Gossip

“මට දැනුනෙ අපේ ගෙදර ගෑස් ටැංකිය පිපිරුවා වගේ. අතට අහුවුණු ඇඳුමක් දාගෙන පල්ලිය පැත්තට දිව්වා” – බෝම්බ ප්‍රහාරයෙන් පසුව පැතිරුණු කතාව ගැන ක්ලීටස් මෙන්ඩිස් හෙළි කරයි

හිතක් පපුවක් තියෙන හැම මනුස්සයෙක්ම කම්පාවට පත්වුණ සිද්ධි මාලාවක් පසුගිය දවස්වල අපේ රටේ සිද්ධ වුණා.
මිල කරන්න බැරි ජීවිත” දේපළ බොහොමයක් මොහොතකින් සුන්බුන් ගොඩක් බවට පත්වුණා. මේ අතර කලාකරුවකුත් මියගිය බවට කතාවක් සමාජ ජාල මගින් බොහොම වේගයෙන් පැතිරුණා.
ඔහු ප‍්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්. මේ ගැන ඇත්ත නැත්ත ඔහු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ක්ලීටස්… කොහොමද ඉතිං?
දෙවි පිහිටෙන් මම හොඳින් ඉන්නවා. නමුත් ලොකු වේදනාවක් තාමත් හිතට දැනෙනවා.

ඇත්තටම එදා මොකක්ද සිද්ධ වුණේ?
ඒ ගැන මම කොහොමද ආයෙත් මතක් කරන්නෙ. ඒ සිද්ධිය වෙන දවසෙ මම ගෙදර හිටියෙ. ඒ කලින් දවසෙ පවුලෙ හැමෝම එක්ක රෑ පූජාවට ගිහින් ඇවිත්.
හරියටම උදේ 8.40 යි. මහ විශාල ශබ්දයක් ඇහුණා. මට දැනුනෙ අපේ ගෙදර ගෑස් ටැංකිය පිපිරුවා වගේ.
මම දුලී දුලී කියල මගෙ නෝනට කතා කළා. ගෙදර හැමදේම හොඳින්. උදේට සුරුවම ගම වටේ පෙරහැරකින් ගෙනියන නිසා ඒකට රතිඤ්ඤා පත්තු කරන්න ඇති කියලත් හිතුණ.
ඒත් වැඩි වෙලාවක් ඒකට උත්තර හොයන්න ඉඩක් ලැබුණෙ නෑ. ගමේ මිනිස්සු හැමෝම පල්ලිය පැත්තට දුවන්න ගත්ත. මමත් අතට අහුවුණ ඇඳුමක් දාගෙන පල්ලිය පැත්තට දිව්වා.
දෙයියනේ…එතනදි තමයි මගේ ජීවිතයේ දකින්න පුළුවන් ලොකුම ඛේදවාචකය දැක්කෙ.

මොනවද ඔබට දකින්න ලැබුණෙ?
මගේ ඇස් අදහාගන්න බැරිවුණා. එකම ලේ ගොඩක්. මිනිස්සු මැරිල වැටිල හිටියෙ සත්තු වගේ.
සමහර තැන්වල මස් ගොඩක් විතරයි ඉතිරි වෙලා තිබුණෙ. මේ තමන්ගෙ ආගම අදහන්න ආපු මිනිස්සු නේද? කාගෙන්ද මේ පළි ගන්නෙ. ඒ අහිංසක මිනිස්සු මොන වරදක් කළාටද?

මේ සිද්ධියට කලින් කොහොමද පූජාවට පල්ලිය සූදානම් වුණේ?
අනේ ඒ ගැන නම් කියන්නත් දුකයි. අපේ පියතුමා ලක්‍ෂ පන්සියයක් විතර එකතු කරල ලස්සනට පල්ලිය හැදුව. ? පූජාවත් එළියෙ තියන්නයි හැදුවෙ. ඒත් වහින නිසා පල්ලිය ඇතුළට ගත්ත. ඒ වෙලාවෙත් පියතුමා බැතිමතුන්ට කිව්වෙ ඉටිපන්දම් ඉටිවත් බිමට නොවැටෙන්න තරම් පරිස්සම් වෙන්න කියල. ඒ තරමටම පල්ලිය රැකගන්න එතුමාට ලොකු වුවමනාවක් තිබුණා.
එහෙම රැකගත්ත පල්ලිය තමයි අද සුන්බුන් ගොඩක් වුණේ.

