Gossip

මම දේශපාලනයට එන්නෙ සියයට අනූවක්ම ජනතාව වෙනුවෙන් කැපවෙන්න

දශක දෙකකට ආසන්න කාල පරාසයක් වේදිකාවේ පුංචි තිරයේ සහ සිනමාවේ සිය ප‍්‍රතිභාපූර්ණ රංගන දක්ෂතා එළිදක්වමින් මෙරට ප්‍රේක්ෂක ආකර්ශනය සහ ආදරය දිනා ගත් ප‍්‍රවීණ රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුම, සිය ප්‍රේක්ෂක ජනතාවටත් උපන් බිමටත් සේවයක් ඉටු කිරීමේ අරමුණ පෙරදැරිව එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නීය. මතු පෙළගැසෙන්නේ ඇය ඒ පිළිබඳව සහ සිය කලා දිවිය පිළිබඳව පවසමින්

අද වන විට දශක දෙකකට ආසන්නව ඇති ඔබේ කලා දිවිය වර්ණවත් වූයේ පුංචි තිරය නිසාවෙන් බව බොහොම ආඩම්බරයෙන් පැවසුවා…

මම හිතන්නේ මගේ කලා දිවියේදී මට වැඩි ජනතා ප‍්‍රසාදයක් ලැබුණේ පුංචි තිරය නිසාවෙන් කියලයි. කොහොමටත් මම පුංචි කාලේ ඉඳලම කලාවට බොහෝ සේ ඇලූම් කළා කීවොත් එය වඩාත් නිවැරදියි. මම කලා ලෝකයට ප‍්‍රවිශ්ටය ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ළමා පිටියේ වැඩසටහන් හරහා නිවේදිකාවක සහ ළමා නාට්‍ය ශිල්පිනියක ලෙස මගේ හැකියාවන් එළිදක්වමින්. කැමරාවට මුහුණ යොමු කිරීම වෙනුවෙන් මුල්වරට මගේ රංගනයන් මුදා හරින්නේ ‘සැඩ සුළං’ ටෙලි සිත්තම වෙනුවෙන්. ඊට පසුව මම මේ දක්වා ටෙලි නාට්‍ය හැටකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. ‘පූජා’, ‘කාව්‍යා’ නම් වූ නාටක මුල් අවධියේ ඉතාමත් ජනප්‍රිය වුණා. ඊට පසුව මම රඟපෑ හැම නාට්‍යයක්ම වාගේ ප්‍රේෂකයින් අතරට ගියා. හුඟක් ඉහළ ප‍්‍රතිචාර ලැබුවා.

ඒ හිමි වූ ප‍්‍රතිචාර රැුගෙන ඔබ සිනමාවට සහ වේදිකාවටත් පිවිසෙනවා ?

2008 දී තමයි මම වේදිකාවට ගොඩවෙන්නේ. ‘හරි අපූරූ දවසක්’, ‘ඒකාධිපති’, සහ ‘පුංතිලා’ මගේ වේදිකා රංගනයනට විශේෂිතයි. මේ නාට්‍ය හරහා මට වේදිකාවේ හොඳ අත්දැකීම් ලබන්න හැකියාව ලැබුණා. ඒ වගේම අපේ වේදිකාවේ අති දක්ෂ සුවිශේෂි නිර්මාණවේදීන් යටතේ රඟපෑමට ලැබීමත් මට විශේෂිතයි. සිනමාව වෙනුවෙන් කළ මගේ රංගනයන්හීදී මා සුවිශේෂි කැපකිරීම් සමගින් රංගනයන් ගෙනහැර දැක්වූවා. ‘අංජලිකා’, මහින්දාගමනය’, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සහ ‘ජූලි හතයි’ චිත‍්‍රපට මෙතනදී මගේ මතකයේ නොමියව පවතිනවා. ඒ වගේම මා රඟපෑ තවත් චිත‍්‍රපට තුනක් ප‍්‍රදර්ශනයට නියමිතව තිබෙනවා.

2010 වසරේදී ඔබ දේශපාලනය වෙනුවෙන් පෙරට එනවා…

ඔව්. මට කොහොමටත් දේශපාලනය පිළිබඳව උනන්දුවක් තිබුණා. 2015 දී තමයි මම ඒ වෙනුවෙන් පෙරට එන්නේ. කලා ශිල්පිනියක ලෙස ජාතික මට්ටමින් දේශපාලනයට සකී‍රයව දායකත්වය ලබා දීම වෙනුවෙන් ‘වියත් මඟ’ සමග එක්ව සිටියා. ඊට පස්සේ තමයි ‘නෙළුම් පොහොට්ටුවට’ එකතු වෙන්නේ. මම එහි මුල් සාමාජිකාවක්. ඒ වගේම පොදුජන කාන්තා පෙරමුණේ සහ තරුණ පෙරමුණේ විධායක කමිටු සාමාජීකාවක්. ඒ වගේම මම නිදහස් කලා සංවිධානයේ විධායක කමිටුවේත් සාමාජිකාවක්.

