Gossip

කාකි ඇඳුම යට සැඟවුණු සොඳුරු හදවතක් ඇති එස්.අයි. මහත්තයාගේ කවි සිතිවිලි – Photos

ඉස්සරම තිබුණා මගේ ගාවත් – ඇගේ ගැන ලියු කතාවක්…

එකෝමත් එක රටක කියලා – හිතාගෙන මෙය අහන්න..
දුරස් බව අපි අතර තිබුණා – තරු වලින් දුර මනින්න..
පවුරු පදනම් ඔහේ පාවේ – එහේ බර නෑ බො යන්න…
කොහෙන් හැමුවත් හුළග ආවේ – ඇගේ සුවඳම බෙදන්න..

ගෙම්බො වීලා කුමාරයො ඇත – පෝලිමේ ඇය සිඹින්න..
කණාමැදිරියො වුණත් දන්නව – එවිට ඇස් දෙක වහන්න..
මටත් ඕනේ ඔහේ පාවී – වීදිවල සැරි සරන්න..
ඒ අතර එක් තැනක යාවී – පෙමක් උනි කිති කැවෙන්න..

හැම කතාවෙම වගේ අවසන – සිනා සලකුණු තියන්න…
ඇයටවත් මතකයක් නොම විය – කලින් චුට්ටක් කියන්න…
මගේ හද මැද ඇවිද ආ ඒ – ගැඹුරු පා අඩි තියන්න…
හැකිව තිබුණත් ඇයට ඕනේ – සින්ඩරෙල්ලා නොවන්න..

මලක් පිපුනා දහස්පෙතියා – පෙත්ත ගානේ වර ඇතී..
එකම පෙත්තයි අරන් ගියෙ ඈ – කොතන මුත් සතුටින් ඇතී..

සින්ඩරැල්ලා කියන්නේ පොඩි කාලේ අපි කවුරුත් දන්නා කියන චරිතයක්. රාජ කුමාරයත් එක්ක නටලා එද්දි සපත්තුව ගැලවුණාම ගැලවුණු සපත්තුව දාලා ඇය ගෙදර ගියා. සපත්තු අරගත්තු රාජකුමාරයා එ සපත්තුවේ හිමිකාරිය හොයාගෙන ගිහින් අන්තිමට සින්ඩරෙල්ලව හොයා ගත්තා. සිංඩරැල්ලා කතාව වගේ බොහෝ කතාවල තිඛෙන සිනා සලකුණක් මේ කතාවේ නෑ. ඇය සිංඩරැල්ලා වගේ සටහනක් නොතියාම ගියත් මේ රාජකුමාරයාගේ හදේ ඇගේ සටහන් තියෙනවා. ඒත් සින්ඩරෙල්ලා සොයාගෙන නොගිය මේ රාජකුමාරයා ඇය කොතනක හරි සතුටින් ඇතැයි සිතමින් සතුටු වෙනවා.

මේ කිව්වේ ඇත්ත කතාවක්. මේ ඇත්ත කතාව කවියට නැඟුවේ ඒ කතාව අත්දැකපු කෙනාම තමයි. ඔහු නමින් ඉලක්ෂ ජයවර්ධන. ඉලක්ෂ කියන්නේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු මේ වන විට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ පුහුණුව ලබනවා. යම් යම් සිදුවීම් වුණාම ඒ හැම දෙයක් ගැනම දන්නවා වගේ මුහුණුපොතේ පෝස්ට් එහෙම නැත්නම් මත දැක්වීම් දමන බොහෝ ෆේස්බුක් තරු ඕනෑ තරම් ඉන්නවා. ඒ තරු අතර ඉලක්ෂ වෙනස්ම චරිතයක්. ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුම භාවිතා කරන්නේ කවි ලියන්න. උදෑසනම ෆේස්බුක් ගිිහින් ඉලක්ෂගේ ගිණුමට පිවිසිලා ඔහු අලූතින් කවි දාලා තියෙනවද කියලා බලන බොහෝ දෙනෙක් ඉන්නවා.

 

ඉලක්ෂ පෞද්ගලික අත්දැකීම් අළලා වගේම විවිධ මාතෘකා යටතේ කවි ලියනවා. ෆේස්බුක් එකේ ඉලක්ෂගේ කවි කියවපු අපි ඉලක්ෂව හොයාගෙන කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ගියා. ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හරහා පොලිස්පතිවරයාගෙන් ලබා ගත් අවසරය මතයි. අපි මුලින්ම ඇහුවේ ඉලක්ෂගේ පෞද්ගලික තොරතුරු.

