Gossip

මධුසමය දා පරණ සෙල්ලම් පටන් අරන්… හොඳටම බීලා රේස් පැදලා හමුදාවටත් ගහලා

අමිල අම්පාර ප‍්‍රදේශයේ උහන ග‍්‍රාමයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 27 කි. පෞද්ගලික ආයතනයක රැකියාවක් කළ ඔහු වසර කිහිපයක සිට තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධතාවක් ඇතිකර ගත්තේය. ඇය නමින් චතුරිකා ය.

දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාද මත පසුගිය දිනක ඔවුහු යුග දිවියට ඇතුළත් වූහ. එම විවාහ උත්සවයේ දෙවෙනි දවස එනම් මනාලිය නිවසට කැන්දාගෙන එන දිනය යෙදී තිබුණේ පසුගිය දොළොස් වැනිදාය.

එදින අමිලගේ පාර්ශ්වයේ අය එම උත්සවය පෞද්ගලික හෝටලයක් තුළ ජයටම සංවිධානය කර තිබුණහ. පැමිණ සිටි පිරිස කා බී විනෝද වූහ. ඒ අතර මනාලයා ද තම මිතුරන් සමඟ මත්පැන් පානය කළේය. මනාලිය කොතරම් එපා කිව්වත් ඔහු එය
ගණන් නොගෙන පදම ඉක්මවන තුරු මත්පැන් පානය කළේය. අවසානයේ ඔහු හැසිරුනේ ජෝකර් කෙනෙකු ලෙසින්ය.

එම උත්සවයට පැමිණි මනාලියගේ පාර්ශ්වයේ සමහරු හොර රහසින් පැවසුවේ ‘‘මොහු නං හොඳ බේබද්දෙක් බවයි.”

එය කෙසේ වෙතත් නියමිත වෙලාවට විවාහ උත්සවයේ කටයුතු අවසන් විය. ඉන්පසු මනමාලයා හතර ගාතින් මනාලියව නිවසට කැන්දාගෙන ආවේය. ඒ සමඟම ඔහුගේ මිතුරන් කිහිපදෙනකු ද එම නිවසට පැමිණියහ.

මනමාලයාගේ නිවසට පැමිණි පිරිසෙන් කිහිපදෙනෙක් යළි මත්පැන් පානය කිරීමට පටන් ගත්හ. ඒ අතර මනමාලයාගේ හොඳම යහළුවන් සිව් දෙනාද සිටියේය.

වෙරි මතින් මනාලිය සමඟ නිවසේ කාමරයට ගිය මනමාලයා දිනය පුරා ඇඳ සිටි තම ඇඳුම් උණා දැමුවේය. එලෙස ඇඳුම් උනා දමා මනාලියට මෙසේ පැවසුවේය.

‘‘බබා අද මට ගොඩාක් සතුටු දවසක්. ඒක නිසා මම සතුටට ඇතිවෙන්න බොනවා. ඔයා මට මොකුත් කියන්න එපා. දන්නවනේ ඉතින් මගේ හැටි.”

‘‘ඔයා දැන් හොඳටම බීලා ඉන්නේ. ඔය ඇති බිව්වා. අද මම ගෙදරට ආපු පළවෙනි දවස. ඉතින් පොඞ්ඩක් මාත් එක්ක ඉන්න.”

‘‘ඔයා බයවෙන්න එපා. මේක දැන් ඔයාගේ ගෙදර. කවුරුත් මොනවත් කියන්නේ නැහැ ඔයාට. මගේ හොඳම යාළුවො ටික එළියේ බොනවා සතුටට. මමත් ඉතින් පොඞ්ඩක් ඒගොල්ලොත් එක්ක සෙට් වෙලා එන්නම්. ඔයා එතකන් අපේ අම්මලත් එක්ක කතා කර කර ඉන්න.”

‘‘අනේ මන්දා ඔයාව නං හදන්න බෑ. අඩුම තරමේ යන තැනක වොෂ් එකක් දාගෙන යන්න.”

‘‘හරි මගේ දෙයියෝ. අන්න එහෙම එන්න. හැමදාම නෑහැනේ.”

ඒ අනුව මනමාලයා නාන කාමරයට ගොස් ඇඟ පත සෝදා තම නිවසේ මත්පැන් පානය කරමින් සිටි මිතුරන් සමඟ එකතු විය. එකතු වී යළි මත්පැන් පානය කළේය. එලෙස පැය කිහිපයක් ගතවෙද්දී සියලූ දෙනාම සිටියේ අධික බමන මතිනන්ය.

අවසානයේ කරන්නේ කුමක්ද කියන්නේ කුමක්ද කියා ඔවුනට නොතේරුණි‘ තාලයෙන් පිට ගීත ගයමින්” කඳ මැදින් කැපුණු බඩ පණුවන් මෙන් දඟලමින් විවිධ දෑ ඔහු සිදුකළහ. මනාලියද කර කියා ගන්නට දෙයක් නොමැතිව අසරණව සිදුවන සියලූම දේ ගැන බලා සිටියාය.

ඒ අතර මනාලයාගේ යහළුවෙක් මෙලෙස යෝජනාවක් ගෙන ආවේය.

‘‘දැන් සින්දු කියලා නැටුවා ඇති. අමිලයාගේ සතුට අද අපි ගමටම පෙන්නන්න ඕනා. යමුද බයික් වල ගම වටේම රවුමක්. මොකද කියන්නේ කට්ටිය.”

