Cinema

රිදී තිරය ඔපකළ මීදෙණිය වලව්වේ කුමාරිහාමි

දශක හයකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින් තුළ සිනමාවට තිබු ආදරය නොවෙනස්ව පැවතීම අහඹුවක් නොවේ. එදා මෙදා තුර තිරයේ දස්කම් පෑ ශිල්පින් සහ ඔවුන්ගේ නිර්මාණයන් පිලිබඳ වූ මතකය මෙලෙස ප්‍රේක්ෂකයා යාවත්කාලීනව සිනමාව හා බැඳ තැබීමට සමත්ව තිබේ.

මෙරට සිනමාපට නාමාවලියට රේඛාව හරහා රිදී රේඛාවක් පෑයුවේ 1956 වසරේදී බව ඒ සිනමාලැදි ප්‍රේක්ෂකයින්ගේ මතකයේ අදටත් තැන්පත්ව තිබේ. එදා සිට අද වනතුරුත් ඒ සොඳුරු සිනමාවේදියාගේ නිර්මාණයන් සමග ප්‍රේක්ෂකයන් බැඳුනේ ඔහුගේ නිර්මාණයන් හරහා ජනගත කළ “රස” රසවිඳින්නට ලොබ බැඳී හෙයිනි. ඒ රේඛාව හරහා මෙරට සිනමාවට පෑයුවේ ලෙස්ටර් ජේමිස් පිරිස් නම්වූ සිනමා අධ්‍යක්ෂවරයාගේ රිදී රේඛාව පමණක්ම නොවේ.

තවත් සොඳුරු රුවක්, කුසලතා පුර්ණ ශිල්පිනියක් මෙරට සිනමාවට පිවිසීමද රේඛාව හරහා සිදුවිය. මීදෙණිය වලව්වේ කුමාරිහාමි අයිරාංගනී රොක්සානා මීදෙණිය සිනමා රංගවේදිනියක් ලෙස රිදී තිරය අතික්‍රමණය කිරීමද රේඛාව හරහාම සිදුවිය.

එදා මෙදා තුර දශක 06ක සිනමා රුපවාහිනී සහ පුංචි තිරය හරහා සක්මන් කළ ඒ සොඳුරු ගමන්මගේ මතකාවර්ජනයකට ඈ cinema.lk  අප සමග එක වුයේ මෙලෙසිනි.

සිනමාවේ 60 වසරක්, ජිවිත ගමනේ 90 වසරක් පැමිණි ගමන් මගේ ආරම්භය ගැන සිහිපත් කරමු.
1927 ජුනි 21. ඒ තමයි මගේ උපන්දිනය. මිට අවුරුදු 90කට කලින්. රුවන්වැල්ල ටවුමේ ඉඳන් හැතැප්ම දෙකක් විතර ගිය තැන තියනවා මීදෙණිය ගම. ඒ පළාතේ තිබුන මීදෙණිය වලව්වේ රටේ මහත්තයාගේ තුන්වැනි දුව තමයි මම. රටේ මහත්තයයි කුමාරිහාමියි මට අයිරාංගනී රොක්සානා කියල නම තැබුවා. හරි සුන්දර ළමා කාලයක් මම ගෙවුවා. ගහකොළ ඇලදොළ සතා සීපාවා එක්කත් මට පොඩි අවදියේ ඉඳන් ලොකු බැඳීමක් තිබුනා. ඔහොම ඉඳල ඉස්කෝලේ යන වයස එනකොට අප්පච්චි මාව කොළඹ අරගෙන ආව. කොළඹ බෝඩින් ජිවිතේට මමත් පුංචි කාලේ ඉඳලම හුරු වුනා. ශාන්ත බ්‍රිජට් කොන්වන්ට් එකට තමයි මුලින්ම ඉස්කෝලේ ගියේ. එහෙම ටික කාලයක් ඉන්නකොට මම ඒ ඉස්කොලෙනුත් බෝඩිමෙනුත් අයින් වුනා. මගේ නැන්දා පදිංචි වෙලා හිටියේ බිෂොප් කොලේජ් එක කිට්ටුව. ඒ ගමන නැන්දා මාව බිෂොප් කොලේජ් එකට ඇතුල් කළා, ඒ විදිහට මම සාමාන්‍ය විභාගයට මුහුණ දුන්නා. විභාගයෙන් සමත් වුනාට පස්සේ උසස් විභාගයට මුහුණ දෙන්න ලැස්ති වුනා. අප්පච්චි තදින්ම විරුද්ධ වුනා. එත් මගේ අනික් නෑයන්ගේ ඉල්ලීම නිසා එයා කැමති වුනා. නුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුල් වෙලා ඉගෙනගත්තා. උසස් විභාගයෙන් පස්සේ Ceylon University එකට ඇතුල් වෙන්න සුදුසුකම් ලැබුවා. ඒකට නම් අප්පච්චි කොහොමටවත් කැමති වුනේ නෑ . ඒත් මම බල කරලම කිවුව මට තව ටිකක් ඉගෙන ගන්න ඕන කියලා.  Ceylon University එකට ඇතුල් වුනේ ඒ විදිහට.

