Gossip

ISIS උමතුවෙන් අවසන් ගමන් ගිය එකම පවුලේ 12 දෙනා ගැන අමුතුම කතාවක් එළියට – Photos

බෙඩ්ෆෝඩ්ෂයර් නගරයක් වූ ලූටන්හි සිට ඔන්නන් පවුල තුර්කියෙන් යුද සටන් ඇවිළුණු සිරියාවට පැනගත්තේ කවර අරමුණකින්දැයි කියන්නට කිසිවෙක් නොදත්තේය. ඔවුන් එක්සත් ජනපදයෙන් පිටව තිබුණේ 2015 මැයි මාසයේ විසිපස් වැනිදාය.
ඔන්නන් පවුලේ පියා මුහම්මද් 75 හැවිරිදිය. ඔහුගේ බිරිය මිනෙරා සිරියාවේ රාකා නගරයේදී මියගියේ අසනීපයකිනි. ඉතින් එහි ඇති අරුමය කුමක්දැයි ඔබ අසනු ඇති. ඒ ‍දොළොස් දෙනකුගෙන් යුතුවූ පවුලක ඉතිරිව සිටි අන්තිම දෙදෙනාය.
විශේෂය වන්නේ ඉස්ලාම් රාජ්‍යයක පහස පතන්නට ගිය මේ පවුලේ ‍දොළොස්දෙනාම මේ වනවිට මියගොස් සිටීමයි. මේ බව තහවුරු කර ඇත්තේ ඩේලිමේල් පුවත්පතයි.
මේ ඔන්නන් පවුල ගැන ලෝකයේ අවධානය යොමුවන්නට පටන් ගත්තේ ඔවුන් ISIS සංවිධානය හා එක්වනු පිණිස එක්සත් රාජධානියේ සිට පලා ආවේ යැයි පැවසෙන පුවතක්ද සමඟිනි. 2015 මැයි මාසයේ සිරියාවේ අසල්වැසි රාජ්‍යය වූ තුර්කියට පලාආ ඔවුන් ඒ හරහා සිරියාවට ඇතුළු වූ බවක් පැවැසෙයි.
සිරියාවට ඇතුළු වී දෙමසක් ගතවත්ම ඔවුන් ප්‍රකාශ කර තිබුණේ තමන් ISIS සංවිධානයට සහාය දක්වන බවයි. එහෙත් පසුව දැනගන්නට ලැබුණේ මේ සියලුදෙනාම සිරියාවේදී අවසන් ගමන් ගොස් ඇති බවය.
ඔන්නන් පවුලේ වැඩිහිටි දරුවන්ගෙන් තිදෙනෙක් ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් සිදුකළ සටන්වලදී මියගිය අතර අවුරුදු එකත් එකොළහත් අතර වයසේ වූ දරුවන් තිදෙනකු ඇතුළු තවත් ඔන්නන් පවුලේ හත්දෙනකු මියගොස් තිබෙන්නේ ගුවන් ප්‍රහාරවලට හසුවීමෙනි.
මේ පවුලේ මුල් පුරුක් දෙක වූ මුහම්මද් ඔන්නන් හා මිනේරා මියගියේ අයි.එස්.අයි.එස්. සංවිධානය කලක් තම අගනුවර ලෙස සැලකූ රාකා නුවරදීය. ඒ සෞඛ්‍ය පිරිහීම හා රෝගී තත්ත්වයන් හේතුවෙනි.
මේ තොරතුරු සියල්ල ඩේලිමේල් අනුබද්ධ මේල්ඔන්ලයින් වෙත ලැබුණේ ඔන්නන්ගේ පළමු කසාදයේ දරුවකු වන ෂාලිම්ගෙනි.
“ඒගොල්ලො ඔක්කොම මැරිලා. ඔක්කොම ඉවරයි. ටික කාලෙක ඉඳනුයි අපි උත්සාහ කරමින් හිටියේ මේගොල්ලන්ට මොකද වුණේ කියලා. ඒත් මෑතකදී තමයි අපට සිරියාවෙන්ම ආරංචි වුණේ ඒ කතාව ඇත්ත කියලා.”
ඔවුන් බ්‍රිතාන්‍යයෙන් පලාගියේද මතභේදයකට තුඩුදුන් ආකාරයකිනි. ඔවුන් තුර්කියට ළඟාවන්නට පෙර බංග්ලාදේශයට පවුලේ සංචාරයක යෙදුණු බව සඳහන්ය. ඔවුන් බංග්ලාදේශයේ සිට ආපසු බ්‍රිතාන්‍යයට නොපැමිණි අතර එවක් පටන් ඔවුන් අතුරුදන් වූවන් ලෙස සැලකිණි. තවත් කටකතා පැතිර ගියේ ඔවුන් ධ්ඉධ්ඉ සමඟ එක්වන්නට ඇති බවයි. මේ ඔන්නන් පවුල වෙත ලෝකයේම අවධානය යොමුවන්නට හේතුව වූයේද මෙයයි.
මෙසේ අතුරුදන්වීමෙන් දෙමසකට පසු ඔවුන් සිරියාවේ සිට පණිවුඩයක් එවා තිබුණේ තමන් මුස්ලිම් රාජ්‍යයට සහාය දෙන්නට තීරණය කළ බවකි. මිනිසා විසින් තනාගත් නීතිවලට යටත් වන්නට අවැසි නොවන, අක්‍රමිකතාවෙන් තොර ෂරියා නීතිය යටතේ ක්‍රියාත්මක වන භූමියක ජීවත්වීම අගය කරන බව ඔවුන් පවසා තිබිණි.
