Gossip

“හිමිජ්ජි වගේ මාරු වෙන්න නේද යන්නේ, අපි ඔක්කොම බලාගෙන හිටියේ”- අනියම් පෙම්වතා සමඟ කිරිබත්ගොඩ ලැඟුම්හලකට ගිය රූමතියට තරු පෙනුනු හැටි

ලැඟුම්හල් ළඟ රැක සිටිමින් ඒවාට වැදී පෙම්සුව විඳින හොර ජෝඩුවලින් කප්පම් ලබාගත් දෙදෙනකු කොටු කර ගැනීමට පසුගියදා පොලිසියට හැකිවිය.
මෙහි විශේෂත්වය වන්නේ මේ ජාවාරම්කරුවන් එවැනි ජෝඩුවලින් පිරිමියා මඟහැර කාන්තාව ලුහුබැඳ ගොස් ඇය බිය ගන්වා ලක්ෂ ගණනින් මුදල් ගරා තිබීමයි.
කලක පටන් මොවුන් මෙම ජාවාරම කරගෙන ගොස් තිබූ අතර තමා හොර ගමනක් ගිය බව දන්නා එවැනි කාන්තාවන් මේ ජාවාරම් කරුවන්ට ලක්ෂ ගණන් මුදල් ලබා දී තිබුණේ තමන් ගිය ගමන ගැන හෙළි වුවහොත් විඳින්නට සිදුවන කරදර, කම්කටොලු, අපහාස ආදියෙන් බේරීම සඳහාය.
පොලිසියට කොටු වූ මෙම කප්පම්කරුවන් දෙදෙනා නමගිය පාතාල කරුවන් සමඟත් සමීප සම්බන්ධකම් පවත්වන බවට ද සැක කෙරෙන අතර මොවුන් සුඛෝපභෝගී මෝටර් රථ භාවිත කරමින් සමාජය ඉදිරියේ කෝටිපතියන් ලෙස හැසිරී ඇති බවටද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මොවුන් දෙදෙනා එක්ව කලක සිටම කර තිබෙන මේ ජාවාරමට හසු වුණු රටේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගෙන් ලබා ගත් රුපියල් ලක්ෂ ගණන් කප්පම් මුදලින් ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගත කොට තිබේ. එහෙත් කිසිම දිනෙක කිසිදු පොලිසියකට ඔවූන් කොටු වී නැත.
පසුගිය දිනෙක තම අනියම් පෙම්වතා සමඟ කිරිබත්ගොඩ ලැඟුම්හලක රැඳී සිට ඉන් පිටතට පැමිණි රූමත් කාන්තාවක් මුහුණ දුන්නේ මෙවන් අකරතැබ්බයකටය.
හෝටලයෙන් පිටව බස් නැවතුමට යමින් සිටි ඇය සමීපයට පැමිණි තරමක් උස මහත දෙදෙනකු ඇය ගමන් ගත් මඟ හරස් කොට ඇය බිය ගන්වා ඇත..
“හිමිජ්ජි වගේ මාරු වෙන්න නේද යන්නේ………. කරලා එහෙම ලෙහෙසියෙන් පනින්න හම්බ වෙන්නේ නැහැ.
දන්නවද අපි කවුද කියලා. මම සී.අයි. මාරසිංහ. මේ පී.සී සමරසිංහ. තමුන් හොර මිනිහත් එක්ක හෝටලේට ගිය වෙලාවේ ඉඳන් අපි මෙතැනට වෙලා සෝදිසියෙන් හිටියේ….”
පොලිස් පාට් දමමින් සැර වැර කරන මේ දෙදෙනා නිසා රූමත් කත බිය වූවාය. අන්ත අසරණ තත්ත්වයට පත් වූ ඇය කුමක් කර කියාගන්නදැයි සිතාගත නොහැකිව තත්බීරිවී සිටියාය. ඇගේ මුහුණෙන් දහඩිය මුගුරු වැගිරීමත් සමඟ රූමතිය බිය ගැන්වූ තරමටම ඔවුන් ඇයව සනසන්නට ද ඉදිරිපත් විය.
“හරි හරි බයවෙන්න එපා. ඔය ඇස්වලින් කඳුළුත් එනවා. මොකට බය වෙනවද? මොකෝ අපි බිල්ලොද? දැන් අපි යාළුවෝ කියලා හිතාගෙන බය නැතිව කතා කරන්න. මොකද ඉතින් ඔයා මහා අපරාධයක් කළා නෙවෙයිනේ. අද රටේ ලෝකේ කොච්චර ඉන්නව ද ඔයා වගේ අය….”
කලින් අඩි හප්පා පාට් දැමූ පිරිමින් දෙදෙනා දැන් මේ සැරසෙන්නේ මොකාට දැයි ඇය කල්පනා කළාය. එහෙත් කර කියා ගත දෙයක් නොවූ ඇය තවදුරටත් මුනිවත රැක්කාය.
“අනේ නෝනා, ඔයා වගේ අය කොච්චර අපිට හෝටල් ළඟදී හම්බ වෙනවද? වැඩ වැරදුණාම බලන්න එපැයි එයාලා අපිට තියෙන ආදරේ. හොර මිනිස්සු අත්හරින්නම් කියලා අපිට අඬගහනවා. ඒත් ඉතින් චී…. චී අපි ඕවට නැහැනේ. අනෙක නෝනලා පොලිසි ගෙනිහින් දැම්මාම කොහොමද හස්බන්ඩ්ගේ ළමයින්ගේ මුහුණු බලන්නේ.
