Gossip

දෙවැනි ඉනිමේ චබී සහ චූටි මැණිකේ එකතු වෙලා දිගහැරපු අලුත්ම කතාව මෙන්න

සීතල උඳුවප් මසේ අසිරිමත් නත්තල උදා වීමට ඇත්තේ තව දින දෙකකි. නත්තල් අසිරිය ලොව පුරා දසත පැතිරෙද්දී මුළු ලෝකයම නත්තල් අසිරියෙන් වෙළා ගනිද්දී ලෝකවාසි සියලු දෙනාම සතුටට පත්ව සිටින්නේ නත්තල් සිරිය විඳ ගන්නටය.
කලා ක්ෂේත්‍රයේද මේ නත්තල් කාලය තුළ අමුතුම සිරියකින් බැබළෙයි. මෙරට කලා තරු බොහෝ පිරිසක් කිතුනු බැතිමතුන් වන අතර ඔවුහු අනිද්දාට යෙදෙන නත්තල සැමරීමට පෙළ ගැසී සිටිති.
එවැනි යුවළක් ලෙස දෙවෙනි ඉනිමේ කනිෂ්ක ප්‍රසාද් (චබියා) හා ෂලිනි ප්‍රනාන්දු (චූටි මැණිකේ) හැඳින්විය හැකියි. ඔවුන් මෙවර නත්තල් ගත කරන අයුරුයි මේ.

දෙදෙනාටම සුබ නත්තලක්…!
ලෝකවාසි සියලු දෙනාටම සුබ නත්තලක් වේවා!

ෂලිනි කොහොමද මෙවර නත්තල සමරන්න හිතාගෙන ඉන්නේ..
නත්තලට තෑගි දෙන්නට ඇඳුම් පැලඳුම් ගත්තා. අම්මා රසකැවිලි හැදුවා. මමත් රෙසිපි බලාගෙන කේක් හැදුවා. අනිද්දා අපි ජයටම නත්තල සමරනවා.

එදාට මොනවද කරන්නෙ?
නත්තල් දවසට පවුලෙ සියලු දෙනාම එක්ව පල්ලි යනවා. මගේ අම්මාට සොහොයුරු සොහොයුරියන් දස දෙනෙක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාම නත්තල් දවසට අපේ ගෙදරට එනවා. ඔවුන් සමඟ පල්ලි ගොස් පැමිණ ගෙදර පුංචි සාදයක් පවත්වනවා.

ෂලිනිගෙ පවුලෙ කවුරුද ඉන්නෙ..
අම්මා සහ අයියා පමණයි. අයියා තවම විවාහ වී නැහැ. තාත්තා මට වයස අවුරුදු පහේදි හෘදය රෝගයක් වැලදී මිය ගිහින්.

කනිෂ්කට කොහොම ද මෙවර නත්තල්?
නත්තල සරුයි වගේම ටිකක් කාර්ය බහුලයි. වැඩිපුරම ප්‍රසංග තියෙන්නේ නත්තල් සීසන් එකට නිසා ගෙදර රැඳෙන්න තියෙන කාලය අඩුයි. පසුගිය වසරේ නම් නත්තලට ශුද්ධ වූ දේශයට යන්නට අවස්ථාව ලැබුණා.

පුංචි කාලෙ නත්තල් සීයා තෑගි ගේනකල් බලා ඉන්නවා කියන්නෙ ඇත්තක්ද?
ඔව්. නත්තල් සීය අපි නිදාගත්තම රෑට එනවා කියල හිතාගෙන කලින්ම ගේන්න ඕන ඒව ලියල නිදාගන්නවා.
පහුවදා නැගිටිනකොට තෑගිත් තියෙනවා. පස්සෙ කාලෙදි තමයි දැනගත්තේ නත්තල් සීය නැහැ කියල. එතකොටනම් පොඩි ලජ්ජාවක් ආවා.

කනිෂ්ක පල්ලි යන්නෙ කොහෙද?
මෝදර සෙන් ජෝන් පල්ලියට. අම්මයි, තාත්තයි, අක්කයි, මමයි අනිවාර්යයෙන්ම නත්තල්දාට පල්ලි යනවා. දැන්නම් කාර්යබහුලත්වය නිසාවෙන් කට්ටියටම එකවර පල්ලි යන්න නොලැබෙන අවස්ථා තිබෙනවා. එහෙත් නත්තල් දාට කොහේ හෝ පල්ලියකට ගොස් ආගම සිහිකරනවා.

මොකද චබී ගැන හිතන්නේ?
චබී දැන් කනිෂ්කට වඩා ජනප්‍රියයි. මමත් කැමැතියි ඒ නම කියනවට.

