Gossip

මැද පෙරදිගින් මතුවුණු අලුත් හිට්ලර් මෙන්න

සවුදි අරාබියේ නව ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්, මෑත කාලීනව ජාත්‍යන්තර පුවත් අඩවිවල නිරන්තරව කතා බහට ලක්‌වුණු අයෙකි. දින කිහිපයකට පෙරාතුව ඔහු එක්‌තරා පුවත් වෙබ් අඩවියට කරන ලද ප්‍රකාශයක්‌ හේතුවෙන් ඔහු නැවතත් මාධ්‍ය තුළ කතා බහට ලක්‌වී ඇත. ඒ ඔහු විසින් පසුගියදා Newyork Times පුවත් සේවයට අදහස්‌ දක්‌වමින් කළ ප්‍රකාශයක්‌ හේතුවෙනි.

‘ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායක අයතුල්ලා අලි කාමේනි මැදපෙරදිග කලාපයේ නව හිට්‌ලර් වන බව ඔහු එම පුවත් අඩවියට ප්‍රකාශ කළේය. ‘ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායක අයතුල්ලා අලි කාමේනි තමයි මැදපෙරදිග කලාපයේ අලුත් හිට්‌ලර් මොහොමඩ් බින් සල්මාන් එහිදී පැවසුවේය. ඒ ආකාරයේ සංහිඳියාවක්‌ සාර්ථක නොවන බව අපි යුරෝපයෙන් ඉගෙන ගත්තා. යුරෝපයේදී සිදුවුණු දේ මේ අලුත් හිට්‌ලර් විසින් මැදපෙරදිගට සිදු කරනවා බලන්නට අපිට උවමනා නෑ.

මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ මේ ප්‍රකාශය නිසා සවුදි අරාබියත් ඉරානයත් අතර සියුම් සිත් බිඳීමක්‌ද අප්‍රසාදයක්‌ද වර්ධනය වී ඇතැයි කියවෙයි.

පසුගිය සතියේ කයිරෝවේදී පැවැත්වුණු අරාබි ලීගයේ හමුවක්‌ අතරතුරදී -ඉරානයේ කවරාකාර හෝ ආක්‍රමණික ක්‍රියාවකදී තම රාජ්‍යය අකර්මන්‍යව බලා නොසිටින බව සවුදි අරාබිය අනතුරු හැඟවූයේය.

පසුගිය මාසයේ මුල් භාගය තුළදී දූෂණ විරෝධී කටයුතු සඳහා යෑයි කියමින් මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ගේ මෙහෙයවීම පරිදි සවුදි කුමාරවරුන් හා සවුදි රජයේ වර්තමාන හා හිටපු ඇමැතිවරුන් ගණනාවක්‌ අත්අඩංගුවට ගනු ලැබිණ. නිව්යෝක්‌ ටයිම්ස්‌ ලිපියට කරුණු දක්‌වමින් මොහොමඩ් බින් සල්මාන් කුමරු කියා සිටියේ මේ දූෂණ විරෝධයට සහය දෙන්නට රජ පවුලේ බහුතරයක්‌ තමාගේ පැත්තෙහි සිටින බවයි. රියාද්හි ආණ්‌ඩුකාර තනතුරේ සේවය කළ දශක පනහක කාලසීමාව තුළදී තම පියා කිසි විටෙකත් දූෂණ චෝදනාවලට ලක්‌ වී නැති බවත්, 2015 වසරේදී ඔහු රජු බවට පත් වන විට මේ රටේ දූෂණයට වංචාවට නැවතීමේ තිත තියන්නට ප්‍රතිඥා දුන් බවත් මොහොමඩ් බින් සල්මාන් කුමරු තම පියා ගැන අදහස්‌ දක්‌වමින් පවසා සිටියේය.

‘දූෂණ චෝදනාවලට ලක්‌ වූ හැම කුමාරයෙකුටම, හෝ හැම බිලියනපතියකුටම තෝරා ගන්නට මාර්ග දෙකක්‌ තියනවා.

‘අප ඔවුන්ට සියලු ලිපි ගොනු කියවන්නට සලස්‌වනවා. ඔවුන්ට එකඟතාවයකට පැමිණිය හැකියි. මුදල් මගින් හෝ ඔවුන්ගේ ව්‍යාපාර කොටස්‌ මගින් සවුදි රජයේ භාණ්‌ඩාගාරයට දූෂණයේ වන්දිය ගෙවිය හැකියි. මෙසේ ගෙවන්නට සිදුවන වන්දි මුදල ඩොලර් බිලියන 100ක්‌ පමණ වෙයි. තමන් නිර්දෝෂී බවට ඔප්පු කරන්නට හැකි කෙනෙක්‌ වෙතොත් ඔහුට එරෙහි නඩු විභාගය එපමණකින්ම නවත්වනවා. මොහොමඩ් බින් සල්මාන් කුමරු කියයි. අතීතයේදී මධ්‍යස්‌ථ නිදහස්‌ පාලනයක්‌ පිළිබඳව කියෑවුණු කාලයට සමපාත වන ලෙස අන්තගාමී නොවන ඉස්‌ලාමයක්‌ සවුදි අරාබියේ නැවත පිහිටුවන බව මොහොමඩ් බින් සල්මාන් කුමරු පසුගිය මාසයේදී ප්‍රකාශ කළේය.

‘අපි ඉස්‌ලාමය යළි අර්ථ නිරූපණය කරනවා කියලා ලියන්න එපා. අපි සැබෑ ඉස්‌ලාමය නැවත පිහිටුවන බව ලියන්න. 1979 ට පෙර සවුදි අරාබියේ වැසියන්ගේ එදිනෙදා ජීවිතයේ වැදගත්ම මෙවලම් වුණේ මොහොම්මද් නබි තුමාගේ ඉගැන්වීම්.

‘මොහොම්මද් නබි තුමාගේ කාලයේදී සංගීත රංග ශාලා තිබුණා. ගැහැණු පිරිමි භේදයක්‌ නැතිව කවුරුත් එකට වැඩ කළා. ආශ්‍රය කළා. අරාබිය තුළ ක්‍රිස්‌තියානුන්ට හා යුදෙව්වන්ට පවා ගෞරවයෙන් සැලකුවා. මදීනාවේ පළමු වාණිජ විනිසුරුවරිය කාන්තාවක්‌. මොහොම්මද් නබි තුමා මේ සියල්ල අනුමත කළා. එහෙම නම් ඔහු මුස්‌ලිම් ජාතිකයෙක්‌ නෙවෙයිද? මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි. විචාරකයින් නම් පවසනුයේ සවුදි අරාබි රාජධානියේ ක්‍රමයෙන් වැඩි වෙන තරුණ ජනගහනය කෙරේ තම ග්‍රහණය හා බලය පැතිරවීමේ අරමුණින් අනාගත ඔටුන්න හිමි කුමරු මෙවැනි පියවර ගන්නා බවයි. ජනගහනයෙන් හරි අඩක්‌ අවුරුදු 25ට අඩු ජනතාව සිටින රටක රජ බවට පත් වෙන්නට වරම් ලබන ප්‍රථම පාලකයා වීමේ වරම දැනට 32 හැවිරිදි මොහොමඩ් බින් සල්මාන් කුමරුට හිමි වෙනු ඇති බව කියවෙයි. එසේම දැනට 81 හැවිරිදි පිය රජු විසින් සාම්ප්‍රදායික ක්‍රම අනුකූලව බලය පවරන්නට පෙරම මොහොමඩ් බින් සල්මාන් කුමරු බලයට පත් වනු ඇතැයිද ඇතැමුන් පවසති

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!