මින් පෙර ඔබ දේශපාලන වේදිකාවේදී මෙවැනිම ප‍්‍රහාරයකට මුහුණ දුන්නා?
ඔව්… හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට බෝම්බ ගහද්දි මම ඇය ළඟම හිටියා. හැමෝම බිම වැටෙද්දි මම එතන හිටගෙන හිටිය.
එදා ඒ තරම් ධෛර්යයක් මගේ හිතේ තිබුණ. නමුත් මේ වගේ දෙයක්නම් ජීවිතේටම දැකල නැහැ.
එදා පල්ලියේදි මීට වඩා ජීවිත හානියක් වෙන්න තිබුණා. නමුත් වාසනාවකට පූජාව ඉවරවෙලා හැමෝම නැඟිටිද්දි චාමින්ද මන්ත‍්‍රීවරයා හැමෝටම ස්තුති කරන්න ඕන කියල ඉල්ලීමක් කළා. එතනදි අපේ පියතුමා නැඟිටල හිටපු හැම දෙනාම ආයෙත් අසුන් ගැන්වුව.
එතනදි තමයි මේ බෝම්බය පුපුරල තියෙන්නෙ. යම් විදියකින් හැමෝම නැඟිටල හිටපු වෙලාවෙ මේ දේ වුණා නම් තවත් ජීවිත කීයක් අපිට නැතිවේවිද?

ඔබේ ඥාතීන් මේ සිද්ධියට ගොදුරු වෙලාද?
ඔව්… මගේ ඥාතියකුගේ දුවයි අම්මයි මේ සිද්ධියට මැදිවුණා. එතනදි දුව මියගියා. අම්මටත් ගොඩක් අමාරුයි.

මේ අතරතුර සමාජ ජාලවල ඔබ මිය ගිය බවට ප‍්‍රචාරය වුණා?
ඇත්තටම ඒ ගැන මම බොහොම කනගාටු වෙනව. ඒ වගේම මම ගොඩක් අපහසුතාවට පත්වුණා.
මේ වගේ ඛේදනීය අවස්ථාවක හරිහැටි තොරතුරක් නොදැන ඇයි මෙහෙම කළේ. කාටද ඒ වුවමනාව තිබුණෙ. කෙනෙක් මානසිකව වැටුණ අවස්ථාවක මේ වගේ දෙයක් කරන එක හරිද? මේ සිද්ධියෙන් මම විතරක් නෙවෙයි… මගේ ඥාතීන් රසිකයන් පුදුම විදියට කලබල වුණා. එක දිගට මට කතා කරන්න පටන් ගත්ත. ඒ අතර පිටරට මගේ රසිකාවියක් මේ ආරංචිය දැනගෙන කලන්තෙ හැදිල වැටිල. එයාගෙ දරුවො මට කතා කරල ඇයටත් කතා කරන්න සැලැස්සුව.
එයින් පස්සෙ තමයි ඇය යථා තත්ත්වයට ආවෙ. දෙයියන්ගෙ නාමෙන් කාට වුණත් මේ වගේ දේවල් කරන්න එපා කියලයි මම හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ.

මොකක්ද ඔබ මේ වෙනුවෙන් ගත්ත පියවර?
ඇත්තටම ඒ වෙලාවෙ මම හිටපු මානසික මට්ටමත් එක්ක මේ කිසිම දේකට උත්තර දෙන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ.
නමුත් මුතු තරංගා මගේ සහෝදර රංගන ශිල්පිනිය මට කතාකරල කිව්ව” අයියේ අපිටත් එක එක්කෙනා කතා කරල මේ සිද්ධියේ ඇත්ත නැත්ත අහනවා. මොකක්හරි විසඳුමක් දෙන්න කියලා. මම ඒ වෙලාවෙ කිව්වෙ නංගි එහෙම දෙයක් කරන්න පුළුවන් තරම් තත්ත්වෙක මේ වෙලාවෙ මම නැහැ කියල.
නමුත් ඇයගෙ ඉල්ලීම වුණේ වොයිස් කට් එකක් හරි දෙන්න මම ඒක පළ කරන්නම් කියල. ඒ වෙලාවෙ මම ඇයට වොයිස් කට් එකක් දුන්නා. පසුව ඇය ඒක පළ කළා කියලා දැනගන්න ලැබුණා.

රජය මේ සැලසුම වසන් කළා කියනව. මොකක්ද ඔබේ මතය?
ඒ ගැන නම් කතාකරල වැඩක් නෑ. රජය මේ තරම් දෙයක් දැනගෙන ඇයි ජනතාව දැනුවත් නොකළෙ.
අඩුම තරමින් මාධ්‍යයටවත් කිව්ව නම් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ නේද? එයාල එයාලගෙ ආරක්‍ෂාව සලස ගත්ත. අහිංසක මිනිස්සු ගැන බැලූවෙ නැහැ. දැන් ඉතින් මේකෙනුත් දේශපාලන වාසි ගන්න බලයි.
මොන රජයක් බලයට ආවත් කමක් නෑ දෙයියන්ගෙ නාමෙන් අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත විනාශ වෙන විදියට වැඩ කරන්න එපා කියලයි මම ඉල්ලන්නෙ.

උපුටා ගැනීම – දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!