චබී, චූටි මැණිකෙව අදුනන්නෙ දෙවෙනි ඉනිම කතාවෙන්ද?
දෙවෙනි ඉනිමෙන් තමයි.(ෂලිනි සිනාසෙයි)

කොහොමද දෙන්න කලාවට සම්බන්ධ වෙන්නේ..
චූටි මැණිකේ (ෂලිනි) පළමුව උත්තර බඳින්නට සැරසෙයි. මම පාසල් යන කාලෙ කලාව කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න කෙනෙක්.
පාසලේ පවත්වන කිසිම කලා කටයුත්තකට ඉදිරිපත් වන්නෙත් නැහැ. පාසලේදි වැඩිපුර කරන්නෙ නෙට් බෝල්, වොලි බෝල්, බාස්කට් බෝල් සෙල්ලම් කරන එක.
මගේ පුංචි තමයි දෙරණ අවුරුදු කුමරියට අයැදුම්පතක් යොමු කළේ. එතකොට මගේ වයස අවුරුදු දාහතයි. කොහොමහරි 2017 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඉන් පසුව තමයි දෙරණ සභාපතිතුමා මාව දෙවෙනි ඉනිමට සම්බන්ධ කළේ.

ඔබේ පළමු රඟපෑමම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්තා..
මම හිතනවා ප්‍රේක්ෂකයන් චූටි මැණිකෙට ආදරය කරනවා කියලා. දෙරණ අවුරුදු කුමරිය වුණාට වඩා දෙවෙනි ඉනිමේ චූටි මැණිකෙට ප්‍රතිචාර වැඩියි.
රංගනයට එක්වීම තුළින් මගේ වෙනම දක්ෂතාවයක් එළියට දැමීමට අවස්ථාව ලැබුණා. ගැමි ළඳක් කොළඹට ඇවිත් කොළඹ ජීවන රටාවට අනුගතවන ආකාරය මෙම චරිතයෙන් පෙන්නුම් කරනවා. දැන්නම් ලැබෙන ප්‍රතිචාර වැඩියි. සමහරු මගතොටේදි අහනවා අනුහස් ඔයාගෙ නේද කියලත්.

රංගනයට එක්වුණාට ෂලිනි තවම උසස් පෙළ හදාරනවා..
මෙම වසරේ තමයි මට උසස් පෙළ හදාරන්න තිබුණේ. නමුත් බාහිර වැඩත් සමඟ හරියට විභාගය කළ නොහැකි වේයැයි පොඩි බියක් දැනුණා. ඒ නිසා ලබන වසරේ උසස් පෙළ ලියනවා. ඒ වගේම ෆැෂන් ඩිසයිනර් පැත්තෙන් සහ බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ෂලිනි නිරූපණ කලාවටත් සම්බන්ධයි..
නිරූපණ ශිල්පිනියක ලෙසත් වැඩ කරනවා. බ්‍රයිඩ්ල් ෂූට් සහ ෆොටෝ ෂූට් කරනවා.

ඩ්‍රිම්ස්ටාර් වේදිකාව ඔස්සේ නේද කනිෂ්ක කලාවට පිවිසෙන්නේ…
ඔව්. ඩ්‍රිම්ස්ටාර් සීසන් 07 පස්වෙනියා දක්වා ආවා. ඔය කාලයේදි තමයි දෙවනි ඉනිම ටෙලි නාට්‍ය පටන් ගත්තේ. දෙරණ සභාපතිතුමා, දෙරණ ඩ්‍රිම්ස්ටාර් නිෂ්පාදකවරු, රාජිකා අක්කාටත්, කැළුම් අයියා, චරිත් කොතලාවල ඇතුළු ඩ්‍රිම්ස්ටාර් කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.

චබී නිසා නේද කනිෂ්කට ‍ප්‍රසංග වේදිකාවේ ආරාධනා ලැබෙන්නේ..
ගායකයෙක්, ගායකයෙක් බවට පත් වීමට චබී චරිතය බලපෑවා. මම ගායකයෙක් වුණාට හරියට ගායකයෙක් වුණේ චබී චරිතය නිසයි.
එහෙත් රංගන ශිල්පියක් වෙන්න අවස්ථාව ලැබුණේ ගායකයෙක් වු නිසයි. බොහෝ රංගන ශිල්පීන්ට ගායන හැකියාව අඩුයි.
නමුත් දෙවෙනි ඉනිමෙ රඟපාන රංගන ශිල්පීන් සියල්ලටම වගේ ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා.
මම චබී චරිතය රඟපෑමට පෙර මගේම ගීත පහක් කළා. නමුත් එදා මාව අද වගේ ‍බොහෝ පිරිසක් හැඳිනුවේ නැති නිසා වෙන්න ඇති එම ගීත රසිකයන් අතරට නොගියේ. ඒ නිසා ළඟදීම චබීගේ ගීතය එළිදක්වනවා.