‘‘මගේ ගෙවල් අකුරැස්ස ඕපාත. පවුලේ මාත් සමඟ හය දෙනෙක් ඉන්නවා. අම්මා, තාත්තා, අයියා සහ අක්කලා දෙන්නා. මගේ මුල්ම ඉස්කෝලේ කඳුහේන කණිෂ්ඨ විද්‍යාලයයි. එම පාසලෙන් මම ශිෂ්‍යත්ව විභාගයට වාඩි වුණා. පාසල් ඉතිහාසයේ තුන් වැනියට ශිෂ්‍යත්වය සමත් වුණු ළමයා විදියට මම මාතර ස්ර්වේසස් විද්‍යාලයට ඇතුළත් වුණා. මම එහේ හොස්ටල් එකේ නැවතිලයි හිටියේ. 2004 දෙසැම්බර් 26 වැනි දා පොහොය සහ නත්තල් නිවාඩු නිසා මම ගෙදර ගියා. එදා අපු සුනාමියෙන් හොස්ටල් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. එදා හිටියා නම් මමත් නෑ.

ඉන් පස්සේ තවලම විද්‍යාරාජ ජාතික පාසලට ඇතුළත් වුණා. එම පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ ස`දහා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට ඇතුළත් වුණා. මගේ අම්මා ගෙදර ඉන්නේ. රස්සාවක් කරන්නේ නෑ. අපිට පොඩි තේ වත්තක් තියෙනවා. තාත්තා එකේ වැඩ කරගෙන ඉන්නවා. අයියා ගුරුවරයෙක්. ලොකු අක්කා පොලිස් කොස්තාපල්වරියක්. පොඩි අක්කා උපාධිධාරී සංවර්ධන නිලධාරිනියක්.‘‘ ඉලක්ෂ ඔහුගේ පවුලේ විත්තර කිව්වා.

බොහෝ දෙනෙක් පොලිසියට එන්න කැමති නැහැ. ඒත් ඉලක්ෂ පොලිස් දෙපාර්තමේන්තුවට එකතු වුණා. පොලිසිය කියන්නේ මොන දේ වුණත් බැනුම් අහන ආයතනයක්. හො`දක් කළත්, නරකක් කළත් කවුරුන් හෝ බනිනවා. නීතිය ක්‍රියාත්මක කළොත් වැරදි කරන අය බනිනවා. නීතිය ක්‍රියාත්මක නොකර හිටියොත් අනිත් පිරිස බනිනවා. ඉතින් මේ පොලිසියට එකතු වෙන්න හිතුවේ ඇයි කියලා අපි ඉලක්ෂගෙන් ඇහුවා. ඉලක්ෂ ඊට දුන්නේ මෙහෙම පිළිතුරක්.

‘‘මට පොඩි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබ්බා හැමෝටම සේවාවක් කරන්න පුළුවන් රස්සාවක් කරන්න. හීන තුනක් තිබ්බා. ගුරුවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න සහ පොලිස් නිලධාරියෙක් වෙන්න. මම විද්‍යාපීඨ අයැදුම්පත් දැම්මා, එච්එන්ඩීඊ දැම්මා. පොලිසියටත් දැම්මා. මේ තුනටම මාව තේරුණා. අන්තිමට මම පොලිසිය තෝරගත්තා. මට පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ පුහුණුවීමට එන්න තිබ්බේ 2016 දෙසැම්බර පළමු වැනිදා. අපේ අක්කාගේ මඟ=ල් ගෙදර තිබ්බේ දෙසැම්බර දෙවැනිදා. අක්කාගේ මඟුල් ගෙදරත් නොගිහින් මම පොලිසිය තෝරාගෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ පුහුණුවට ආවා. මං හිතනවා පොලිස් නිලධාරියෙක් විදියට සමාජයට මෙහෙවරක් කරන්න මට පුළුවන් වෙයි කියලා. ‘ ඉලක්ෂ කිව්වා.

