Gossip

තුන්දෙනාම එකම දවසේ විවාහ කරවමු කිව්වේ මමයි – විවාහ වෙන්න ඕන වුණේ චූටි පුතාට – ජැක්සන් ඇන්තනීගේ බිරිඳ කුමාරි කිව්ව කතාව

දරුවන් තුන්දෙනාම එකම දවසේ විවාහ වෙන්න තීරණය කරලා? මේ දවස්වල කුමාරි හරි හරියට වැඩ කියලයි ආරංචිය?
ඔව්.. එහෙම එකම දවසේ ගන්න හිතුවා තමයි. හැබැයි ඒක හිතපු තරම් ලේසි වැඩකුත් නෙමෙයි. දින ළං වෙන්න ළං වෙන්න බඩේ බිත්තර තැම්බෙන ප්‍රමාණයත් වැඩියි. ආසාවට දින එහෙම යොදාගත්තට ඒක ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතින් කොහොමහරි කරලම බලමු නේද? ලබන අවුරුද්දේ ජනවාරි මාසය ඇතුළත තමයි ඒ දිනය සඳහා අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. හැබැයි එක දෙයක් කියන්නම ඕනේ. මේ දරුවෝ තුන්දෙනාම හොඳ දැන උගත් දරුවන්. ඒ විතරක් නෙමෙයි. මේ පවුලට එකතු වෙන දරුවෝ තුන්දෙනාම හොඳ දැන උගත් දරුවන්. මේ පවුලට එකතු වෙන දරුවන්ගෙත් ආසාවල් තියෙනවා. ආසා කරන එක එක විලාසිතා තියෙනවා. ඉතින් ඒ දරුවන්ට අවශ්‍ය විදිහට ඒ කටයුතු කරන්න අපි ඉඩ දීලා තමයි ඉන්නේ. ඒ නිසා විවාහ උත්සවය පිළිබඳව අපි වගේම වගකීමක් මහන්සියක් ඒ දරුවන් හයදෙනාම ගන්නවා.

දරුවන් තුන්දෙනාම එකම දිනයේ විවාහ කරමු කියන යෝජනාව ජැක්සන්ගෙද? කුමාරිගෙද? එහෙමත් නැත්නම් දරුවන්ගෙද?
මම නිකමට වගේ කරපු යෝජනාවක් තමයි මෙහෙම හැබෑ වෙන්න යන්නේ. හරියටම දවස, තැන, මනසේ නැතත් අපි පස්දෙනාම කොහේහරි ගමනක් යද්දි තමයි මම මේ යෝජනාව ගෙනාවේ. ඒකට හේතුවක් තියෙනවා. චූටි පුතාට (සජිත) තමයි ඉක්මනට විවාහය ලියාපදිංචි කරන්න ඕනේ, බඳින්න ඕනේ කියන අදහස තිබුණේ. එයා වැඩිදුර අධ්‍යාපනයට විදෙස් ගතවෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගමනට බුවනි දුවත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බුවනි දුවත් යනවනම් අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕනනේ. ඒ නිසා විවාහ වෙන්න මුලින්ම අදහස ආවේනම් චූටි පුතාට. ඉතින් මම නිකමට “ඉතින් දැන් අනිත් අයත් හොයාගෙන තියෙනවනේ. තුනම එකට කරන්න බැරිකමක් නැහැනේ.” කියලා යෝජනා කළා. ඉතින් ටික දවසක් ඒක හැමෝටම අමතක වෙලා එක පාරටම ආයේ යෝජනා වෙලා තමයි මෙහෙම අපි කරන්න හිතුවේ.

එකම දවසේ කපල් තුනක්.. ඒ කියන්නේ ආරාධනා කරන පිරිසත් වැඩියි? උත්කර්ෂවත්, අපූරු උත්සවයක් වේවි නේද?
ඔව්.. සමහරවිට සාමාන්‍ය වෙඩින් එකකට වඩා යම් පිරිසක් වැඩිවේවි. ඒ වුණාට අපේ පැත්තෙන් එකතු වෙන පිරිස කොහොමත් වෙඩින් එකකට එකතු වෙනවනේ. අක්කාගේ වෙඩින් එකට මල්ලිගේ යහළුවන්ට නොකියා ඉන්නේ නැහැනේ. ඒ අය කොහොමත් එනවා. එකම යහළු පිරිස ඉඳීවි. කලාවේ එකට ඉන්න පිරිස හැමෝම දැන් මේ වෙඩින් එක කියනතුරු බලාගෙන ඉන්නවා. පස්දෙනාම කලාවට සම්බන්ධ නිසා පිරිසත් ටිකක් වැඩියි තමයි.

