Gossip

ඉතාලියේ ජීවත්වන ගමන් චිත්‍ර අඳින අපේ රටේ සිත්තරාවිය

ඇය මාෂි මිරැන්ඩා.

මාෂි මිරැන්ඩා කියන්නේ ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණියක්. ඇයගේ විශේෂත්වය වන්නේ ඇය ඉතාම දක්‍ෂ චිත්‍ර ශිල්පිනියක වීමයි.

කොහොමද චිත්‍ර අඳින්න පටන් ගත්තේ? කොයි කාලේද?

මට වයස අවුරුදු 10 වගේ ඉඳන් මම චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒකට හේතුව මගේ අම්මි රැකියාව සඳහා විදෙස් ගත වීම. ඒත් එක්ක තිබුණ පාළුව, තනිකම වගේම ප්‍රශ්ණත් හිතෙන් ඈත් කරගන්න මම චිත්‍ර අඳින්න හුරු වුණා. මම ගොඩක් වෙලාවට චිත්‍ර 4ක් 5ක් අඳිනවා එක දිගට. චිත්‍ර අඳින එකත් එක්ක මට වෙනමම ලෝකයක් හමු වුණා. මම චිත්‍රවලට ගොඩාක් ආසයි. පුංචි කාලෙ ඉඳලම මම මේකට ඇබ්බැහි වුණා.

ඔයාගෙ ගම, අධ්‍යාපනය ගැන විස්තර ටිකක් කියමුද?

මගේ ශ්‍රී ලංකාවෙ ගම මාරවිල. මාරවිල Holly Family Girl School එකෙත්, හලාවත Holy Family Primary, වගේම ඉතාලියේ C.T.P Monza සහ E.C. Fop Monza වලින් තමයි මම අධ්‍යාපනය හදාරලා තියෙන්නේ.

දැන් පදිංචිය ඉතාලියෙද?

ඔව්, දැන් මම ඉතාලියේ මිලානෝ නුවර තමයි පදිංචි වෙලා ඉන්නෙ. නිවාඩුවලට ලංකාවට ඇවිත් යනවා.

ඔබ වැඩිපුර අඳින්නෙ මිනිස් මුහුණු (Portaits)ද?

එහෙම නෑ. වෙනත් චිත්‍රත් ගොඩක් අඳිනවා. කෙනෙක්ගෙ රූපයක් බලාගෙන අඳින්නත් විශේෂ දක්‍ෂතාවක් මට තියෙනවා.

දවසකට චිත්‍ර කීයක් අඳිනවා ද?

මම ඉගෙන ගන්න කාලේ නම්, දවසකට චිත්‍ර 4ක් විතර ඇන්දා. දැන් මම රැකියාවක් කරනවා. මම Professional Pasty Cook කෙනෙක්. දැන් කාලය ගොඩාක් අඩුයි චිත්‍ර අඳින්න. ඒත් සති අන්තයේ මම චිත්‍ර 5ක් 6ක් විතර අඳිනවා.

ඔයා අඳින චිත්‍ර අලෙවි කරනවාද? ඒවයෙ මිල ගණන් කොහොමද?

දැන් අවුරුදු දෙකක් විතර වෙනවා මම අඳින චිත්‍ර විකුණන්න පටන් අරන්. හරියටම මේ මිල අය කරනවා කියන්න බැහැ. චිත්‍රවල ප්‍රමාණය, අඳින මාධ්‍යය අනුව මිල ගණන් වෙනස් වෙනවා.

වැඩියෙන්ම කැමැත්තෙන් ඇන්ඳෙ කාගෙ චිත්‍රද?

මම වැඩියෙන්ම කැමති මගේම චිත්‍ර. ඒ කියන්නේ මගේ රූපය (Self Portraits).

ඔයා ගැන ඔයාට කියන්න තියෙන්නෙ මොනවද?

මම කියන්න තියෙන දේ මූණටම කියන, බොරුවට කාගෙවත් හිත හදන්න කතා කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම මම ගොඩාක් වෙනස් විදියට හිතන කෙනෙක්. මගේ පවුලේ අය ඒ ගැන හොඳින්ම දන්නවා. මගේ පවුලේ අපි හැමෝම ඉන්නෙ යාළුවො වගේ.

ඔයාගෙ චිත්‍රවල ප්‍රකාශන මාධ්‍යය මොකක්ද?

මගේ චිත්‍ර මිනිසුන් අතරට යන්නෙ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් කියන මාධ්‍යයන්වලින්. දැනට මට ප්‍රිය කරන විශාල රසික පිරිසක් ඉන්නවා.

මේ චිත්‍ර එකතු කරල ප්‍රදර්ශනයක් කරන්න අදහසක් නැද්ද?

ඉතාලියේදී මම ප්‍රදර්ශනයක් කළා. අගෝස්තුවල ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. ඇවිත් ලංකාවෙ ප්‍රදර්ශනයක් කරන්න ඕන. දැනට මම තැනක් හොයනවා. ලයනල් වෙන්ඩ්ට් තමයි හිතාගෙන ඉන්නෙ. මම ඒ ප්‍රදර්ශනය කරල ලංකාවේ පුංචි දරුවන් වෙනුවෙන් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා.

ඔයාගෙ චිත්‍ර රස විඳින අය ගැන මොනවද කියන්න තියෙන්නෙ?

ඇත්තටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මගේ චිත්‍ර අගය කරන, අඩුපාඩු පෙන්වල දෙන අයට. ඒ වගේම වචනෙකින් හරි උදව් කළ අයටත් ගොඩක් ස්තූතියි.

අනාගත බලාපොරොත්තු මොනවද?

හැමෝටම වගේ මටත් අනාගත ඉලක්ක තියෙනවා. ඒත් මට ඕන සරලව, සතුටින් ජීවත් වෙන්න. ඒ වගේම කවදහරි මගේ චිත්‍ර විකුණලා ලැබෙන මුදල්වලින් දුප්පත්, දුක් විඳින අය වෙනුවෙන් යමක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!