Gossip

“විනිසුරුවරයකු තීරණයක් දුන්නහම දෙපාරක් හැරිලා බලන්න බැහැ. අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අය සර් කියන්නෙ නැහැ.” ධර්මසේන හෙළි කළ තිත්ත ඇත්ත

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පරාජයන් ලබද්දී පසුගියදා ලෝකයේ වටිනාම ක‍්‍රිකට් විනිසුරුවා වශයෙන් කුමාර් ධර්මසේන දෙවැනි වරටත් අයි.සී.සී.යේ සම්මානයට පාත‍්‍ර විය.
ඔහු මීට පෙර 2012 දී අදාළ සම්මානය දිනා ගත්තේය. ධර්මසේන යනු කරන දේ හරියට කරන චරිතයකි. ක‍්‍රිකට් පිටියේ ‘උනන්දුවා’ වශයෙන් ප‍්‍රසිද්ධ වූයේද ධර්මසේනගේ උත්සාහය සහ කැපවීම නිසාය.
නාලන්දා විදුහලේ ක‍්‍රිකට් ගසන කාලයේදී ධර්මසේනලාට අද මෙන් සරු සාර ජීවිතයක් නොතිබුණි.
එබැවින් ඔවුන් බොහෝ කැපවීම් කරමින් සිය වෘත්තියේ ඉහළටම දැන් පැමිණ තිබේ. ලෝකයේ ක‍්‍රිකට් නායකයන් සහ තරග තීරකවරුන්ගේ වැඩිම කැමැත්ත මත අදාළ විනිසුරු සම්මානය ධර්මසේනට ලැබීමට තරම් ඔහු නිවැරදි විනිසුරුවකු වීමද ශ‍්‍රී ලංකාවට ලැබෙන තවත් කීර්තියකි.
එදා සිට ඔහු තුළ තිබු උනන්දුව සහ කැපවීම ඔහුගේ ජීවිතය ජය ගත්තේය. ‘ මම මුලින්ම වේග පන්දු යවන්නෙක්. එදා නෙල්සන් මෙන්ඩිස් සර් මගේ නිපන්දුවක් යවන එක නවත්වන්න ගෙදර ඇදගෙන යන්න ගෙනාපු ටී ෂර්ටය ගලවලා පොපින් ක්ලින්ස් එක ගාව තිබ්බා.
ටී ෂර්ටය පාගන්නෙ නැහැනෙ මඩ ගෑවෙන නිසා. මගේ නිපන්දුව යන එක හරි ගියා. අද පුහුණුකරුවන්ටත් එවැනි උපක‍්‍රම භාවිතා කරන්න පුළුවන්.’ යැයි ධර්මසේන මෙන්ඩිස් ගුරුතුමාගේ ආරාධනයෙන් පැමිණි වැඩසටහනකදි පැවසුවේ එදා ක‍්‍රිකට් පිටියේදී ඔහුට ලැබුණ හරි මග පෙන්වීම මතක් කරමිනි.
ක‍්‍රිකට් පිටියේ විනිසුරුවරයකු වශයෙන් ඔහු ලබාගත් පන්නරය පිළිබඳව ඔහු සඳහන් කළේ මෙවැන්නක්.