ඔය විදිහට ගෙවාගෙන ආව ජිවිතේ රංගන ශිල්පිනියක් හැටියට සිනමාවට එන්නේ කොහොමද..?
ඔය කිසි දෙයක් මම බලාපොරොත්තු උන දේවල් නෙමෙයි. මම කිසි දේකට උත්සාහ කරලා ලබා ගත්තත් නෙමෙයි. ඉස්කෝලේ යන කාලේ නාට්‍ය කළා. රඟපෑවා. නාට්‍ය තරග වලින් ජයගත්තා. නුවර උසස් බාලිකාවේ ඉන්න කාලෙම බර්නාඩ් ෂෝගේ නාට්‍යක් උන Pygmalion නව නිෂ්පාදනයක රඟපාන්න අවස්ථාව ලැබුනා. ඒක තමයි මම ප්‍රසිද්ද වේදිකාවක මුලින්ම කළ රංගනය. විශ්ව විද්‍යාලයේ ඉද්දිත් වේදිකාවේ රඟපෑවා. ඔක්කොම ඉංග්‍රීසි නාට්‍ය වල. විශ්ව විද්‍යාලයේ අවුරුදු තුනේම නාට්‍ය කළා. විශ්ව විද්‍යාලයෙන් අයින් වෙලා කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක් විදියට සේවයට එකතුඋනා. ඔහොම ඉද්දි මට එංගලන්තයට යන්න සිදුවුනා. ඒ මම විවාහ වෙලා හිටි කෙනාගේ විභාගයක් නිසා. අපි දෙන්නටම එංගලන්තයට යන්න වුනා. ඒ යද්දී මට ප්‍රොෆෙසර් ලුඩොවික් කිවුවා නිකම්ම ගිහින් ඉන්න එපා, Drama & Acting ඉගෙන ගන්න කොලේජ් එකකට යන්න කියල. මම British Oldvic Theater School එකට ඇතුල් වුනේ එහෙම. ඒක Oldvic  වල තිබුන පරණම Drama School එකක්. අවුරුද්දක් මම එතන ඉගෙන ගත්තා. ඊළඟට මගේ ස්වාමියාට සිද්දවුනා එයාගේ ඊළඟ විභාගය වෙනුවෙන් ලන්ඩන් වලට එන්න. London school of speech training and dramatic art කියන නාට්‍ය පාසලේ මම තවත් අවුරුද්දක් විතර ඉගෙන ගත්තා. වේදිකාව සඳහා හඬ මෙහෙයවීම ගැන තමයි මම වැඩිපුරම එතැනදී ඉගෙන ගත්තේ. මම හිතාගෙන හිටියේ දෙබස් හම්බුනාම ඒක  කියන එක තමයි ලොකුම දේ කියල. එත් මේ Drama School එකේදී මම නොදන්නා හුඟක් දේ හඬ පාලනය සහ භාවිතාව ගැන ඉගෙන ගත්තා. Voice and body training තමයි ඒගොල්ලෝ ප්‍රධාන තැනක් දුන්න විෂය. ඒ පාඨමාලාවට පස්සේ මම ලංකාවට ආවා. එහෙම ඇවිත් ඉද්දි ලෙස්ටර් මට කතා කරා එයාගේ වාර්තා චිත්‍රපටයක රඟපාන්න, මම බෑ කිවුවා. මම ඕව කරලත් නෑ , මට කරන්නත් බෑ කිවුවා. නෑ නෑ , ඔයා එන්නකෝ මම කියා දෙන්නම් කියල මට කතා කරා. කොහොමහරි අකමැත්තෙන් වදෙන් පොරෙන් ගිහින් ඒ වැඩේ කරා. ඔහොම ඉද්දි 1956 ලෙස්ටර් රේඛාව කරන්න මට කතා කරා. එත් මම බෑ කිවුවා. නමුත් කලින් සැරේ වගේම ලෙස්ටර්ගේ වදේ නිසාම මම හා කියල එකේ රඟපෑවා. ඔහොම තමයි මම Silver Screen එකට ආවේ.

