Gossip

සමහර ඇඳුම් ඉතා අඩු මුදලකට ලැබුණා, නොමිලයෙත් ලැබුණා. මුලින්ම මගේ යාළුවෝ අතරේ වික්කා.මගේ පරණ කාර් එකේ ඇඳුම් දාගෙන ගිහින් කඩවලට දැම්මා

1964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව ඉතා නිදහසේ හැදි වැඩෙන්නීය. ඔටාරා ගේ පියා එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකි. මව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය. පියාගේ ව්‍යාපාරික ඥානය, ඒ පසුබිම හා මවගේ මානුෂීය ගති පැවැතුම්ද උරුමව හැඳි වැඩුණු ඔටාරා කුඩා කල සිටම සතුන් පිළිබඳ දැක් වූයේ මහත් ආදරයකි. කරුණාවකි. ඇගේ නිවෙසේ ලේනුන්, හාවුන් හා සුනඛයින් වෙනුවෙන් රැකවරණය ආදරය ලබා දීමට ඇය නොපසුබට වූවාය. පසු කලෙකදී ‘ඔඩෙල්‘ නමින් ඇරැඹෙන ඇගේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක් වූයේද උපයන ආදායමෙන් සැලකිය යුතු මුදලක් සතුන් වෙනුවෙන් වෙන් කිරීමය. පළමුව ඔඩෙල් (ODEL) ද පසුව එම්බාර්ක් (EMBARK) ද මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාන්තා සලකුණ සනිටුහන් කළ ඔටාරාගේ සාර්ථකත්වය හා ජීවන ගමන ගැන මේ දිග හැරෙන මතක රසවත්ය. හරවත්ය.

ඔබේ මුල්ම රැකියාව නිරූපණ ක්ෂේත්‍රයයි?

මගේ අවශ්‍යතාව සහ ළැදියාව තිබුණේ කෑලෑවල ගත කරලා සතුන් නිරීක්ෂණය කරන්න. ඒ කාලෙදි එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වයස අවුරුදු 19 දි වරක් මම නිරූපණ කටයුත්තකට සම්බන්ධ වුණා. වෘත්තීය වශයෙන් අවස්ථාව ලැබෙන්නේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර ලංකාවට ආවාට පස්සේ.

රැකියාවෙන් ලැබූ මුල්ම වැටුප ?

ෂෝ එකකට රුපියල් 2000ක් වගේ ලැබුණා. ඒ කාලේ එය ලොකු ගණනක්.

ව්‍යාපාර ලොවට ඔටාර පා තබන්නේ ?

නිරූපණ කටයුතුවලට සම්බන්ධ කාලේ මගේ තාත්තා නිතරම කියපු දෙයක් තමයි “නිරූපිකාවක් වුණාට කමක් නැහැ, තමන්ගේම ආදායම් මාර්ගයක්, ව්‍යාපාරයක් පටන් ගන්න“ කියලා.

‘ඔඩෙල්‘ එහි ප්‍රතිඵලයක් ?

ඔව්. තාත්තා තමයි මගේ නමින් ලියාපදිංචි කරලා දුන්නේ. මුලින්ම විනෝදාංශයක් විදිහටයි පටන් ගත්තේ. ආයතන කිහිපයකට ටීෂර්ට්ස් හදන්න පටන් ගත්තා. ඒ කාලේ ගාමන්ට් එකක් තිබුණු මගේ යාළුවෙක් හිටියා. සමහර ඇඳුම් ඉතා අඩු මුදලකට ලැබුණා, නොමිලයෙත් ලැබුණා. මුලින්ම මගේ යාළුවෝ අතරේ වික්කා. පස්සේ මගේ පරණ කාර් එකේ ඇඳුම් දාගෙන ගිහින් කඩවලට දැම්මා.

ව්‍යාපාරිකාවක් ලෙස ගොඩනැගෙන විට තිබූ අභියෝග?

ව්‍යාපාරයක් පටන් ගන්න විදිහ, කරගෙන යන විදිහ ගැන මට නිසි අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි මම හිමින් ඉගෙන ගත්තා.

වාහනයක ඇඳුම් විකිණු පුංචි ව්‍යාපාරිකාව ආයතනයක හිමිකාරිණියක් වෙන්නේ?

1988, 89 වගේ ඩික්මන් පාරේ පුංචි තැනෙකින් තමයි ඔඩෙල් ඇරඹෙන්නේ.

තාත්තා ගත් තීරණය ගැන අද මොකද හිතෙන්නේ?