ඉලක්ෂගේ අයියත් හොඳ කවියෙක්ලූ. එයා කවි සින්දු ලියලා ජයග්‍රහනත් අරගෙන තියෙනවා කියලා ඉලක්ෂ කිව්වා. අයියට පුළුවන්නම් මට මොකද බැරි කියලා ඉලක්ෂත් දිගටම කවි ලිව්වා. ඉස්කෝලේ 10 වසරෙදි වගේ තමයි ඉලක්ෂ කවි ලියන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ කාලේ කවි ලියන නිසා යාලූවන්ගෙන් හරි කරදරලූ.

 

‘මම කවි ලියන නිසා යාළුවො කියනවා එයාලා යාලූ වෙලා ඉන්න කෙල්ලන්ට එයාලා ලියන විදියට කවි ලියලා දෙන්න කියලා. මම ඉතින් ලියලා දෙනවා. සමහර වෙලාවට මහර රෑත් යාළුවො කතා කරනවා කෙල්ල තවත් කවියක් ඉල්ලූවා කියලා. මට කවි ලියන්න කම්මැලි වෙලාව මං කරන්නේ එක යාලූවෙක්ට ලියලා දුන්න කවියක් තවත් එක්කෙනෙකුට දෙනවා. කෙල්ලෝ කෙල්ලෝ එකතු වෙලා කවි බලලා ඔක්කොම අහුවෙලා අවුල් ගියපු අවස්ථාත් තියෙනවා.‘

දවසක් ඉස්කෝලේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ දවසක පිළිතුරු ලියන්න දුන්නුකොල වල කවි ලියලත් අහුවෙලා තියෙනවා කියලා ඉලක්ෂ කිව්වා. හැබැයි ගුරුවරියගෙන් දඩුවමක් ලැබිලා නෑ. කවි ලියපු කොළේ නැවත ලැබිලත් නෑ.

ඉලක්ෂගේ කතාව අපි පටන් ගත්තේ ඉලක්ෂ ලියපු කවියකින්. එය ඔහුගේ අත්දැකීමක් මත ලියපු කවියක්. ඉලක්ෂ පාසල් යන කාලයේ සම වයසේ සිසුවියකට පෙම් කළාලූ. ඒ ශිෂ්‍යාවගේ කැමැත්ත අහලා මිතුරකු ආතේ ප‚විඩයක් යැව්වාම ලැබිලා තියෙන පිළිතුර ඒ වෙනකොටත් පෙම්වතෙක් ඉන්නවා කියලයි. ඉතින් ඉලක්ෂ ඒ පෙමට බාධා නොකර සද්ද නැතිව ඉඳලා. මේ අතරේ ඉලක්ෂ උසස් පෙළ ලියන කාලයේ ඒ සිසුවිය මිතුරියක ලෙස ආශ්‍රය කළාලූ. ඇය නිතරම ඉලක්ෂගේ දුක සැප අහලා එස්.එම්.එස් කරලා. මෙහෙම ගිහින් එක දවසක් ඇගෙන් එස්.එම්.එස් අකක් ආවලූ ‘මම බඳිනවා‘ කියලා. ඉලක්ෂ පෙරලා අහලා තියෙනවා කාවද බඳින්න අර එදා කොල්ලෙක් එක්ක යාළුයි කිව්වේ, ඒ කොල්ලවද බඳීන්නේ?‘ කියලා. ‘නැහැ. එහෙම දෙයක් නැහැ. ගෙදරින් මට ප්‍රොපෝර්සල් එකක් ගෙනත් තියෙනවා. එයාවයි බඳින්නේ.‘ ඒ ඇගේ පිළිතුරයි. ‘එහෙනම් අර යාළුවෙලා ඉන්නවා කිව්ව කොල්ලා?‘ ඉලක්ෂට එය ලොකු ප්‍රශ්නයක්. ‘නෑ. මම ඔයාට කැමැත්තෙන් හිටියා. ඒ නිසයි මම නිතර කතා බහ කළේ. හැබැයි එය අන්තිමට ඔබට තේරුම් ගන්න බැරි වුණා.‘ ඇගේ පිළිතරත් සමඟ ඉලක්ෂට ලොකු කනගාටුවක් දැනිලා තියෙනවා. ඉලක්ෂ කාලයක් ඇය ගැන බලාගෙන ඉන්දි ඇයට එය නොතේරුණා වගේම ඇය ඉලක්ෂගේ යෝජනාවට කැමැත්තෙන් හිටියත් එය කියා ගන්න බැරි වෙලා. ඇය කොහේ හෝ හොඳින් ජීවත් වෙනවා ඇති කියලා ඉලක්ෂ විශ්වාස කරන නිසා තමයි අර මුලින්ම කියපු කවියේ අන්තිමට ‘මලක් පිපුනා දහස්පෙතියා – පෙත්ත ගානේ වර ඇතී.. , එකම පෙත්තයි අරන් ගියෙ ඈ – කොතන මුත් සතුටින් ඇතී..‘ කියලා ලියලා තියෙන්නේ.

