Gossip

හිනිදුම පොලිසිය මඟුල් සක්වලක් වෙයි – ජෝඩු 40 ක් කසාද බන්දපු හැටි – Photos

හිනිදුම ‍පොලිස් ස්ථානයේ ඉදිරිපස අංගණයක විවිධ වර්ණ මඩු කූඩාරම්වලින්ද ස්වර්ණ වර්ණ ඇතිරිලි යෙදූ මේස පුටු මල්‍පොකුරු ආදියෙන්ද අලංකෘතව තිබිණ.
සිනාවෙන් මුහුණ හැඩකරගත් ‍පොලිස් නිලධාරීන්ද නිලධාරිනියන්ද කඩිසර ලෙස විවිධ කටයුතුවල නිරත වනු දක්නට ලැබිණ.
ප්‍රදේශයේ විහාරාධිපති නාහිමිවරුන්, ප්‍රභූන්, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් හා ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් ආදීන් වරින්වර පැමිණ අසුන් ගන්නට විය. ‍පොලීසියේ ලොකු ඇත්තා ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අජිත් කුමාර පිටිගල ඔවුන් අසලටම ගොස් මහත් සුහදත්වයෙන් ඔවුන් පිළිගන්නා අයුරු දක්නට ලැබිණ.
බැලූ බැල්මට දැකිය හැකි අහිංසක බවක් මුහුණුවල ලියැවුණු විවිධ වයස් පරාසවල වූ තවත් පිරිසක ඔවුන්ට හැකි ඉහළම මට්ටමින් සැරසී තවත් මණ්ඩපයක අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි. ඔවුහු ‍පොලීසියේ ඇරයුම අනුව පැමිණි විවාහ අපේක්ෂිතයෝ වූහ. වෙනදාට අවනඩු අසන රණ්ඩු සරුවල් බේරන ‍පොලිස් ස්ථාන භූමියේවන මේ පෙරළිය විමතියෙන් නරඹමින් සිටි අප වෙත පැමිණි ‍පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකිරීමට යන කාරිය අපට පැහැදිලි කරන්නට වූවේය.
මේ ප්‍රදේශයේ ගම්මානවල විශේෂයෙන් වතු ආශ්‍රිතව නීත්‍යනුකූලව විවාහ නොවී දරුමල්ලන් හදාවඩා ගෙන එකට ජීවත් වන අහිංසක පවුල් විශාල ප්‍රමාණයක් ඉන්න බව අපේ ප්‍රජා ‍පොලිස් ඒකකය සමීක්ෂණය කර තිබුණා. අපි නිදහස් දිනයේ මේ පවුල් නීත්‍යනුකූලව විවාහ කොට ආරක්ෂිත පවුල් බවට පත් කිරීමට තීරණය කළා.
මේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ ‍පොලිස් ප්‍රජා ඒකකයේ ස්ථානාධිපති සැරයන් ඩොනල්ඩ්. අපි මේ ගැන සාකච්ඡා කර හිනිදුම සහකාර ‍පොලිස් අධිකාරී ගාමිණි ඉහළවෙලටත් දිස්ත්‍රික්කය භාර ‍පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මනටත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාටත් දන්වා අවසර ගත්තා. මා දන්නා තරමින් මේ වගේ උත්සවයක් ශ්‍රී ලංකා ‍පොලිස් ඉතිහාසයේදී කිසිම ‍පොලීසියක කරලා නැහැ. මෙතැන පවුල් 20ක් පමණ ඉන්නවා.” ‍පොලිස් ස්ථානාධිපතිවරයා අපට කරුණු පැහැදිලි කළේ එසේය.
තවලම බටහේන ධර්ම ගවේෂී ධර්ම නිකේතනාරාමාධිපති ගාලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාවනානේ නන්දසාර, වාද්දුව කුමාරදුව ප්‍රියදර්ශනාරාමාධිපති පැල්‍පොල රාහුල නාහිමිවරුද මේ අවස්ථාවට වැඩම කොට සිටියහ. හිනිදුම කොට්ඨාස භාර සහකාර ‍පොලිස් අධිකාරී ගාමිණී ඉහලවෙල, මංගලෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. තවලම ප්‍රාදේශීය ‍ලේකම් ධම්මික වීරකෝන්ද, ඔහුගේ ඇරයුම පරිදි එහි පැමිණි කොට්ඨාසයේ විවාහ ‍ලේකම්වරුන් වන ඩී.එම්. වික්‍රමතුංග, ප්‍රසන්න රණසිංහ හා අජිත් ලියනගේද එහි සිටියේ තුටු මුහුණිනි. තවලම ප්‍රාදේශීය සභා සභාපති වෛද්‍ය බන්දුල විජේසේකර, විපක්ෂ නායක සරත්චන්ද්‍ර ගමගේ ප්‍රමුඛ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, හිනිදුම දිසා රෝහ‍ලේ වෛද්‍ය නිරිඇල්ල ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් මංගල මණ්ඩපයට රැස්ව සිටි අතර සුබ හෝරාවට අනුව අලංකාර සේරී වාදන සහ නර්තන කණ්ඩායම්වලින් සමලංකෘත පෙරහරකින් යුවතිපතීන් කැඳවා ගෙන එනු ලැබිය.