‘මම පළමුව මේ සම්මානය 2012 වසරේදී දිනා ගත්තා. නැවතත් වසර හයකට පසුව මම ඒ සම්මානය දිනා ගත්තා.
මම කැමැතිම රාජකාරිය තවදුරටත් සතුටින් කරගෙන යන්න මේ සම්මානය මට දිරි ගැන්වීමක්.’
ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හැමදාමත් ආදරය කළ ධර්මසේන ඒ සම්බන්ධයෙන් තවදුරටත් තෘප්තිමත්ව සිටියි. ‘‘මම හැමදාමත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇලූම් කළා. ක‍්‍රීඩකයකු වගේම විනිසුරුවරයකු වශයෙනුත් එහෙමමයි. ඉදිරියේ මම මටම අභියෝග කරමින් තව තවත් ඉදිරියට යන්න උත්සාහ කරනවා.
මේ ගමන ඒමට ශක්තියක් වුණ මගේ බිරිඳට වගේම දරුවන්ටත් ස්තුති වන්ත වෙන්න ඕන. බිරිඳ හැම වෙලාවෙම මට ශක්තියක් වුණා වගේම මාව තේරුම් ගත්තා.’’
දැනට ටෙස්ට් තරග 59 ක් එක්දින තරග 89 ක් සහ විස්සයි විස්ස තරග 22 ක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇති ධර්මසේනට සිය විනිසුරු දිවියේ මුල් අඩිපාර හිමිවූ අයුරු මෙසේ සිහිපත් කරයි.
‘විනිසුරු දිවියට මග පෙන්වූ මගේ උපදේශක පීටර් මැනුවෙල් මහතා අමතක කරන්න බැහැ.
ඒ වගේම අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ අනෙකුත් උපදේශකවරුන් මෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අයටත් මා ස්තුතිවන්ත වෙනවා. ඔවුන් නොසිටින්න මට මේ තරම් දුරක් එන්න වෙන්නේ නැහැ.’
1996 ලෝක කුසලාන දිනා ගත් කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩකයා වූ කුමාර් ධර්මසේන 2004 වසරේදී වෘත්තිය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සමුදෙන විට ටෙස්ට් තරග 31 කදී පිතිකරුවකු වශයෙන් ලකුණු 868 ක්ද කඩුලූ 69ක්ද ලබා තිබුණි. එක්දින තරග 141 කදී ලකුණු 1222 ක් සහ කඩුලූ 138 ක් බිඳ දැමීමට ඔහු සමත් විය.
නෙල්සන් මෙන්ඩිස් ගුරුතුමාගේ ආරාධනයෙන් පැමිණි දේශනයකදී ධර්මසේන කළ කතාව සිහිපත් කිරීමට කාලෝචිත යුගයකි
මේ. ඊට හේතුව කණ්ඩායමේ විනය සහ එකමුතුකම පිරිහී ගොස් ඇති වකවානුවක විනය සහ එකමුතුකම ඉහළින් තබාගත් ධර්මසේන වැන්නන් පැමිණි ගමන අනාගත පරම්පරාවට වටිනා මග පෙන්වීමක් බැවින් ඔහු කළ කතාවේ කොටසක් මෙසේ සටහන් වේ.
අද තියෙන ක‍්‍රිකට් තත්ත්වය හැමෝම දන්නවා. ඒකට අපි හැමෝම වගකියන්න ඕන. මම මෙතන හිටගෙන ඉන්නෙ නෙල්සන් මෙන්ඩිස් සර් නිසා.
මමයි රොෂාන් අයියයි මෙන්ඩිස් සර්ගෙන් ඉගෙන ගත්තා. අපිට මහත්තයෙක් වගේ ඉන්න නෙල්සන් සර් අපිට ඉගැන්නුවා. අපිට කණට ගහලා ඉගැන්නුවා සපත්තු හරියට පොලිෂ් කරලා තියෙන්නෙ ඕන විදිහට. ග‍්‍රවුන්ඞ් එකට යනකොට ෂර්ට් එක යට කරලා යන විදිහ. ඒ වගෙම දකුණත් පිතිකරුවකු බැට් එක වම් අතින් අල්ලන් යන්න ඕන.
වමත් පිතිකරුවෙක් නම් දකුණතින් අල්ලගෙන යන්න ඕන.’
‘අවුට් වුණාම පිට්ටනියට ගිය වේගයට වඩා වේගයකින් ආපහු එළියට එන්න ඕන. විනිසුරුවරයකු තීරණයක් දුන්නහම දෙපාරක හැරිලා බලන්න බැහැ. ඔය වගේ චූටි දේවල් අපේ ක‍්‍රිකට්වල දැන් සිදුවෙන්නෙ නැහැ. මට මතකයි අපි ක‍්‍රිකට් ගහන කොට පුහුණුකරුවන් හතරේ සීමාව අසල පුටු තියාගෙන හිටියේ නැහැ.’
‘අද තමන්ගෙ ඉන්න ලබා ගන්න අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අය සර් කියන්නෙ නැහැ.
මම මුල්ම මැච් එක අම්පයර් කරන කොට මහේල ඇවිල්ලා මිඩිල් ස්ටම්ප් සර් කියලා කිව්වා. එයයි මමයි යාළුවෝ. නමුත් පොඩි කාලේ ඉඳලා ඒ හැදිච්ච විදිහ. මම අපේ රට ගහන තරග අම්පයර් කරන්නෙ නැහැ පෞද්ගලික තීරණයක් නිසා. නමුත් මම අපේ පැනල් එකේ අනිත් අයගෙන් ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායම ගැන ඇහුව්වාම ඒක ලංකාවේ අයගෙ ටිකක් අඩුයි.
හැබැයි ඔස්ට්‍රේලියාවේ අය මැද්දට ආපු ගමන් හැමෝම සර් කියලා කියන්නෙ. සර් කියන්න කියලා කියන්නෙ නැහැ. නමුත් ළමයින්ට පොඩි කාලේ ඉඳලා ඒක උගන්වන්න ඕන.
මම ගහන කාලේ කාගෙත් එක්ක බැණ ගත්තත් අම්පයර් එක්ක කවදාවත් වාද විවාද කරලා නැහැ.’
ලෝකයේ හොඳම විනිසුරුවා වූ කුමාර් ධර්මසේනගේ පළමු තීන්දු වැරදුනි. ඒ සචින් ටෙන්ඩුකාර්ට එරෙහිව දුන් එල්.බී.ඩබ්ලිව්. තීන්දුවයි. ඒ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙවැනි අහසකි.
‘මගේ පළමු තීරණය විනිසුරු දිවියේ වැරදියි. සචින් ටෙන්ඩුල්කාර්ගේ අවුට් එකක් තමයි දුන්නේ. හෝටලයට ගිහිල්ලා බැලූවහම අඟල් කිහිපයක් එළියේ. මට ඉතින් හිතට අමාරුයි. නමුත් ඊට පස්සෙ මම ගොඩක් පුහුණුවීම් කළා තීරණ දෙන්න. ඒ නිසා හැමෝම උනන්දු වෙන්න කැපවෙන්න. එවිට ජය ගන්න පුළුවන්.’
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයට ධර්මසේනලා දෙන ඔවදන් ඉතාමත් වැදගත්ය. විනයානුකූල ක‍්‍රිකට් චරිත අද බිහි වන්නේ නැත්තේ පාසලේ ජයග‍්‍රහණය වෙනුවෙන්ම ක‍්‍රීඩකයන් හැඩ ගස්වද්දී විනය සහ එකමුතුකමද බිඳ වැටෙන බැවිනි. ඒ සියලූ දේට පාඩම් කියා දෙන්නේ ධර්මසේනලා වැනි ලොවක් ජය ගත් ක‍්‍රිකට් තරු කරන කතාවල සාරය අනාගත පරම්පරාවට එකතු කිරීමෙන් පමණි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!