එදා තාත්තා ඉදිරිය ගැන සෑහෙන්න දකින්න ඇති. ඔහු මාව එයට යොමු කළා, දිරිමත් කළා, මග පෙන්නුවා නමුත් ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය මුදල් දුන්නේ නැහැ. මටම හොයාගෙන පටන් ගන්න කිව්වා. අද මට හරිම සතුටුයි. ඒ තමයි මට තාත්තාගෙන් ලැබුණු හොඳම මගපෙන් වීම. සමහර විට නිකන් ලැබෙන දේ අපට අගයක් නැහැ. එදා තාත්තා සල්ලි දුන්නා නම් මම හරියට කරයිද දන්නෙත් නැහැ. තාත්තා නිසා තමයි මගේ උනන්දුව, උත්සාහය ඇති වුණේ. එයින් මට අවශ්‍ය දේ මගේ විදිහට කරලා ජයගන්න ඉගෙන ගත්තා.

ව්‍යාපාරික ඉලක්ක වෙනුවෙන් ඔබ ජීවිතයේ බොහෝ කැප කිරීම් කරන්න ඇති?

ඒ කැප කිරීම් එකිනෙකාට වෙනස්. සමහරු නියමිත වෙලාවක් වැඩ කරලා විවේක ගන්න කැමැතියි. තවත් සමහරු තමන්ගේ වැඩ කරන ගමන්ම විනෝදංශ සහ විවේකය ගැනත් සැලකිලිමත්. තවත් අය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි මුදල් හම්බ කරන්නේ. මේ දේවල් එක්ක බලද්දි මගේ ජීවිතේ ගොඩක් වෙනස්. මේ ව්‍යාපාරය නිසා මම ගොඩක් දේවල් අත්හැරියා. මගේ විවේක කාලය, විනෝදාංශ, මගේ සාමාන්‍ය ජීවන රටාව, මගේ කාලේ ගත වුණේ ව්‍යාපාරික කටයුතු ගොඩ නඟන්න. ඒ ව්‍යාපාරය රැගෙන ගොඩක් රටවලට ගියා. ඒ ඔස්සේ විවිධ අත්දැකීම් එකතු කර ගනිමින් ඉගෙනීමට අවස්ථාව ලැබුණා.

මා දන්නා විදිහට ඔබ විද්‍යාවේදී උපාධිධාරිනියක්?

ඔව්. මගේ ඩිග්‍රි එක බයොලොජි.

ඔබේ විනෝදාංශය ?

කැලෑවල ගිහින් ඉන්න. තැන් තැන්වල සංචාරය කරන්න. සොබා දහම, සතුන් සහ මිනිසුන් නිරීක්ෂණය කරලා අත්දැකීම් එකතු කරගන්න.

ඔබේ විවාහය සිදු වෙන්නේ?

ආදර සම්බන්ධයකින්.

වඩාත් සංවේදී අවස්ථාව?

මගේ දරුවෝ දෙන්නා…. මට ඉන්නේ පුතාලා දෙන්නෙක්. ඔවුන් දැන් ලොකුයි. ලොකු පුතා කිරන්. පොඩි පුතා රාකේල්. මගේ දරුවෝ මේ ලෝකේට බිහි කළ මොහොත තමයි ජීවිතයේ මා වඩාත් සංවේදි කළ තැන.

ඔවුන්ට සිටින්නේ අතිශය කාර්යබහුල මවක්. එය දරුවන්ට ගැටලුවක් නැද්ද ?

කවදාවත් නැහැ. තව වැඩි කාලයක් දරුවෝ සමඟ ගත කරන්න පුළුවන් නම් හිතුණු වාර තියෙනවා. නමුත් අදවතුරුත් ඔවුන් මට අඩුවක් කියලා නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම අවබෝධයෙන් සහ ආදරයෙන්. ජීවිතයට වැදගත් වෙන්නෙ ඒ එකමුතුව සහ ආදරයයි.

ජීවිතයේ කවදා හෝ වැරැදි තීරණයක් අරන් තිබෙනවාද?

පෞද්ගලික හා ව්‍යාපාරික ජීවිතයේ එවැනි බොහෝ අවස්ථා තියෙනවා. වෙන්න තියෙන දේවල් කොහොමටත් වෙනවා. නමුත් වරක් වැරැදුණාහම ඒ වැරැද්දෙන් ඉගෙන ගන්නැතුව එකම දේ කරනවා නම් ප්‍රශ්නයක්. හොඳ හදවතින්ම ජීවිතයක් ගත කළොත් වරදින්නේ නැහැ .

කලෙකදි ඔබ දරුවන් තනියම හදා ගන්න තීරණය කරනවා?

ඔව්. දික්කසාදයෙන් පස්සේ දරුවන් දෙදෙනා මා සමඟ ජීවත් වන්නේ. මගේ පවුලෙන් ලොකු සහයක් ලැබෙනවා. විවාහයේ වෙනසක් වුණත් අපේ යාළුකම් වෙනස් වෙලා නැහැ. එකට ජීවත් වුණේ නැතත් අපි හමු වෙලා දරුවෝ සමඟ එකට එළියට යනවා. අපේ වෙන් වීම ඔවුන්ට අඩුවක් වෙන්න දුන්නේ නැහැ. ඔවුන් මාපිය ආදරේ නොඅඩුව ලබෙනවා.

සිළුමිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!