මෙසේ විවාහාපේක්ෂිතයන් 40කගේ පමණ විවාහ ලියාපදිංචි කිරීම ඇරඹුණේ රැස්ව සිටි සියල්ලන්ගේ සුබසිනහා අතරය.
විවාහ වීමට පැමිණි අය අතර විවිධ වයස්වල අය වූ අතර සමහර මනාල යුවළ වයස 60 ඉක්මවූ අය වීමද විශේෂිතයක් විය. ඔවුන් සමග ඔවුන්ගේ දරුවන් පමණක් නොව මුනුබුරු, මිනිබිරියෝද පැමිණ සිටියහ.
නීතියෙන් විවාහ නොවුණත් අපි අවුරුදු 35ක් විතර හොඳින් සතුටින් ජීවත් වුණා.
නමුත් විවාහ නොවී සිටීම නිසා විවිධ ගැටලු මතුවුණා. සමහර අවස්ථාවල කරන්න දෙයක් නැතිව බලන් හිටියා. සමහර අවස්ථාවල අපවාද පවා එල්ල වුණා.
ඒ නිසා ‍පොලීසියේ මහත්වරු අපට කළ මේ උපකාරයේ වටිනාකම කියා නිමකරන්න බැහැ. අපි එතුමන්ලාට පින් දෙනවා 65 හැවිරිදි එස්.ඒ. චන්ද්‍රදාස සහ ඩී.එම්. සුනීතා (58) යුවළ පැවැසුවේ තුටු කඳුළු පිසිමිනි. ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනකු සහ දුවක සිටී. දුව වැඩිමල්ය. වයස 32කි. ඈටද දරු දෙදෙනෙකි. ඊළඟ පුතා තිස්හැවිරිදිය. දරු තිදෙනකුගේ පියෙකි. සෙල්ලයියා නල්ලසාමි (59) සහ ගොඩහේනගේ මාලිනි (58) යුවළට දරු පස්දෙනෙකි. මුනුබුරු මිනිබිරියන් 06 දෙනෙකි. අනිකුත් සියල්ලන්ම පාහේ දරුවන් සිටින මවුවරුන්ය. අප සමග කතා කළ බොහෝ දෙනා කීවේ මේ කටයුත්ත තමන්ගේ ජීවිතවල ඉදිරි ගමනට මහත් අස්වැසිල්ලක් වූ බව
විවාහ ලියාපදිංචිය අවසන් කරන යුවතිපතීන් බෙර වාදනය හා නර්තන කණ්ඩායමේ ස්තෝත්‍ර මැද ‍පොලීසියේ දොරටුව අබියසට කැඳවාගෙන එනු ලැබිණි.
එහිදී කුමර කුමරියෝ කණ්ඩායමක් ජයමංගල ගාථා සජ්ක්ධායනා කළෝය. ඉන් අනතුරුව නව යුවතිපතීන් කැඳවාගෙන යනු ලැබුවේ ‍පොලිස් නිලදරුවන් විසින් සැකසුණු කිරිබත්, කැවුම්, කොකිස් ඇතුළු විවිධ කෑම වර්ගවලින් පිරුණු තේ මේසය වෙතය. එහිදී ඔවුන් පිළිගැනීමට සූදානමින් සිටියේ සහකාර ‍පොලිස් අධිකාරී ගාමිණි ඉහලවෙල, ප්‍රාදේශීය ‍ලේකම් ධම්මික වීරකෝන්, ප්‍රාදේශීය සභා සභාපති බන්දුල විජේසේකර, විපක්ෂ නායක සරත්චන්ද්‍ර ගමගේ ඇතුළු ප්‍රභූ පිරිසකි.
ඉක්බිති ඔවුහු කිරිබත් බෙදා යුවතිපතීන්ට පිළිගන්වා සියල්ලෝම අහරින් සප්පායම් වූහ.
අද නිදහස් දවසේ අපි සියලුදෙනා එකතුවී වටිනා මහජන සත්කාරයක් කළා කියන සතුට මටත්, මගේ සහෝදර නිලධාරීන්ටත් මහා ඉහළින් දැනෙනවා. අනාරක්ෂිත පවුල්, කාන්තාවන්, දරුවන් රාශියක් අද නීතිමය රක්ෂාවරණයක් ලැබුවා. සිංහල, දමිළ භේදයකින් තොරව නව යුවළ සේම අපි ඔක්කෝම එක මේසේ ආහාර රසවින්දා.
වෙහෙස මහන්සි වී වියදම් කොට මේ සත්කාරයට දායක වූ මගේ නිලධාරීන්ටත් අතහිත දුන් ඔබ සැමටත් මගේ ස්තූතිය ගෞරවය පිරිනමනවා
හිනිදුම ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අජිත් කුමාර පිටිගල මංගල සභාවට සමුදුන්නේ එසේ කියමිනි.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!