Gossip

හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම භාරගන්න වැඩේට මොකද මේ වෙන්න යන්නේ..? අවාසනාවන්ත ඉරණමක්ද..?

බංග්ලාදේශය සමග තිබෙන කොන්ත්‍රාත්තුවෙන් මිදීම සඳහා චන්දික හතුරුසිංහ ට ජනවාරි මාසය දක්වා බලා සිටීමට සිදුවනු ඇත.
2019 ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කර සිටි හතුරුසිංහ, තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔක්තෝබර් 15 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට බාර දුන්නේය. එහෙත් මණ්ඩලය හා හතුරුසිංහ අතර තිබෙන එකඟතාවට අනුව ඔහුට ජනවාරි 15 ට පෙර වෙනත් කණ්ඩායමක් බාර ගැනීමට නොහැක.

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට හතුරුසිංහ විසින් ගෙන තිබෙන තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටීමට තමන්ගේ කැමැත්තක් නැතත් දෙපාර්ශවය අතර තිබෙන එකඟත්වයට අනුව වෙන් වීමට කැමති බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
මේ අනුව, ජනවාරියේ එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට පෙර ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වීමේ හතුරුසිංහගේ සැලසුම් අසාර්ථක වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර ගැනීම සඳහා ඔහු සමග සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්දැයි යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා වෙත යවන ලද ලිපියෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ස්ථාවරය පැහැදිලි කරමින් එහි ප්‍රධාන විධායක නිසාමුඩින් චවුධුරි විසින් මේ ප්‍රකාශය කර තිබේ.
එකඟතාවට අනුව හතුරුසිංහ හා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය වෙන් වන්නේ නම්, ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගමාලාවට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස සිය රාජකාරිය ආරම්භ කිරීමට 49 හැවිරිදි හතුරුසිංහ ට නොහැකි වනු ඇත. තමන්ගේ සත්‍ය කොන්ත්‍රාත් කාලයට පෙර පුහුණුකරු සේවයෙන් ඉවත් වන්නේ නම්, එය මාස තුනකට කලින් ඔහු විසින් දැනුම් දිය යුතු බවට එකඟත්වයේ පැහැදිලිවම සටහන් කර තිබේ.

“තිලංග සුමතිපාල මහතා විසින් අපේ සභාපතිවරයාට එවූ ලිපියෙන් පසුව, එය දෙරටේ ක්‍රිකට් මණ්ඩල දෙක අතර කාරණයකි. මේ ගැන ඉක්මනින්ම විසඳුමක් ලැබේවි කියා අපි අපේක්ෂා කරනවා” යැයි නිසාමුඩින් පවසයි.
“අප සමග සිටීමට හතුරුසිංහට වුවමනාවක් නැති නිසාත්, ඔහු සමග සාකච්ඡා කිරීමට ඕනෑම කෙනෙකුට හැකි නිසාත්, එය පිළිගැනීම පැහැදිලිවම ඔහුගේ පෞද්ගලික කාරණයක් නිසාත්, මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට කල හැකි දේ බොහොම අඩුයි. මෙතැනදී අපි බලන්නේ අපේ එකඟත්වයට අනුව විසඳුමකට පැමිණීමට උත්සාහ කිරීමයි” ඔහු සඳහන් කරයි.

සිම්බාබ්වේ ද ඇතුළත් ජාත්‍යන්තර එක්දින තරගමාලාවකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 5 වැනිදා බංග්ලාදේශයට පැමිණීමට නියමිතය. ඉන්පසුව ශ්‍රී ලංකාව සත්කාරක බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හා විස්සයි20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!