Gossip

ඕනෑම විවාහයක ගැලපීම් නොගැලපීම් තියෙනවා – ජීවිතයේ සියල්ල තනියම කරගන්න හුරු පුරුදු වෙනවා

නතාෂා පෙරේරා කියන නම අහපු ගමන් හැමෝම දන්නවානේ ඒ කවුද කියලා. නතාෂා මේවනවිට නීතීඥවරියක්. ඒ වගේම නව පරපුරේ සංගීත ශිල්පියෙකුවන ප්‍රිහාන්ගේ ආදරණීය බිරිඳ. ඉතින් ඇය පුවත්පතක් සමග ඇගේ ජීවිතය ගැන කියලා තිබුණේ මේ විදියට.

නතාශා කොහොම ද ඉතින්?
හොඳින් ඉන්නවා.

කොහෙ ද මෙච්චර කල් හිටියෙ?
ඕස්ට්‍රේලියාවේ හිටියෙ.

දැන් පදිංචිය එහෙ ද?
දැන් එහෙ තමයි පදිංචිය. ඒ අතරේ ලංකාවටත් එනවා.

කොච්චර කාලයකට පසුව ද මේ ගමන ආවේ?
මාස ගණනාවකට පසුව.

ඇයි එහේ යන්න හිතුවේ?
ඒක වෙනසක්. කොහොමටත් අපි දෙන්නගෙම අරමුණක් තිබුණා. ඉතින් අපි ඒ අරමුණට ගියා. අපි ඒ අලුත් තැන අලුත් ජීවිතය පුරුදු වෙමින් සිටිනවා.

ඔබ එහි මොනව ද කරන්නෙ?
මම රැකියාවක් කරනවා.

ලංකාවේදී ඔබ නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නා. දැන් එම වෘත්තියට මොකද වෙන්නේ?
ලංකාවේදී දිවුරුම් දුන්නාට මට ප්රැක්ටිස් කරන්න ලැබුණෙ නැහැ. ඕස්ට්‍රේලියාවෙ සිට මගේ නීතිඥ වෘත්තියේ තවත් ඉහළට ඉගෙන ගනිමින්, දිගටම ඒ වෘත්තියේ යෙදීම අරමුණයි. දැනට අපි ඕස්ට්‍රේලියාවට ගිහින් වැඩි කලක් නැහැ. තවම ඒ ජීවිතයට හැඩ ගැසෙමින් සිටින්නේ.

ඕස්ට්‍රේලියාව හොඳයි ද?
හොඳයි, අපි ඒ අලුත් ජීවිතය පටන් ගත්තා විතරනෙ. මෙල්බර්න් නගරයේ තමයි පදිංචිය.

ප්‍රියාන් මොනව ද කරන්නේ?
එයාගෙ ව්‍යාපාර කටයුතු සහ සංගීත කටයුතු සියල්ල කෙරෙන්නෙ ලංකාවෙ. ඒ නිසා එයාට විටින් විට ලංකාවට ඇවිත් යන්න සිද්ධ වෙනවා.

මේ වෙනස ඔබට කොහොම ද දැනෙන්නෙ?
ජීවිතයේ සියල්ල තනියම කරගන්න හුරු පුරුදු වෙනවා. ලංකාවේදී මට අම්මා තමයි ඔක්කෝම කරලා දුන්නෙ. දැන් තනියම ඉවුම් පිහුම් වැඩ ටික පවා කරගන්න වෙලා. ඉතින් ඒ ජීවිතයට මම හුරුවෙමින් සිටින්නෙ.

විවාහ ජීවිතය කොහොම ද?
විවාහ වෙලා අවුරුදු දෙකහමාරක් ගෙවී ගිහින්. ඇත්තෙන්ම අපි හරි සතුටින් අවබෝධයෙන් ජීවත් වෙනවා. නිසි වයසෙදී විවාහ ජීවිතය ඇරඹුවා කියලා මට හිතෙනවා.

විවාහ ජීවිතයට අරුතක් දුන්නාය කියලා හිතනවා ද?
ඕනෑම විවාහයක ගැලපීම් නොගැලපීම් තියෙනවා. ඒ සියල්ල හඳුනාගෙන අවබෝධයෙන් ගත කිරීම තමයි වැදගත්. මම හිතන්නෙ අපි දෙන්නට ඒ අවබෝධය හොඳින් තියෙනවා. ගෙවී ගිය කාලය ඇත්තෙන්ම හොඳයි. ඉදිරියටත් ඒ විදියට අපේක්ෂා කරනවා.

නොගැලපීම් ගලපා ගන්න මොන වගේ දේ කළ යුතුය කියල ද හිතන්නෙ?
කොහොමටත් පාර්ශ්වයන් දෙකක්නෙ. ඉතින් අනෙකාගෙ විදිය ක්‍රමය සියල්ල ගැන වටහා ගැනීම වැදගත්ය. අපි දෙන්නා දෙන්නෙක් කියන වග සහ අවබෝධය ගැන සිතීම ඉතා වැදගත්. දෙදෙනාගෙ නිදහස නැති වුණාම තමයි ජීවිත වැරදි මාර්ගවලට යන්නෙ. අපි දෙන්නගෙ ජීවිත නිදහස්. ඒ නිසා වැරදි සහ නොගැලපෙන දේ සිදුවන්නේ නැහැ.

