Gossip

කටකතා නිසා ලෝකයට මුහුණ දෙන්නත් බෑ වගේ – මේනකා මධුවන්ති

මේනකා, ජීවිතේ සතුට ලබන්නේ මොන විදියේ දේවල් තුළින්ද?
මගේ ජයග්‍රහණයන් වගේම මම ආදරය කරන කෙනා සමග ගත කරන කාලයත් මට ලොකු සතුටක්.

ජයග්‍රහණය සතුටක් නම් පරාජය දුකක් විය යුතුයි. ඒ කියන්නේ ලබාගත යුතුයි කියල හිතුණ දෙයක් සටන් කරලා හරි ලබාගන්න පුරුද්දක්ද ඔබට තියෙන්නේ ?
මා ගැන රටේ ගොඩ නැගිලා තියෙන ප්‍රතිරූපය අනුව නම් ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. මම චණ්ඩිකම් කරන ගැටුම් ඇති කරගන්න තවත් කෙනෙකුට ගහලා හෝ මට ඕනෑ දේ ලබා ගන්න කෙනෙක් කියලා තමයි හුඟක් අය හිතාගෙන ඉන්නේ. ඒත් ඇත්ත මේනකා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. මට ජයග්‍රහණය සතුටක් බව ඇත්ත. හැබැයි පරාජය දුකක් නෙවෙයි. මොකද මම ජය පරාජය දකින්නේ මගේ ලැබිම, නොලැබිම සහ වාසනාව, අවාසනාව අනුව සිදුවන විදියටයි. එහෙම හිතල පරාජයන්වලදී හිත හදාගන්නවා.

පරාජය අවාසනාවක් විදියට දකිනවා කියන්නේ ජීවිතයේ ලැබූ පරාජයන් මේනකා තුළ බලවත් දුකක් සහ කලකිරීමක් ඇති කරවා තියෙන නිසා වෙන්න ඇති නේද?
නැහැ. මම දෛවය තදින්ම විශ්වාස කරන කෙනෙක්. මට වඩා අඩු දක්ෂතා තියෙන මට වඩා අඩු සුදුසුකම් ඇති අයට මට නොලැබුණ බොහෝ දේ ලැබෙන අවස්ථා මම දකිනවා. ඒ වෙලාවට දුකක් හිතුණත් එහෙම වෙන්නේ මගේ අවාසනාවට කියලා ඒ වෙලාවට මම හිත හදාගන්නවා. ඒ වගේම තමයි, පුංචි දේවල් මහ විශාල විදියට ප්‍රචාරය වෙලා නොකළ වැරදිවලට චෝදනා එල්ල වෙලා මට මඩ වදිනවා. පහුගිය කාලයේ වුණු හැමදේම ඒ වගේ දේවල්. එහෙම වෙන්නේ මගේ අවාසනාවට කියලා හිතලා ඒ වෙලාවටත් මම හිත හදාගන්නවා.

මෑත කාලයේ ඔබ ගැන විවිධ විදිහේ කතා පැතිරුණා. ඒවාට ඔබ තවමත් හිතින් දුක් වෙනවාද?
ඔව්, දැන්නම් මට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්නත් බැරි තරම්. කොටින්ම කියනවා නම් පත්තරේකට ආටිකල් එකක් දෙන්නත් දැන් මම බයයි. මම කියපු එක වාක්‍යයක් අරගෙන ඒක ලොකු පුවතක් කරලා, එහෙම නැත්නම් ආටිකල් එකේ හෙඩිමේ අදහස්වලට වැරදි අර්ථකථන දීලා මඩ ගහන්න ඇතැම් අන්තර්ජාල වබේ අඩවි බලාගෙන ඉන්නවා.

මේනකා හින්දා අනිත් අය සතුටු වූ අවස්ථා සහ දුක්වූ අවස්ථා නැද්ද?
ඇයි නැත්තේ ? එහෙම ඕනෑ තරම් අවස්ථා ඇති. ඒ ගැන හරියටම මම දන්නේ නැහැ. හැබැයි මට සමීපතම කෙනා මගේ අම්මා. මගේ සතුටෙදී වැඩිපුරම සතුටුවනවා වගේම මට දුකක් දැනුණොත් වැඩියෙන්ම දුක් වෙන්නෙත් මගේ අම්මා බව දන්නවා.

ඔබ මවත් සමග සහභාගි වූ එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී දුව ගැන ආඩම්බරයි. ඒත් මේ වගේ දරුවෙක් මට ඉපදුනේ ඇයි කියලා සමහර වෙලාවට හිතෙනවා කියලා ඔබේ මව පැවැසුවා. ඔබ නිසා අම්මා හුඟක් දුක් විඳල තියෙන නිසාද ඇය එහෙම කතාවක් කිව්වේ ?
මම අම්මට හිතුවක්කාර වූ අවස්ථා හුඟක් තියෙනවා. හැබැයි මම මෙහෙම කිව්වාම ඒ කතාවත් සමහරු වැරදියට වටහා ගනීවි. අම්මට මම වැඩියෙන්ම හිතුවක්කාර වෙලා තියෙන්නේ අම්මා එපා කියූ අය ආශ්‍රය කිරීමෙන් ගැටලු ඇතිකරගෙනයි. සමහර අය සමහර වැරදි දේවල් කරද්දී මම එතැන හිටියොත් මම මොනවත් කරලා නැතුවත් ඒ චෝදනාව මටත් එල්ල වෙනවා. ඔය වගේ හුඟක් අවස්ථාවලට මම මුහුණ දීලා තියෙනවා.

දරුවෝ නරක යාළුවෝ ඇසුරු කරද්දී දෙමාපියෝ දුක්වනවා. දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතාත් දෙමාපියන්ට දුක් ඇතිකරනවා. මේනකාගේ අම්මටත් එවැනි අත්දැකීම් ඇති ?
මම ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නේ දෙමාපියෝ කැමති වන කෙනෙක් සමග විතරයි.

කතාබහ ආරම්භයේදීම මේනකා කිව්වා ආදරය කරන කෙනා එක්ක ගත කරන කාලයත් වැඩියෙන්ම සතුටු වෙන්න හේතුවක් බව. ඒ කියන්නේ දැන් ඔබට පෙම්වතෙක් ඉන්නවද?
ඔව්, එයා ගැන විස්තර පසුව කියන්නම්.

ජීවිතේ කී වතාවක් කී දෙනෙකුට ආදරේ කරලා තියෙනවාද?
ආකර්ෂණය සහ කැමැත්ත කියන්නේ වෙනම දෙයක්. හැබැයි ආදරය ඊට වඩා ගැඹුරු දෙයක්. එහෙම බැලුවොත් ජීවිතේ දෙවතාවක් මම ආදරේ කරලා තියෙනවා.

ආදරය නිසා විඳපු ලොකුම දුක මොකක්ද?
ලොකු රැවටීමකට ලක්වීම තමයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!