ඉලක්ෂ පවුලේ අයට හරිම ආදරෙයි. ඔහු ඒ අදාරය ප්‍රකාශය කරන්නේ විවිධ ආකරවලින් කවි ලියලයි.

නිල් අහස කපාගත්තා
එක සමානව කොටස් තුනකට
එකක් අයියට
ඉතිරි දෙක අක්කල දෙන්නට

ඉර ගෙනත් පෝයදා උදයෙම
දණ නමන් වැන්දුවා අම්මට
මීට ටික කාලෙකට පෙර
සඳ අයිතිකරගත්තා ඇය

නෑයන් අසල්වැසියන් හෙම
තරු වලින් සැනසවිය හැක

නිහඬවම හිනාවෙන නෙත
සියල්ලම අතහැරපු ලෙස
ඉන්න හින්දා තාත්තා
හැමදාම අමතකව ගියෙ මට

ඉලක්ෂ අම්මා සහ තාත්තා ගැනත් ගොඩක් කවි ලියලා තියෙනවා. හැබැයි ඒ එක කවියක්වක් අම්මා තවමත් කියවලා නෑ. ඉලක්ෂ ඒ ගැන කිව්වේ මෙහෙමයි.

‘මගේ අම්මා ඉස්කෝලේ තුන වසරට යද්දි පෝලියා හැදිලා. ඉතින් අම්මාගේ ඉගෙනීම කඩාකප්පල් වෙලා. ඒ නිසා අම්මට අකුරු කියවන්න බැහැ. මම අම්මා ගැන ලියන කවි අම්මට කියවන්න බෑ. මම ගෙදරදි අම්මට ඇහෙන්න අම්මා ගැන ලියපු කවි කියනවා. මගේ කවි අහලා අම්මා ගොඩක් සතුටු වෙනවා. අම්මා විතරක් නෙමෙයි ගෙදර හැමෝම සතුටු වෙනවා. ‘

ඉලක්ෂගේ එකම හීනය ලියපු කවි එකතු කරලා කවි පොතක් කරන්න. ඒ හීනයට කළින් ඉලක්ෂ මියැදුනොත් මොකද කරන්න ඕනේ කියලා ඉලක්ෂ එයාගේ සොඳුරියට කවියකින්ම ලියලා තියෙනවා. ඔහු කියන්නේ සොඳුරියට ලියූ කවි ටික හැර ඉතිරි කවි ටික දින පොතෙන් සොයාගෙන ඒවා සොහොන මත තියන්න කියලයි. ඒත් එක්කම ඔහු කියනවා ‘අන්තිමට නුඹ එද්දි අම්මාට වඳින විට ජ් ඇයට ලියු කවියකුත් ඇහෙන්නට කියවන්න‘ අකුරු බැරි අම්මට ඇහන්න අම්මා ගැන ලිව්ව කවියක් කියවන්න කියලා ඉලක්ෂ ‘සොඳුරියට‘ කියනවා.

මම දිනක මියැදුනොත් කවි පොතක් නොම ලියා…
ඉරිතැලුණ ඩයරියෙන් කවි එකින් එක සොයා…
නුඹට ලියු කවි ටිකක් විතරක්ම එහි තියා…
ඉතිරි ටික සොහොන මත තියා යනවද ඔයා…

දම් පාට ලේන්සුව පොත් මේස ලාච්චුවෙ
එය අරන් නුඹෙ සුවඳ තිබේදැයි විමසන්න
උපන්දින තිළිණයට දුන්න තුන්පත් රෑන
එල්ලුවා බිත්තියේ එයත් ගලවාගන්න

ලියා වැරදුණු පේලි එක්ක මුහුවුණු දූලි
කොල කෑලි කාමරේ ටිකක් අස්කරලන්න
අන්තිමට නුඹ එද්දි අම්මාට වඳිනවිට
ඇයට ලියු කවියකුත් ඇහෙන්නට කියවන්න…