“ඔව් අපි ආවා තමයි. ඒත් ඇයි මේ ‍දොළොස්දෙනකු ගැන මේ තරම් වධවෙන්නේ? දහස් ගණනේ මුස්ලිමුන් ලෝකයේ හැම තැනකින්ම ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් මෙහෙට එද්දී දිනපතාම වගේ.”
සිරියාවට පලාගිය වයෝවෘද්ධම බි්‍රතාන්‍ය ජාතිකයා ලෙස සැලකෙන මුහම්මද් ඔන්නන් පවසයි. ඇඟිල්ලක් ඔසොවමින් තම සහාය මුස්ලිම් රාජ්‍යයට බව සපථ කරන සේයාරුවක්ද ඔහු විසින් එවා තිබිණි.
එහෙත් ඔහුගේ පුත්‍රයා එහි ළඟාවීමෙන් කිහිප දිනකට පසුව පවසා තිබුණේ සියලුදෙනා උගුලක වැටුණු බවය.
“තාත්තා පසුව මේ ගැන කනගාටු වුණා. ඔහු කීවා තමා ඉන්නේ කනගාටුවෙන් බව. ඒත් අපි ඒ වෙද්දී ප්‍රමාද වැඩියි. ඔහු දිනපතාම වාගේ හැඩූ­ කඳුළෙනුයි හිටියේ”
ඔහුගේ පුත්‍රයා පවසා තිබිණි.
දියවැඩියාව මෙන්ම තවත් රෝගාබාධ කිහිපයකින්ම පෙළෙමින් සිටි මුහම්මද් ඔන්නන් මෙයින් දින කිහිපයකට පසුව රාකා නුවරදී මියගිය අතර තවත් ටික දිනක ඇවෑමෙන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි ඔහුගේ බිරිය මිනේරාද මෙලොව හැර ගියාය.
ඇමෙරිකානු සහාය ලද හමුදාවලට එරෙහිව ISIS වෙනුවෙන් සටනට බට ඔහුගේ බාලම පුතුන් දෙදෙනා වූ 25 හැවිරිදි මොහොමඩ් සයිඩ් හුසේන් හා 19 හැවිරිදි මොහොමඩ් තව්ෆික් හුසේන් මියගියේ 2017 ඔක්තෝබරයේදීය.
ISIS තුරන් කිරීමේ අන්තිම සටනේදී සතුරු හමුදාවල ප්‍රහාරයට ලක්වීමෙන් ඔන්නන්ගේ තවත් පුතකු වූ 31 හැවිරිදි අබිල් කාෂෙම් සකේර් වෙඩි වැදී මියගිය බව පැවැසෙයි. ඔන්නන් පවුලේ සෙසු සාමාජිකයන්ද සොයා මේ අවාසනාව අභාග්‍යය පැමිණියේ නොසිතූ නොපැතූ විලසකිනි. දියණිය වූ 21 හැවිරිදි රාජියා ඛානම්, 26 හැවිරිදි පුත්‍රයා මොහොමඩ් සාලේ හුසේන් හා ඔහුගේ බිරිය රෝෂ්නාරා බේගම්, ඔවුන්ගේ දරු තිදෙනා හා ඥාති සොයුරියක් වූ 27 හැවිරිදි ෂීඩා ඛානම් මියගියේ ගුවන් ප්‍රහාරයකට ලක්වීමෙනි. බාගෝස් නගරයේ සිට කඳවුරක් වෙත ගමන් කරමින් සිටියදී ඔවුන් මෙසේ ඝාතනයට ලක්විය.
ඇත්තෙන්ම මේ ඔන්නන් කවුද? ත්‍රස්තවාදියෙක්ද? ත්‍රස්තවාදී අදහස් ඔළුවට ආවේ කවර ලෙසකින්දැයි විමසන්නෝ වෙති. එහෙත් ඔහු එබන්දකු වූ බවට සාක්ෂි නැත. ඔහු ලූටන්හි ඕභපර ර්ථීචපඬ මුස්ලිම් පල්ලියේ යාච්ඤාවලට නිතිපතා පැමිණියකු බව සඳහන්ය. ඔහුගේ හිතවතුන්ට හා ඥාතීන්ට මේ වියෝව අදටත් තිගැස්මකි.
“ඔහු අපූරු පුද්ගලයෙක්. පවුල ගැන නිතරම කල්පනා කළ කෙනෙක්. ඔහු සිරියාවට ගියාය කියල ආරංචි වුණාම අපටත් හිතාගන්න බැරිවුණා. ඇයි ඔහු එහෙම කළේ කියලා. අපි දන්න මුහම්මද් ඒවගේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මේ කිසිවක් අපට විශ්වාස කරන්න බැහැ. ඒත් ත්‍රස්තවාදයට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා ලෝකයේ ඇස් ඇරවන්න මේක හොඳ සිදුවීමක්.”
ලූටන්හි මුස්ලිම් පල්ලියේ ප්‍රධානී අබුල් හුසේන් පවසයි. අතුරුදන් ලැයිස්තුවට වැටී සිට අන්තයේදී තමා විසින්ම කපාගත් වළක වැටුණු ඔන්නන්ගේ බ්‍රිතාන්‍ය නිවෙස අද වනවිට කුලී නිවෙසකි. එහි නිවැසියෝ ඔන්නන් ද ඇතුළුව ළමා ළපටින් හා අනෙකුත් සාමාජිකයන්ගෙන් යුතු ඒ පවුලේ සියලුදෙනා මෙසේ අවසන් ගමන් යෑම ගැන අදද දුක්වන්නෝය.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!