ඒ පටන්ගැන්ම දශක හයක් යනතුරුත් රිදී තිරයට නැතුවම බැරි චරිතයක් වෙලයි නතර වුනේ.
(සිනාසෙයි) වෙලාවකට මට පුදුමත් හිතෙනවා. කොහොම වුනත් ඉතින් මට වැඩ ලැබුනා. මම රඟපෑවා. මම හුඟක් ආසාවෙන් කළා ලෙස්ටර්ගේ Films. ඒවා හරි ආශ්වාදනීය නිර්මාණ. ඒ වගේම දයානන්ද ගුණවර්ධනගේ බක්මහ දිගේ චිත්‍රපටයත් මට හුඟක් මතක එකක්. ඊළඟට කිනිහිරියා මල් චිත්‍රපටයේ මම රඟපෑවේ වෙනස්ම චරිතයක්. ඔහොම මතක ගොඩක් තියනවා. අවුරුදු 60කම රඟපානවනේ ඉතිං . (සිනාසෙයි) හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම චිත්‍රපට කියක විතර රඟපාලා තියේද කියල, ඇත්තටම මම දන්නේ නෑ . මම හුඟක් කල් ඉඳන් හිතන් හිටිය එහෙම ලිස්ට් එකක් හදන්න. ඒ වැඩේ උනෙත් නෑ අන්තිමේ. දැන් නම් ඉතින් මොකටද කියල හිතෙනවා.

රිදී තිරය ටෙලි නාට්‍ය වගේම වේදිකාවේත් ඔබේ මතක තියෙනවා අඩුවක් නැතුව..?
ඔව් ඔව්. ඔය මොන දේ කළත් මගේ වැඩිම කැමැත්ත වේදිකාවට. මොකද කියනවා නම් එක හරිම සජිවියි. එවෙලාවේ ඒ චරිතය ඇතුලේ ජිවත් වෙනවා. ඒ වගේම හරිම සජීවීව ප්‍රතිචාර ලැබෙනවා. මට ඒ නාට්‍ය වෙනුවෙන් Costumes දැම්මට පස්සේ මාව අමතක වෙනවා. එතන ඉඳන් ඒ චරිතය තමයි ජිවත් වෙන්නේ. සමහර වෙලාවට අනික් අය මට විහිළුත් කරනවා. ඒ කොහොම උනත් මට එතන තමයි රඟපෑම තියෙන්නේ, අනික් එක එතැනදී චරිතය මුල ඉඳන් අගට රඟපාන්න පුළුවන්. සිනමාවේදී ඉතින් ෂූටින් තියෙන්නේ තැනින් තැන නේ, ඊට වඩා හරි ලස්සනට චරිතය ගලා යනවා වේදිකාවේදී. රඟපාන්නත් ලේසියි එහෙම වුනහම. මම මුලින්ම රඟපෑවේ ඉංග්‍රීසි වේදිකාවේ විතරයි. එත් පසුකාලීනව හෙන්රි ජයසේනගේ “අපට පුතේ මගක් නැතේ” ධම්ම ජාගොඩගේ නාට්‍යකත් රඟපාලා මම සිංහල වේදිකාවටත් සම්බන්ධ වුනා.

මේ හැම ක්ෂේත්‍රයකම එක වගේම බැබලුනු, තරුවක් නොවූ තරුවක් ඔබ. කොහොමද මේ වැඩ එක්ක පොදු සමාජයේ තිබුණු ප්‍රතිචාර..?
මම හුඟක් වෙලාවට ෆිල්ම්ස්, වලින් එහාට එහෙ මෙහෙ ඇවිදින වැඩ වලට සහභාගී වන කෙනෙක්. ඔන්න ඒ කාලේ යශෝරාවය Telecast වෙනවා. දවසක් මම නුවර ගිහින් පාරේ ඇවිදගෙන යනවා. කවුදෝ ගෑණු කෙනෙක් දුවගෙන ආව. ඇවිත් මගේ අතින් අල්ලගත්තා.මගේ මුණ දිහා හොඳට බලල “බලදෙවගේ කට්ටිය නේද..?” කියල ඇහුවා. මම කිවුවා ඔව් කියල.. ” හා හා හොඳයි, පරිස්සමට..” කියල මගේ අත,  අතගාල ගියා යන්න. ඒ වගේ හුඟක් සිද්දි තියනවා. අපි අපට ලැබුණු වැඩේ හරියට කළ නිසයි ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ කියල මම හිතන්නේ. තව දවසක් මම ටවර් හෝල් එකේ නාට්‍යක් බලන්න ගිහින් ඉන්නවා වාඩිවෙලා නාට්‍ය පටන් ගන්නකල්. පිටිපස්සේ හිටපු කාන්තාවෝ දෙන්නෙක් මගේ පිටට තට්ටු කළා. මේ දුදරුවෝ Telecast වෙන කාලේ. මේක ඇදෙනවා ඇදෙනවා, මට එපා වෙලා. මම ආයේ කරන්නේ නෑ . දැන් මට ඇති කියල නාලන්ටත් මම කියා කියා හිටියේ. ඒ අය මගෙන් ඇහුවා දුදරුවෝ එකේ ඉන්නවා නේද කියල. මම ඔව් කිවුවා, අනේ අපේ ගෙදරත් ඕකම තමයි. අපේ සහෝදරයෝ ටික ඔක්කොම මේ විදිහටම බුදල් නිසා රණ්ඩු වෙලා තරහ වෙලා හිටියේ, මේ කතාව බලද්දී අපටම අපි ගැන ලජ්ජා හිතුනා, පස්සේ ඇවිත් අම්මලාගෙන් සමාව ඉල්ලලා දැන් අපි හැමෝම හොඳින් සමාදනෙන් ඉන්නවා, ඔයාල හැමෝටම පින්, කියල ඒ දෙන්න මට කිවුවා. නාට්‍යකින් මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් ලොකු දෙයක්නේ කියල මම එකෙන් අයින් වෙන්න තිබුන අදහස අතහැරලා දිගටම රඟපෑවා.