ඒ සේරම හිතලා අපි නෝනලා වගේ අයව පොලිසි ගෙනියන්න කැමැති නැහැ. පුංචිම පුංචි ට්‍රීට් එකක් අරන් අපි නෝනලව අත්හරිනවා. ඔයත් කැමති ද එහෙම කරන්න…”
චාටු බස් කියා හමාර වූවාට පසුව ඔවුන් පොලිසියේ බවට හඳුන්වා දුන් දෙදෙනාගෙන් ඇය යමක් විමසුවාය.
“මොනවද සර්ලාට මගෙන් ඕන කරන්නේ. අනේ මට යන්න දෙන්න?…….”
ඇගේ ඒ වචන ටික කියා හමාර වෙනවාත් සමඟම සතුටින් උදම් වූ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් ඇයට ලන්සුවක් තැබුවාය.
“ඔයා අපිට විස්කි බෝතල් ටිකක් අරන් දෙන්නකෝ….. දැන් ඔයත් එක්ක රූම් එකේ ඉඳලා ගිය මහත්තයත් ඉතින් අඩි පුඩි ගහන කෙනෙක් වෙන්න ඇතිනේ….”
අන්තිමේදී ඇයට දවල් තරු පෙනුණේ විස්කි බෝතල් විස්සක්වත් ඕනෑ කියන මොවුන් දෙදෙනාට ඒවා අරන් දෙන්නට යට කරන්නට සිදු වූ මුදල් කන්දරාව ඔවුන්ගෙන්ම අසා දැන ගැනීමෙන් පසුවය.
එහෙත් තරමක් අතමිට සරු කාන්තාවක වූ ඇය අන්තිමේදී විස්කිවල වටිනාකමට මුදල් ගෙවා මේ අකරතැබ්බයෙන් ගැලවෙන්නට මාන බැලුවාය.
එවේලේම ඔවුන් දෙදෙනා කැඳවාගෙන කිරිබත්ගොඩ ටවුමේ රජයේ බැංකුවකට ගිය ඇය ඉන් ලබාගත් රුපියල් එක් ලක්ෂ අසූ දහසක මුදල ඔවුනට දුන්නේ වෙන කරන්නට දෙයක් නොමැති තැනය. ඒත් ඇගේ සිතට කිසියම් කුකුසක් ඇති වූවාය. මේ දෙදෙනා සැබැවින්ම පොලිසියේම අය දැයි යන්න ඇයට සැකයක් ඇති වූවාය. කාන්තාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිසියේ මහත්තුරු ඒ විදියට එනවා දැයි ඇය මඳකට කල්පනා කළාය.
“නැහැ මුන් පොලිසියේ අය වෙන්න බැහැ.”
කිසිදු පැකිලීමක් නොදැක්වූ ඇය මේ සිද්ධිය පොලිසියට පැමිණිලි කරන්නට පසුබට නොවූවාය.
මේ සිද්ධි මාලාවේ හොඳම කොටස එළැඹෙන්නේ ඉන් අනතුරුවය. පැමිණිලිකාර කාන්තාවගෙන් වගතුග අසාගෙන ඇය කියන කොස්තාපල් සහ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සොයන්නට පොලිසිය විමර්ශන දියත් කළේය.
කැලණිය කොට්ඨාශභාර පොලිස් ප්‍රධානින් එහි විමර්ශන බාර කළේ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයටය. එහි වැඩ බලන ස්ථානාධිපති මනෝජ් සංජයට මේ පිළිබඳ ඔත්තුවක් ලැබුණේ ඔය අතරය. ඒ කඩවත ප්‍රදේශයේ ප්‍රකට නිම් ඇඳුම් අලෙවිසැලක් අසල ඉන් එක් පුද්ගලයකු ගැවසෙන බවටය.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් එම පුද්ගලයා කඩවතදී අල්ලා ගත්තේය. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා ලෙස හඳුන්වා දුන් තැනැත්තාය. ඔහුගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වූයේ ඔහු පොලිසියේ අයකු නොවන බවය. තවදුරටත් ප්‍රශ්න කරද්දී පොලිස් කොස්තාපල් වෙස්ගත් අනෙක් තැනැත්තා කොළඹින් පිටට පැනගොස් ඇතැයි ආරංචි විය. ඒ අනුව ඔහුව ලුහුබැඳ ගිය පොලිසිය ඔහුව කොටු කර ගන්නා ලද්දේ රිදීගම ප්‍රදේශයේදීය.
දෙතැනකින් අල්ලාගෙන එකම තැනට ගෙනා මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී කලක් තිස්සේ මේ ජාවාරම කළ හැටි ඔවුහු වැමෑරූහ. මොවුන්ගේ ගැටයට හසුවුණු බව කියන ගම්පහ සහ මාතර පදිංචි තවත් කාන්තාවන් දෙදෙනකුගෙන් ද සැකකරුවන් ලක්ෂ ගණනින් මුදල් සහ විස්කි බෝතල් ගරා ඇති බවත් පරීක්ෂණවලදී හෙළි විය.
“අපි කැසිනෝ යනවා සර්. එහේ යද්දී සල්ලි හුඟක් ගෙනියන්න ඕන. ඒත් හැමදාම අපිට කැසිනෝ ගහන්න සල්ලි නෑ. ඉතින් කීයක් හරි හොයන්න පුළුවන් සල්ලිකාරියන් තමයි නිතරම ඇල්ලුවේ….”
වැඩේ වැරදුණු සැකකරුවන්ගෙන් අසන්නට ලැබෙන්නේ එවැන්නකි. රටේ විවිධ පොලිස් ස්ථානවලින් සිදු කෙරෙන මෙයට සමාන විමර්ශන සඳහා ද මේ සැකකරුවන් අවශ්‍යව තිබේ. කිරිබත්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවකම පොලිසිවලට ඒ සඳහා මේ වනවිට සැකකරුවන් දෙදෙනාව බාරදී ඇතැයි දැන ගැනීමට ලැබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!