මනාල මනාලියන්ගේ ඇඳුම් පැලඳුම් තෝරගන්න ඒ අයටම ඉඩ දීලද තියෙන්නේ?
ඔව්.. ඔව්.. ඒ හැමදෙයක්ම තීරණය කරන්නේ දරුවෝම තමයි. එයාලට අන්දවන අයයි, අඳින ඇඳුම් හැමදෙයක්ම ඒ අය හොයලා බලලා තමයි කරන්නේ. තව ඒ හය දෙනා ඒක කතා කරගෙන යනවා. තාම හරියටම අඳින ඇඳුම් පැලඳුම් ගැන තීරණය කරලා නැහැ.

අලුතින් පවුලට එකතු වුණ දරුවන් තුන්දෙනා මොන වගේද?
අකිල පුතා විවාහ වෙන්නේ එමී දුව එක්කනේ. ලොකු පුතාගේ එමී දුව හරිම හොඳ දරුවෙක්. මම දන්නවා එයා කවදහරි හොඳ ගෘහණියක් වෙනවා කියලා. එයාට හරි රහට උයන්න පුළුවන්. ඒ වගේම ගෙවල් දොරවල් හරි ලස්සනට පිළිවෙලට තියාගන්න එමී දුව හරි ආසයි. ඒ වගේම දක්ෂයි. ඒ දුව උගත් දරුවෙක්. ඒ වගේම හොඳ ඉවසිලිවන්ත හරිම හොඳ දරුවෙක්. චූටි පුතා විවාහ වෙන බුවනි දුවත් හොඳට ඉගෙනගත්තු හොඳ දරුවෙක්. දැන් සජිත උගන්නලා තියෙන නිසා බුවනි දූත් හරි අපූරුවට ගීත ගායනා කරනවා. ඉතින් ඒ දෙන්නා ගැනත් මට සතුටුයි. මගේ දුව විවාහ වෙන්නේ මිලාන් පුතා එක්ක. එයා ගුවන් සේවයේ වැඩ කරන්නේ. ඒ දරුවත් හරිම හරි හොඳ දරුවෙක්. එයා දැනටමත් අපි ගැන හොයලා බලනවා. ජැක්සන්ගේ වාහනය ගැන බලනවා. දැනටමත් එයා අපේ පුතෙක් වෙලා ඉවරයි. ඇත්තටම ඒ තුන්දෙනාම මේ බෑනා, මේ ලේලිලා කියලා කවදාවත් හිතන්නේ නැහැ. ඒ තුන්දෙනාම දැන් මගෙයි ජැක්සන්ගෙයි දරුවෝ.. ඒ තුන්දෙනාත් අපි දෙන්නට හරි ආදරෙයි.

මේ හයදෙනා එකතු වුණාම හරිම විනෝදකාමීයි නේද?
අනේ ඔව්.. මේ හයදෙනාම හරිම එකතුයි. ගෙදර හය දෙනාම එකතු වුණාට පස්සේ ඒ සද්දෙ බද්දෙ ගැනනම් කියලා වැඩක් නැහැ. ඔක්කොමලා එකටයි ඉන්නේ. මල්ලිලා දෙන්නා එක්ක අයියා එකතුයි. නංගිලා දෙන්නා එක්ක අක්කා එකතුයි. ඒක මව්පියන් විදිහට අපිට ලොකු සතුටක්. පුංචි කාලේ ඒ තුන්දෙනා ඉගෙන ගනිද්දී අපි සතුටු වුණා. කලා කටයුතු කරද්දී අපි සතුටු වුණා. අද අපි ඊටත් වඩා සතුටක් ලබනවා. ඒ තරමටම ඒ තුන්දෙනා අද හරි එකතුයි. මට මතකයි ඉස්සර මේ තුන්දෙනා එකතුවෙලා හරියට හොර වැඩ කරනවා. ඒ ගැනත් මම සතුටු වුණා. එයාලටම තේරෙන වෙනම භාෂාවකින් කතා කර කර තමයි ඒ වැඩ කරන්නේ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට අපි මොනවා කියවනවද ඔය^ කියලා කෑගැහුවට හිත යටින් ඒ එකමුතුකම ගැන සියුම් සතුටක් අත්වින්දා.