අවුරුදු 60ක් කියන්නේ පුංචි කාලයක් නෙමේ, සාමාන්‍යෙන් මිනිහෙක්ගේ ජිවිත කාලය වගේ, එතරම් කාලයක් ඔබ ක්ෂේත්‍රයේ වැඩ කරලා. දැන් ආපසු හැරිලා බලද්දී එදා සහ අද ගලපන්නේ කොහොමද.?
මුලිකව අද තාක්ෂනය දියුණුයි. පහසුකම් වැඩියි වැඩ කරන්න. ඒ වගේම ශිල්පින් විදිහට ගත්තහම අද අපට ඉස්සරට වඩා හොඳට සලකනවා කියලයි මම නම් හිතන්නේ. ඉතින් මේ දේවල් එක්ක බැලුවහම නම් අද අපේ ක්ෂේත්‍රයේ ලොකු දියුණුවක් ලබල තියෙනවා. එත් ඒ කාලේ ශිල්පීන්ගේ තිබුන කැපවීම වැඩේට තිබුණ අවංක බව වගේ දේවල් නම් දැන් තියනවා කියල මට පෙන්නේ නෑ. සරල දෙයක්. අපි ඉස්සර චරිතයට ආවේශ වෙලා රඟපෑවේ, සේරම දෙබස් කටපාඩම් කරගෙන ලොකු මහන්සියක් වෙලා. නමුත් දැන් එකටත් කම්මැලි කමේ ප්‍රොම්ප්ට් කරන්න කෙනාගේ පිහිටෙන් තම වැඩේ කරන්නේ. ඉතින් ඔන්න ඔහොම දේවලුත් තියෙනවා. කොහොම වුනත් මේ ආව ගමන ගැන හරිම තෘප්තිමත්. දැන් මම රන්ගපානේ නම් නැහැ. කල දේවල් හොඳටම ඇති කියලයි මට හිතෙන්නේ.දැන් මගේ අවසන් කාලය සැහැල්ලුවෙන් ඉන්න විතරයි මගේ බලාපොරොත්තුව.

දශක 06කට අධික කාලයක් සිනමා ටෙලිනාට්‍ය සහ වේදිකාවේ පෙළහර පෑ මිදෙනියේ වලව්වේ කුමාරිහාමි වුනු රටම ආදරය කළ අයිරාංගනී සේරසිංහ නම්වූ සොඳුරු රංගවෙදිනිය සමග කළ කතාබහ අවසන් කොට අගේ නිවහනින් සමුගන්නා මොහොතේ  ඇයට දිගාසිරි පතන්නට අප අමතක නොකළෙමු. නමුත් ඈ කිවේ මෙපමණකි. “මේ හොඳටම ඇති. තව අවශ්‍යම නැහැ. දැන් යන්නයි උවමනා” නමුත් යුග ගණනක් රසික සිත් පිනවූ සොඳුරු රංග වෙදිනියට “චිරන් ජයතු” යයි පතන්නට පැකිලෙන ශ්‍රී ලාංකිකයකු වෙතියි සිතිය නොහැකි තරම්ය. ඒ එතරමටම ඈ රසික හදවත් තුළ ජිවත් වන නිසාවෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top