කලාවෙන් නමක් දිනූ ඔබට දේශපාලනයෙන් ජනතාවාදී නායිකාවක ලෙස පෙරට යා හැකි යැයි විශ්වාසද… ?

මම ජනතා ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ කලාව නිසාම නෙවී. පක්ෂ කි‍රයාකාරිනියක ලෙස පෙනී සිටීමෙන් අනතුරුව, ඒ හරහා මගේ දේශපාලන සුදුසුකම පෙන්වා තිබෙනවා. මම විශ්වාස කරනවා මට මේ හරහා ගමනක් තියනව කියලා.

හරි, එතකොට ඔබ පාර්ලිමේන්තුව දක්වා යන ගමන වෙනුවෙන් ආරම්භය සනිටුහන් කරන්නේ කොතනින්ද ?

බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් මට නාම යෝජනා ලබා දීමට තමයි යෝජනා වී තිබෙන්නේ. මම දන්න තරමින් එම දිස්ත‍්‍රික්කයේ එකම කාන්තා නියෝජනය වෙන්නෙත් මම.

දේශපාලනයට පිවිසීමේ ප‍්‍රධාන අරමුණ කුමක්ද කියා මා විමසුවොත් ?

ප‍්‍රධාන පරමාර්ථය රටට ජනතාවට සේවය කිරීම. මම කලාකාරිනියක නිසා කලාව පැත්තටත් අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. හැබැයි එය ප‍්‍රධාන තැනෙහිලා ගන්නට බැහැ.

ඔබ කියූ විදිහටම රටට ලෝකයට වැඩ කරනවා කියා දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තු ගිය අපේ කලා ශිල්පීන් කළ කී දෑ පිළිබඳව ජනතාවගේ ප‍්‍රසාදයක් නෑ නේද ?

ඇත්ත, සුදුසුකම් නැති අය රැල්ලට දේශපාලනයට පිවිසියාට වැඩක් නෑ. මම හිතන්නෙ එවන් අයට මෙවර නොමිනේෂන් ලැබෙන එකකුත් නෑ. මෙය අපි හැමෝටම පොදු කාරණයක්. කොහොමටත් මෑත ඉතිහාසයේ කලා ලෝකෙන් දේශපාලනයට ගිය පිරිස් යමක් කළාද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. මේක වෘත්තීය ප‍්‍රශ්නයක් නෙවී, පුද්ගල චරිතවල ප‍්‍රශ්නයක්. එදා විජය කුමාරතුංග මහතා මානුෂීය දයාවෙන් වැඩ කළ බව අපි දන්නවා. එතුමා හිටියා නම් සමහර විට ජනාධිපති වෙන්නත් තිබුණා. ඒ වගේම තමයි ගාමිණි ෆොන්සේකා මහතා. මම දන්න විදිහට අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටි හොඳම කතානායකවරයා එතුමායි. ඉතිං..මේ අයගෙන් පසුව පාර්ලිමේන්තු ගිය කලාකරුවන් ගැන තමයි අපේ ජනතාවගේ ප‍්‍රසාදයක් නැත්තෙ. අද වුණත් වෛද්‍යවරු, ගණකාධිකාරිවරු පාර්ලිමේන්තුවේ සිටිනවා. ඔවුන් අතුරින් ඇතැමෙක් රටට වින කළා කියලා හැමෝටම නාම යෝජනා නොදී බෑනේ. මෙතන තියෙන්නෙ වෘත්තීය ප‍්‍රශ්න නෙවී, පුද්ගල චරිත ඇතුළේ ප‍්‍රශ්න. මේ හැම තැනම රටට හොඳක් කරන අය සහ විනාශයක් කරන අයත් ඉන්නවා. මේ තත්ත්වය සෑම වෘත්තියකටම පොදුයි. මම දේශපාලනයට ආවේ මේ තත්ත්වය වෙනස් කරන්න. හැබැයි අපේ කලා ලෝකයේ බහුතරයක් දේශපාලනයට පිවිසියත් ඒ බහුතරයත් ආවේ සෝඩා බෝතල් වගේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!