 

බීමතින් නිවසට පැමිණ මවට වදදෙන පියාව දහතුන් හැවිරිදි පුතු විසින් මන්නයකින් පහරදී ඝාතනය කරනු ලැබ ඇතැයි ද, එම වරදට බන්ධනාගාර ගත වී සිටින පුතු බැලීමට මව ගිය අවස්ථාවේදී ඇය නිසා සිරගත වීමට සිදුවූ බව සහ නිදහස් වූ විගස ඇය මරා දමන බවට පුතු උමතුවෙන් මෙන් කෑ ගසා ඇති බව ද, ඊට ටික කලකට පසු එම මව වස පානය කර දිවි තොරකරගෙන ඇති බව ද 2016 ජනවාරි මාසයේදී ඉරිදා ලංකාදීපයේ ගිය කතාවක් දැකපු ඉලක්ෂට එම සිදුවීමෙදි අම්මා කියන්නට ඇතැයි කියලා හිතන කතාව කවියකට පෙරලූවා. මේ ඒ කවිය.

මමත් උඹගේ පියත් අතරේ – දිගට ගිය හිත් රිදුම් තිබුණා..
එක ගහේ අතු වුණත් හුළඟක් – ආව විට පොර බදා ගැටුණා..
දවස තිස්සේ උඹලගේ බර – – පියා කර මත තියා උන්නා..
හවස මල් පැණි මතින් ඒ බර – මටත් දෙන බව හොඳින් පෙනුනා..

පුතේ අහපන් ඕන ගෙදරක – පිටට නොපෙනෙන ගිනිත් නැගුනා..
අපේ ගෙදරත් ගින්න නැගුනම – ටිකක් වැඩියෙන් පිදුරු වැටුණා..
උඹව ජාතක කරපු ලේ උඹෙ – මන්න පහරින් එදා මැරුණා..
ඇඳේ මෙට්ටය නොමැති පැදුරත් -උඹට දෙස් තියනවා ඇහුනා..

අටේ පංතියෙ උඹට අමතක – එකේ පංතියෙ මතක මැවුනා..
ඒ අතර පියතුමා කර මත – පාසලට ගිය දවස් තිබුණා..
අජාසත් පුතු උනත් උඹගේ – නමට නෙතගේ කඳුලු ඉනුනා..
පියාපත් අහිමිව ගියපු දුර -පුතේ අම්මට හොඳට දැනුනා..

හිරේ උන් උඹ දුරින් මා දැක – කියපු දේවල් පුතේ ඇහුනා..
හිතේ කහටින් නොවේ ගෙන ආ -බත් මුලත් ගිලිහිලා වැටුණා..
උඹෙන් පළිගන්නමයි ඕනා – උඹ නිසා මම හිරේ වැටුණා..
කියා අම්මට කියන්නට බත් – කවපු දෙතොලට වචන තිබුණා..

පියාගෙන් උරුමයක් විදියට – ලැබුන කරුමය දිනෙක ගෙවෙනා..
මාත් මැරුවොත් උඹට යන්නට – වෙනම නිරයක් තිබෙයි හැදෙනා..
උඹට දෙන්නට නොහැක තව පව් – මටම ඒ ටික ගන්න හිතුනා..
දිනෙක හැම පව් ගෙවී නැවතත් – උඹව මට හිමිවෙන්න පැතුවා..

මේ භවේ ලෙඩ වලින් සුවයක් – කුඹුරු ඛෙහෙතින් මැවී පෙනුනා..
නිවන් දකිනට කලින් නුඹ දැක – ඇත්ත පහදා දෙන්න හිතුනා..
තමා පණ උව නසාගත්තත් – එයත් දරුණුම වැරැද්දක්..
නමුත් දන්නව නිරේදිත් මට – ලැඛෙනවා ලොකු තෑග්ගක්..

මමත් පුතු මෙන් නසා ඇත්තේ – – එකම එක දිවි කතාවක්..
ඉතින් දෙන්නම එකට නිරයෙන් – එවයි එය වාසනාවක්..
එවිට පුතු වෙත ලබා දීලා – හරි වැරදි දේශනාවක්..
පියතුමා හට දහස් වර වැඳ – අරන් දෙනවා සමාවක්..