ගායනයටද? රංගනයටද? වඩාත් කැමැති..
දෙකටම කැමතියි. මේ දෙකම එකිනෙකට බද්දයි. රංගන ශිල්පියාට ගායකයා ආලෝකයක්, ගායකයාට රංගන ශිල්පියා ආලෝකයක්.
මේ දෙකම නැති වුණා නම් කනිෂ්කට මෙතරම් දුරක් කලාවේ එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඇති මේ වන විටත් රටවල් විස්සක පමණ සංචාරය කිරීමට අවස්ථාව ලැබුණේ.

ෂලිනිට කනිෂ්ක මොන වගේ චරිතයක්ද?
දෙවෙනි ඉනිමේ මම ආසම චරිතය තමයි චබීගේ චරිතය. චබී නපුරු වෙන වෙලාවට නපුරුයි, විහිළුවෙන් ඉන්න වෙලාවට විහිළුයි.
මම දෙවෙනි ඉනිමෙ රඟපාන්නත් කලින් ඉඳලම චබීට හරිම කැමැතියි. දෙවෙනි ඉනිමට සම්බන්ධ වුණාට පස්සෙ ඒක ‍වැඩි වුණා. ඒ වගේම රවීන්, දෙනුවන්, නිරුක්ෂාන් අයියා ඇතුළු සියලුදෙනාම චූටි මැණිකෙගෙ චරිතයේ සාර්ථකත්වය පිටුපස සිටිනවා.

චබී ඇයි ඔබව මෙච්චරටම ආරක්ෂා කරන්නෙ..
එකක් මම පුංචි නිසා වෙන්න ඇති. අනෙක මම ෆීල්ඩ් එකට අලුත් නිසා වෙන්න ඇති. මට ෆීල්ඩ් එකට ආපු මුල් කාලෙ විවිධ උත්සවවලට ආරාධනා ලැබුණාම කනිෂ්ක අයියා තමයි කියා දෙන්නේ මෙහෙම යන්න. රංගන ශිල්පිනියක් වුණාම කොහොමද ඉන්න ඕනෙ වගේ දේවල්.

චබී (කනිෂ්ක) චූටි මැණිකෙගෙ (ෂලිනි) දකින දක්ෂතා මොනවාද?
ෂලිනි හොඳ මෝස්තර නිරූපිකාවක්. එයාට නිරූපණ ක්ෂේත්‍රයෙන් හොඳ තැනකට යන්න පුළුවන්. ඒ ව‍ගේම රංගනයටත් ඇය දක්ෂයි.

‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වය අඩුවෙලා කියා ඔබ දෙපළට හිතෙන්නෙ නැද්ද?
පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ. ලංකාවේ ටෙලි නාට්‍ය කලාවෙන් ප්‍රේක්ෂකයන් ඈත්ව සිටින කාලයක, ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය අපේ ටෙලිනාට්‍ය කලාව ගිල ගන්නා යුගයක තමයි දෙවෙනි ඉනිම පටන් ගත්තේ. ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ දිගම ටෙලිනාට්‍ය එනම් කොටස් දහසක් පමණ විකාශයවන ටෙලිනාට්‍යයක් බවට දෙවෙනි ඉනිම පත් වේවි.
පසුගිය කාලයේ ඉතාලියේ රේටින්ස්වලින් දෙවෙනි ඉනිම හතළිස් පස් වැනි තැනට ආවා. දෙවෙනි ඉනිම කොතරම් ප්‍රසිද්ධද කියා ලෝකයේ අනෙක් රටවලට ගියාම ‍තේරුම් ගන්න පුළුවන්. අපි එදාට පෙන්වනවා ලංකාවේ මෙගා නට්‍ය පෙන්වන්න පුළුවන් කියා.

මයික් – චබී සුසංයෝගය ගැනත් කතා කරමුද?
මයික්, චබී හැදුවේ දෙවෙනි ඉනිම තිරපිටත ලියන සමන් එදිරිමුණි අයියා. ඔහු නැත්නම් මයික්, චබී සුසංයෝගය බිහිවන්නේ නැහැ.
අපි දෙන්නා ලංකාවේ කමඩි පැත්ත වෙනස් පැත්තකට යොමු කළා. දෙනුවන් (මයික්) අයියා තමයි කලාවේ මගේ ගුරා. ඔහුගෙන් මම කලාව ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම දෙවෙනි ඉනිම අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස්, නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස්, දෙරණ සභාපතිතුමාටත් ස්තූතිවන්ත වනවා.

මොනවද දෙන්නාගේම අනාගත බලාපොරොත්තු..
(කනිෂ්ක) මගේ බලාපොරොත්තුව හොඳම නළුවා සහ ජනප්‍රිය නළුවා සම්මානය (ෂලිනි ) මගේ බලාපොරොත්තුව කලාව තුළ හොඳ නමක් තියාගෙන රංගනයේ යෙදෙන ගමන් අධ්‍යාපනය හොඳින් හැදෑරීමයි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!