැඩි වන්නේ ඇයි දැයි විමසු විට ප්‍රියන්ත ජයකොඩි මහතා තම දිගුකාලින අත්දැකීම් ඇසුරෙන් පැවැසුවේ මෙවැනි කතාවකි.
“මගේ අරමුණ කුමන අපරාධයක් කළත් ඒ අපරාධය කළ තැනැත්තාට නීතියෙන් ගැලවීමක් නැහැ කියන බව පෙන්වීමයි.
අපරාධයත් සමඟම දඬුවමත් එනවා. ඒ දඬුවම සමහර වේලාවට අපි හිතන දඬුවමක් වන්නේ නැහැ. සමහර වේලාවට නීතිය ඉදිරියේ දඬුවම් නොලැබුණු අවස්ථා තිබෙනවා. ඒත් ඒ අපරාධකරු කවද හරි කොයිම ආකාරයෙන් හෝ ඒ අපරාධයට දඬුවම් විඳිනවා‍. ඒක සමහර විට අපට නොපෙනෙන දඬුවමක් වෙන්න පුළුවන්.”

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!