බොහෝ සිදුවීම් ගැන කවි ලියපු ඉලක්ෂ ජයවර්ධන එයාගේ ප්‍රේම කතාවේ ඇත්ත සිදුවීම් දාමයේ සමස්ත විස්තරය ගැන කෙළින්ම කියවෙන කවියක් නොලිව්වේ ඇයි කියලා ඇහුවාම ඔහු දුන්නේ අපූරු උත්තරයක්.

‘එයා කොහේ හරි හොඳින් ඉන්නවටයි මම කැමති. එයාගේ මහත්තයා දැක්කොත් එයාගේ පවුල් ප්‍රශ්නයක් වෙයිනේ. දරුවෙකුත් ඉන්න පවුලක් දැන්. ඒ පවුල හොඳින් ඉන්න ඕනා. පොඩි හරි ප්‍රශ්නයක් වුණොත් කියලා බයක් තියෙනවා. කියනවානේ ඔය හිතේ තියෙන ගැඹුරුම දේවල් ලියවෙන්නේ නෑ කියලා. සෞම්‍ය සඳරුවන් ලියනගේ අයියා මෙහෙම කවියක් ලියනවානේ. ‘ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක රකිමි… එනමුදු නොලියමි… දරා විඳගමි… දැවී මිය යමි… ලියා පිටමං නොකරමි…‘ ඒ නිසා ලියලා පිටකරන්නේ නෑ. පිට කළාට පස්සේ පිටවෙලාම යනවානේ. එහෙම නැතිව තියාගෙනම ඉන්නවා.‘‘

කුඩා කාලයේ මුහුණ දුන්නු අත්දැකීමක් පාදක කරගෙන ඉලක්ෂ ‘තාත්තා කෙනකුගේ මතකයක්‘ කියලා කවි පන්තියක් ලිව්වා.

ගස් වැල් මලින් බර සුන්දර මැටි පාර…
එක් පැත්තකින් ගලනා දොළ මනහාර…
කොල්ලන් කුරුට්ටන් එක්වන දඟකාර…
ගම මැද තිඛෙයි මිටියාවත් සරුසාර…

 

‘මම පොඩි කාලේ ඒ කියන්නේ මම තුන වසරෙදි හතර වසරෙදි වගේ සෙල්ලම් කරන්න පිට්ටනියකට යනවා. ඒක මැටි පාරක්. ලස්සන පැත්තක්. දවසක් යද්දි සීයා කෙනෙක් ගෙනත් දාලා හිටියා. සීයා කිව්වා පුතා ගෙනත් දාලා වැඩකට ගියා හවස එයි කියලා. සීයා කාලත් නෙමෙයි හිටියේ. ඉතින් අපි යාලූවෙකුගේ ගෙදරින් කෑම ගෙනත් සීයට කන්න දුන්නා. පහුවදා එද්දිත් සීයා හිටියා. පුතා සීයා අරං ගිහින් නෑ. අපි සීයව නාවලා සාත්තු කළා. ඔහොම ටික දවසක් ගිහින් සීයා මැරිලා හිටියා. ගමේ අය එකතු වෙලා සීයාගේ අවසන් කටයුතු කළා. ඉතින් මේක මගේ හිතට කාවැදිලා තිබ්බා. ඊට බොහෝ කාලයකට පස්සේ තමයි ඒ සිද්ධිය කවියක් විදියට ලියැවුණේ.‘ ඒ ගැන ඉලක්ෂ ලිව්ව දීර්ඝ කවි පන්තිය ඉවර කරන්නේ මෙහෙමයි.

සීයගෙ මළගමට සිටියේ හතර දෙනයි…
පෙට්ටිය ලෑලි හයකුයි ඇණ විසි හතරයි…
එනමුත් අනේ ඒ සීයා හරිම හොඳයි…
සිහිනෙන් ඇවිත් කියනා කවි හරිම අගෙයි…

මැටි පාරවල් නැහැ දැන් කාපට් දමලා…
සෙල්ලම් කරපු පිටියත් දැන් වල් වැදිලා…
එනමුත් මිහිරි මතකය මට තුරුලු වෙලා…
අඬමින් සිනාසෙයි එකවිට හැඟුම් ගලා…

ෆේස්බුක් ගැන හැමෝම බනිද්දි ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ෆේස්බුක් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න ඉලක්ෂ තරුණ තරුණියන්ට දෙන්නේ මෙහෙම උපදේශයක්.