මාධවී, අකිල, සජිත ඒ අයගේ සහකාරියන්, සහකරුවා තෝරාගනිද්දී ඒ ගැන දෙමාපියන්ට මුල ඉඳන්ම කිව්වද?
ඔව්.. ඒ අයම අපිට කිව්වා. චූටි පුතා බුවනිට ට්‍රයි කරන කාලේ ඉඳන්ම මට ඒ ගැන කිව්වා. “අම්මා මෙහෙම කෙනෙක් ඉන්නවා.” කිය කියා. මට හැම එකක්ම ඇවිත් කියනවා. ඒ අය කතා කරන දෙබස් පවා ඇවිත් කියනවා. ඒ දරුවා හරි විවෘතයි.

මේ අය සප්‍රයිස් කරන්න හරි දක්ෂයි නේද?
ඔව්.. ඔව්.. මගේ උපන් දිනය දවසෙත් මේ අය මාව සප්‍රයිස් කළා. එදා මගෙන් අම්මා බර්ත් ඩේ එකට මොකද කරන්නේ කියලා ඇහුවා. එදා මම හැන්දෑවට බෝධි පූජාවක් කරන්න දාගෙනයි හිටියේ. ඉතින් දුව බෝධි පූජාවට මාත් එක්ක ආවා. ඊට පස්සේ මට එදා රූ ගීත ගායනා කරන්න යන්න ප්‍රසංගයක් තිබුණා. මම ඒකට ගිහින් ගෙදර එද්දි රූ එකයි. එද්දි මුළු ගෙදරම ලයිට් නිවලා තිබුණා. මම දොර අරිනකොටම මුළු ගේම ලයිට් දාලා ඔන්න කට්ටියම මට විෂ් කළා. එදා අපේ ගෙදර කට්ටියගෙන් පිරිලා තිබුණා. මට පුදුම හිතුණා. ඒ වගේ දෙයක් එදා මම කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ.

පෝරුවේ චාරිත්‍ර වගේම පල්ලියේදී දේව මෙහෙය පවත්වා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් ලබාගන්නවා නේද?
ඔව්.. අපි සිංහල චාරිත්‍ර වගේම කතෝලික චාරිත්‍රත් සිදුකරනවා. මම බෞද්ධ. ජැක්සන් කතෝලික. ඒ වගේම එමීත් කතෝලික. බුවනි සහ මිලාන් දෙන්නම බුද්ධාගමේ. ඉතින් ඒ චාරිත්‍ර සියල්ලම අපි සිදුකරනවා.

එක දරුවෙක් විවාහ වෙලා ගෙදරින් යද්දී අම්මා කෙනෙක්ට සතුටක් එක්ක දුකකුත් ඇති වෙනවනේ. එකම දවසේ දරුවෝ තුන්දෙනාම විවාහ වෙලා යද්දි මොනවා හිතෙයිද?
නෑ.. නෑ.. එහෙම යන්නේ නැහැ. දෙන්නෙක් ගෙදරට එනවා. එක්කෙනයි යන්නේ. දුව වුණත් ගියාට වැඩි හරියක් මෙහෙ තමයි ඉන්නේ. දරුවන් කසාද බැඳලා යද්දි දුක් වෙනවානම් ඒක වැරදියි. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒ අයගේ ජීවිතවලට ඉඩ දෙන්න ඕනේ. අපි එහෙම ඉඩ දුන්නොත්නේ අපිට තව මුණුපිරි, මිණිපිරියන්ගේ මුහුණ බලන්න ලැබෙන්නේ. ඉතින් තව ජීවිතේ බලාපොරොත්තු තියෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!