ඔබ විවාහ ජීවිතය ලෙස අපේක්ෂා කළේ?
ඇත්තටම මම අපේක්ෂා කළ දේ ලැබුණෙ. දෙදෙනාගේ එකමුතුවෙන් හවුලෙන් තමයි මෙය ශක්තිමත් කර ගන්න පුළුවන්. අපි දෙන්නා ඒ විදියටයි ජීවිතය ගෙවන්නෙ.

ඔබගෙ තේරීම හරි කියලා හිතනවා ද?
අනිවාර්යයෙන්ම ඔව්. විවාහයට පෙර සිටම ප්‍රිහාන් මට උදව් කළා. එය අද හෙට සහ අනාගතයේදීත් එහෙමම වේවි.

නීතිඥවරියක ලෙස මෙරටදී මොනව ද කළේ?
ජේයෂ්ඨ නීතිඥවරයකු යටතේ කටයුතු කළා.

මේ විදියට කටයුතු කරන ඔබට ඔබ ගැන හිතෙන්නෙ කොහොම ද?
කලා අංශයෙන් ජනප්‍රියත්වයක් ලබලා, ඒ කටයුතුවලත් යෙදිලා, විභාග ඔක්කොම පාස් කරගෙන නීතිඥවරියක ලෙසත් දිවුරුම් දුන්නා. ඒ විදියට ආ ජීවිතය ගැන ඇත්තෙන්ම සතුටුයි.

නතාශා එන්න එන්න ලස්සන වීමේ රහස?
විශේෂ දේ කරන්නෙ නැහැ. මගේ පාඩුවෙ මගේ අඩුපාඩුකම් හදාගෙන ජීවත් වෙනවා. අනුන්ගෙ දේ හොයන්න ගියේ නැහැ. අනවශ්‍ය දේ කතා කරන්න ගියෙත් නැහැ. සමහර වෙලාවල මගේ විලාසිතා ගැන එහෙම ගොසිප් අඩවිවල එක එක විදියට පළ කරලා තිබුණා. නමුත් මම ඒවා පසුපස ගියේ නැහැ. මට ආසා හිතෙන විලාසිතා කළා.

ජනප්‍රියත්වය කියන දේ දැනෙන්නෙ කොහොම ද?
කුඩා කාලයේ ඉඳලාම ජනප්‍රියත්වය කියන දේ මට සමීප වුණා. ඒ නිසා ඒක පසු කාලයකදී මට තවත් අලුත් දෙයක් වුණේ නැහැ. අනෙක ඒක මට එක්වරම ලැබුණු එකකුත් නෙවෙයි. ඊයේ ලැබිලා අද නැතිවෙලා ගිය ජනප්‍රියත්වයක් නෙවෙයි. ඒ කොහොම වුණත් මම ඒ ගැන වැඩිය හිතන්නෙ නැහැ.

නීතිඥවරියක් වූ පසු බොහෝ දෙනා තමුන්ගේ විදියක් හදාගන්නවා. නැතිනම් එක්තරා රාමුවකට කොටුවෙනවා. එහෙම විය යුතු ද?
වෘත්තිය ගරුත්වය කියන දේ ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනෑ. වෘත්තියට ගරුත්වය ගෙන දීම ඉතා වැදගත්. ඒ වෘත්තීය වගේම තමනුත් බැබලෙන්නෙ එවිටයි. නමුත් සමහර අවස්ථාවලදී මඩ ප්‍රහාර එල්ල කරන්න සමහරු උත්සාහ නොකළාම නෙවෙයි.

ඇයි එහෙම කරන්න ඇත්තේ?
මගේ ස්වරූපය වෙනස් වීමත් එක්ක වෙන්න ඇති. තාරුණයයේදී එක්එක් විලාසිතා කරනවා. කොණ්ඩය පාට කරනවා. ඔය වගේ දේ නිසා වෙන්න ඇති. ඒ නිසා සමහරු විවේචනය කරනවා. ඒ වගේම සමහරු හොඳත් කියනවා. මම ඒවා සම සිතින් බාර ගන්නවා. මම නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නා කියලා කවදාවත් මම ප්‍රසිද්ධ කරන්න ගියේ නැහැ. හිස උදුම්මා ගත්තෙත් නැහැ. අඩු තරමින් පිංතූරයක්වත් ෆේස්බුක් දැම්මෙ නැහැ. ජීවිතයේ එකදු විභාගයක් හෝ මෙතෙක් ෆේල් නොවී අන්තිමට මම මගේ අරමුණට ගියා. සමබරව ජීවිතයේ සියල්ල කරගෙන යනවා. ඒකට මට උදව් කරන්න කට්ටිය හිටියා. මම ගොඩක් මහන්සි වුණා. ඒවායේ ප්‍රතිඵල අන්තිමට ලැබුණා.

නතාශා කිව්වාම?
මම හරිම සරලව හිතන කෙනෙක්. මම හිතන්නෙ ඒ විදියටයි. වාද – භේද තේරීම් එහෙම කියලා වර්ග කිරීමක් නැහැ. කෑමක් වුණත් උගුරේ පල්ලෙහාට යන දේ කනවා. මගේ ජීවිතය හරිම සරලයි.

උපුටා ගැනීමකි.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!