‘අපේ අය හැමදේම නරක පැත්තට ගත්තේ. මට මතකයි ඉස්සර අපේ අයියා කියනවා සුද්දො බයිසිකල් ලංකාවට එවපු කාලේ ලංකාවේ සමහරු කිව්වේ ලංකාවේ අය මරන්න එව්වා කියලලූ. නමුත් ටික කාලයක් යද්දි මිනිස්සු ඒකෙන් ප්‍රයෝජන ගත්තානේ. ෆේස්බුක් එකත් ඒවගේ තමයි. බොහෝ දෙනෙක් වැරදි තැනින් අල්ලා ගන්නේ. අපි ඩේටා දාගන්න සල්ලි යනවානේ. අපි සල්ලි කපාගෙන ෆේස්බුක් යන්නේ. ඉතින් අපි දැන ගන්න ඕනෑ එයින් ප්‍රයෝජන ගන්න. මම ගොඩයෙක්නේ. මට කොළඹ තියෙන පොත් එළිදැක්වීම්වලට යන්න හම්ඛෙන්නේ නෑ. නමුත් කවි ලියන සමහර ජ්‍යෙෂ්ඨයෝ ෆේස්බුක් එකේ මගේ කවි දැකලා මාව අගය කරලා තියෙනවා. ඒක මට ලොකු සතුටක්. ඉතින් ෆෙස්බුක් කියන්නේ හරියට පාවිච්චි කළොත් හොඳ මාධ්‍යයක්.‘

තමන්ගේ දරු තිදෙනා එල්ලලා පියත් ගෙලවැලලාගත් කතාවක් පසුගිය දවසක මාතරින් වාර්තා වුණා. ඒ සිදුවීම ඉලක්ෂ දැක්කේ මෙහෙමයි.

අනේ දෙවියනි දිවැස් නැතුවද – අපගෙනුත් පිං අරගත්තූ..
වනේ වන හතුරෙකුටවත් දුක් – එපා හදවත වෙයි පත්තූ..
මහමෙරක් බර දරන් ඉන්නට – තරම් හැකි මේ දළ ඇත්තූ..
නිකරුනේ මියදෙනව අයියෝ – නසාගන කිරිකැටි පුත්තූ..

සතර වරිගෙම එතෙර කරනට – මහණදම් පිරු පුතුද ගෙන..
එලොව යන්නට සිතෙනවානම් – දුකක් ඇති හද මැරුණ සම..
එහෙත් සිවුරක් දමපු සිරුරට – තබන්නටනම් අතක් නුඹ..
සසරෙ කොතනක හෝ අසන්නැති — දේවදත් තෙරගෙනුත් බණ..

හොඳ අදහස් තියෙන, හොඳ හදවතක් තියෙන මේ උප පොලිස් පරීක්ෂකවරයා ගැන සටහනේ අවසානය තබන්නේ ඔහු ලියූ කවියකින්මයි. මේ සමාජයේ බොහෝ දෙනකු කතා නොකරන පැතිකඩක් ගැන ඉලක්ෂ කවියෙන් කළ අනාවරණයක්.

සිදුරු ඇති තැන් වලට ඉටිකොල – ලෑලි ගෙදරට තියෙන හින්දා..
අයාලේ යන සුළඟ ඉස්සර – කිසිත් නොඅසා මුහුණ සිම්බා..
කොඳුර කොඳුරා දුක අහන්නට – කියා දවසක් දෙකක් වැස්සා..
සඳ එළිය විතරක් නොවෙයි – හිරිකඩත් වහලින් බිමට බැස්සා..

ගතේ දහඩිය මුදල් කරලම – ලෙඩ ඇඳේ උන් අපේ අම්මා..
ඇගේ සතුටට කනේ සිදුරද – වසා තෝඩුත් උගස් තිව්වා..
නැතේ දෙවියන් දුක අහන්නට – හංදියේ බෝ ගහත් කිව්වා..
ඉතින් එතනම තියා පතිවත – පැයක ගානට ඇඟත් වික්කා..

කළු කුමාරයො ඕන තරමක් – නංගියේ මේ අක්ක දැක්කා..
උන්ව නොදකින ලොවක් නුඹහට – හදා ඈතට යනව අක්කා..

උපුටා ගැනීම – සතිඅන්ත පුවත්පතකින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!