Gossip

ජීවිතේ කඩාවැටුණු තැන්වලදී මට හිටියේ මම විතරයි – කවුරු නැතත් හැමදාම ළඟින් ඉන්නේ අම්මයි, තාත්තයි විතරයි – හර්ෂණ බෙත්මගේ

හර්ෂණ බෙත්මගේ කියන්නේ කලා ලෝකයේ වගේම තරුණ පරපුරේ ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගත්ත රංගන ශිල්පියෙක්. පසුගිය කාලේ හර්ෂණ ව්‍යාපාර කටයුත්තකට අත ගහපු නිසා රංගන ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා හිටියත්, ඔන්න මේ දිනවල හර්ෂණව නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබෙනවා. චරිත කිහිපයකින්ම ප්‍රේක්ෂකාගාරයට ගොඩවෙන හර්ෂණව අපිත් හිතුවා අපේ කතාබහට මෙවර එකතු කරගන්න.

ඉතින් කොහොමද? මේ දවස්වල බොහොම කාර්යබහුලයි වගේ?
මේ දවස්වල තවත් අලූත් නාට්‍යයකට සූදානම් වෙනවා. ඕවා තමයි ඉතින් මේ දවස්වල වැඩ.

කාලයක්ම වැඩ නොකර ඉඳපු හර්ෂණ මොකද එක පාරටම ආයෙම කලාවට බැස්සේ?
ඇත්තම කතාව නම් මගේ ව්‍යාපාර කටයුතු එක්ක කලා කටයුතුවලට දායකවෙන්න කාලය තිබුණේ නැහැ. දැන් ව්‍යාපාර කටයුතුවලින් පොඩ්ඩක් නිදහසක් ලැබුණා. ඒ නිසා කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වුණා.

දැන් කොහොමද ව්‍යාපාර කටයුතු?
ව්‍යාපාර පැත්තට එන්න මට ලොකු හීනයක් තිබුණා. දැන් මම ව්‍යාපාරයකුත් අලුතෙන් පටන් ගත්තා.

කාලෙකට පස්සේ පුංචි තිරයෙන් හර්ෂණව දකින්නේ, කොහොමද ප‍්‍රතිචාර?
කාලෙකින් නිර්මාණවලින් දැකපු නිසා ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

පසුගිය කාලේ හර්ෂණ ටෙලිනාට්‍ය පිළිබඳ බොහොම කලකිරීමකින් කතා කළා. දැන් එහෙම කලකිරීමක් නැද්ද?
ඇත්තටම මම ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය ගැන ගොඩක් කලකිරීමකින් හිටියේ. මොකද සමහර චරිතවලට නළුවගේ මුදල තීරණය කරන්නේ නිෂ්පාදකවරයා. නළුවට තැනක් නැහැ. ගොඩක් අධ්‍යක්ෂවරු නළුවෝ සොයන්නේ චරිතයට නෙමෙයි, එයාලට අවශ්‍ය දිනවලට. රංගන ශිල්පියාව තුට්ටු දෙකට දාන නිර්මාණවලට මම දායකවෙන්නේ නැහැ. ඔය මම කියන ප‍්‍රශ්න තියෙන ලාබෙට බාල වැඩකරන නිෂ්පාදකවරු කිහිපදෙනෙක් ඉන්නවා. අවුරුද්දක් විතර මම වැඩ කළේ නැහැ. මට හෙට වැඩ නැති වුණත් මම කතා කරන්න බය නැහැ. මම කතා කරන්නේ ස්වාධීනව.

දැන් දිගටම නිර්මාණවලට දායකවෙනවද?
ඔව්. දැන් දිගටම නිර්මාණවලට දායකවෙනවා. මම දැන් මගේ ස්ථාවරය හදාගෙන ඉවරයි. මම නළුකමෙන් හම්බකරගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මට මගේ රංගන ජීවිතේ පැත්තෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්.

ජීවිතේ අරගත්ත සමහර තීරණ ගැන හර්ෂණ පසුතැවෙනවද?
මගේ ජීවිතේ තීරණ සියල්ලම ගත්තේ මම විසින්මයි. වැරැදි තීරණ මම අරගෙන තියෙනවා. ඒත් ඒ වැරැදි තීරණ දිහා බලලා දුක්වෙලා, පසුතැවිලි වෙලා දැන් තේරුමක් නැහැ. ජීවිතේ ඕනෑ තරම් මිනිස්සුන්ට වැරදෙනවා.

කලකිරීමකින්ද කතා කරන්නේ?
කිසිම කලකිරීමක් නැහැ. මට දැන් මගේ අතීතයෙන් වැඩක් නැහැ. මට වැදගත් අනාගත සහ වර්තමානයේ මම කරන දේවල් විතරයි. මම ජීවිතේ කඩාවැටුණු තැන්වලදී මට හිටියේ මම විතරයි. මම දාගන්න ප‍්‍රශ්නවලට උත්තර හොයන්නත් ඕන මමමයි. කලාව නිසා ගොඩක් දේවල් මට ලැබුණා. ලැබීම නොලැබීම කියන්නේ අපේ දෛවයේ කොටසක්. ජීවිතේ කවුරු නැතත් හැමදාම ළඟින් ඉන්නේ අම්මයි, තාත්තයි විතරයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!