Gossip

මුලින් නම් පවුලේ අය කැමැති වුණේ නැහැ.. තාත්තා ගොඩක් විරුද්ධ වුණා…

ඇය නයෝමි තක්ෂිලා. වැව් බැඳි රජරට පුරවරයෙන් කලා අඹරට පෑයු මේ නවක තාරකාව පිළිබඳ කාගේත් කතාබහට ලක් වූණා. සිය රංගන ප්‍රතිභාව නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා සිටින ඇය 24 වැනි සුමති සම්මාන උලෙළේදී ජනප්‍රියතම නිළිය ලෙස ද පිදුම් ලැබුවා.

ඔබ මෙතෙක් දායක වූ නිර්මාණ ගැන කතා කළොත්?

මම මුලින්ම කලා ජීවිතයට අත්පොත් තබන්නේ වේදිකාවෙන් මුහුදු ලිහිණි, හිනාවෙලා මිනිත්තුවක්, සිල් ගත් බිල්ලො, ඒ අතර සුවිශේෂියී… ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තම මීදුමී අම්මා, නිසල දියසුළි, හිතළඟ අත්තටු, නෙතු, බලය ඇවිත්, ඔක්කොම හොඳටයි, ඔබ ආයෙමත් ඇවිදින් ඉන් ටෙලිනාට්‍ය කිහිපයක්… රිදි තිරයේද නිදහසේ පියා, කොට උඩ එක්ස්ප්‍රස්, වැනි සිනමා පට සඳහා රංගන දායකත්වය ලබා දීලා ති‍යෙනවා. ඒ වගේම තවත් චිත්‍රපට කිහිපයකටම ඇරයුම් ලැබිලා තියෙන්නේ.

ඔබ කොළොම්පුරට ආධුනික කෙනෙක්?

මම ඉපදුණේ අනුරාධපුරය නෙල්ලිකුලම කියන සුන්දර ගම්පියසෙයි. කලා කටයුතු නිසා කොළඹට ආවත් තාමත් මම ආදරේ ගමටයි..

ඉගෙන ගත්තේ…

නෙල්ලිකුලම කියන පුංචි ස්කෝලෙන් තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. පසු කාලීනව උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුරය ස්වර්ණපාලි බාලිකාවට ඇතුළත් වුණා. උසස් පෙළ හැදැරුවේ කලා විෂයන්වලින්…

පවුලේ තොරතුරු?

අම්මයි, තාත්තයි අක්කලා දෙන්නයි, අයියයි, මමයි ඉන්නෙ මම තමයි පවුලේ බඩ පිස්සි. තාත්තා ව්‍යාපාරිකයෙක්.

කලාවට සම්බන්ධ වීම ගැන ගෙදරින් තහංචි දැම්මේ නැද්ද?

මුලින් නම් පවුලේ අය කැමැති වුණේ නැහැ.. තාත්තා ගොඩක් විරුද්ධ වුණා… පසු කාලිනව ක්ෂේත්‍රයේ මට ලැබූ ජයග්‍රහණ දැකලා ඔවුන් මගේ හැකියා ‍තේරුම් අරගෙන මගේ කලා කටයුතුවලට ලොකු සහයක් දුන්නා. තාමත් එහෙමයි. විශේෂයෙන් කියන්නට ඕන රූගත කිරීම්වලට සහභාගී වෙද්දි මගේ අම්මා මාත් එක්ක ආවා.

පැමිණි ගමන්මඟ ගැන ආපසු හැරී බලද්දී රංගන ශිල්පිනියක ලෙස ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම ඔව්; අනුරාධපුරය වගේ දුෂ්කර ප්‍රදේශයක ඉඳලා කොළඹට ඇවිත් මේ තත්වෙට එන්න ලොකු කට්ටක් කෑව. ගෙදරින් දුන්නු මුදල් ඉවර වුණාම මෙහෙ ඉල්ලන්න කෙනෙක් නැතිව සමහර දිනවලට පයින් ගියපු අවස්ථාත් තියෙනවා. ඒ ගැන හිතද්දී ඇත්තට ගොඩක් සතුටුයි.

ඔබ වෘත්තිය රංගන ශිල්පිනියක් ද?

මම දැනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධිය අවසන් අදියරේ ඉන්නේ. ඉදිරියේදී රංග කලා ගුරුවරියක් ලෙස වෘත්තිය කටයුතු කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අපේ රටේ වෘත්තිමය රංගන ශිල්පිනියක් වීම එතරම් ලෙහෙසි පහසු නෑ. ඒ නිසා වෘත්තිමය රංගන ශිල්පිනියක් වීමට මගේ අරමුණක් නෑ.

ඒ කියන්නේ නයෝමි කියන රංගන ශිල්පිනිය රංගනයට සමු දේවිද?

නැහැ. ගුරුවෘත්තියට අමතරව ලැබෙන කාලයට අනුව කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. මොකද මම කලාවට ආදරෙයි. කලාව නිසා තමයි ‘නයෝමි’ කියන කෙනා රටක් හඳුනා ගන්නෙ. වේදිකා හා අලුත් චිත්‍රපට නිර්මාණ කිහිපයකින් ඉදිරියේදී මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව දැකගන්න ලැබෙවි. ..

සමන්ති වනිගසේකර හේමන්ත බණ්ඩාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!