බීමතින් සිහිය විකල් වී සිටි අමිලගේ යහළුවන් එක පයින්ම එම යෝජනාවට කැමැති විය. ඉන්පසු යතුරු පැදි තුනකට මනමාලයා ඇතුළු පස් දෙනෙක් ගොඩ වූහ. එලෙස ගොඩවී අධික වේගයෙන් ඔවුන් ගම වටා යතුරුපැදි ධාවනය කළේය. ඒ මෙවැනි වදන් ද පවසමින්ය.

‘‘අද අපේ අමිලයගේ වෙඩින් එක. ඒක නිසා හොඳ ෆන් එකක් ගත්තා. අපි හොඳට බීලා ඉන්නේ. කාටවත් අපි පදිරි වෙන්නේ නෑ. තව ටිකකින් ගමටම පෙන්නනවා අමිලයගේ නෝනවත්.”

‘‘බීමතින්” හිස් වැසුම් නොමැතිව”  කෑගසමින්” සමහර අවස්ථාවලදී තනි රෝදයෙන් පවා යමින් අධික වේගයෙන් එම ප‍්‍රදේශය තුළ ඔවුන් යතුරුපැදි ධාවනය කළේ මී හරක් රංචුවක් මෙන්ය.

රුවන් යුද හමුදා සෙබළෙකි. පසුගිය සතියේ ඔහු නිවාඩු ලබා නිවසට පැමිණියේය. එලෙස නිවාඩු ලබා පැමිණ සිටියදී පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා ඔහු බිරිඳ සමග අම්පාර නගරයට යමින් සිටියහ. ඒ ඔහුගේ යතුරු පැදියෙනි.

යුද හමුදා සෙබළා සහ බිරිඳ උහන පසුකරමින් මහකණ්ඩිය ප‍්‍රදේශයට ළඟා වෙමින් සිටියහ. මනමාලයා ඇතුළු පිරිස ද අධික වේගයෙන් එම ප‍්‍රදේශය තුළ යතුරුපැදි ධාවනය කරමින් සිටියහ. අධික බීමතින් සිටි මනමාලයා ඇතුළු පිරිසට යුද හමුදා සෙබළා සහ ඔහුගේ බිරිඳ ගමන් ගත් යතුරු පැදිය මුහුණට මුහුණ මුණ ගැසුණහ. බීමතින් සිටි එම පිරිස එක්වරම සිදුකළේ මාර්ගය හරස් කර එම යතුරු පැදිය නැවත්වීමයි.

‘‘ඉන්පසු බීමතින් සිටි කකුල් දෙකේ එම මී හරක් රංචුව යුද හමුදා සෙබළාගේ තරුණ බිරිඳට නොහොබිනා විහිළු තහළු කළහ. එලෙස විහිළු තහළු කරමින් ඇයගේ ජංගම දුරකථන අංක පවා ඉල්ලමින් ඔවුන් එම තරුණියට කරදර කළේය.

වරක් දෙවරක් නොව කිහිපවරක්ම යුද හමුදා සෙබළා ඉතා කාරුණිකව බීමත්ව සිටි එම පිරිසගෙන් ඉල්ලා සිටියේ තමාට සහ තම බිරිඳට කරදර නොකර පාඩුවේ යන්නට ඉඩ දෙන ලෙසයි. එහෙත් බීමතින් සිටි මනමාලයා ඇතුළු පිරිස එය කනකටවත් ගත්තේ නැත. තව තවත් එම තරුණියට විහිළු තහළු කළහ.

බිරිඳට සහ තමාට සිදු කරන අසාධාරණය හමුවේ යුද හමුදා සෙබළාගේ ඉවසීමේ සීමා ඉක්මවා ගියේය. ඔහු බිමතීන් සිටි එම තරුණයන්ට බැණ වැදුණේය. එයින් කුපිත වූ මනමාලයා ඇතුළු පිරිස යුද හමුදා සෙබළාට අමානුෂික ලෙස පහර දීමට පටන් ගත්හ.

බීමතින් සිටි එම පිරිස අමානුෂික ලෙස පහර දෙන අයුරු දුටු එම සෙබළාගේ බිරිඳ තම ආදරණීය ස්වාමිපුරුෂයා බේරා ගැනීමට උත්සාහ කළාය. එහෙත් ඇයට තම ස්වාමි පුරුෂයා බේරා ගැනීමට නොහැකි වූවාය. අවසානයේ ඇයටද බීමතින් සිටි එම පිරිස පහර දුන්හ.

කිසියම් පිරිසක් පිරිමියෙකුට සහ කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙනු දුටු ප‍්‍රදේශවාසීහු දුටහ. ඒ අනුව වහාම එම ස්ථානයට පැමිණ ප‍්‍රදේශවාසීන් එම හමුදා සෙබළා සහ ඔහුගේ බිරිඳව එම නරුමයන්ගෙන් බේරා ගත්තේය. ඒ වනවිටත් එම නරුමයන්ගෙන් ගුටි කෑ හමුදා සෙබළා සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්ය.

පසුව ප‍්‍රදේශවාසීහු මේ බව පොලිසියට දැන්වූහ. ඒ සමඟම අමානුෂික ලෙස ප‍්‍රහාරයකට ලක්වූ හමුදා සෙබළා සහ ඔහුගේ බිරිඳ අම්පාර රෝහලට ඇතුළත් කළහ.

වහාම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ. එම පරීක්ෂණ වලට අනුව හමුදා සෙබළාට සහ ඔහුගේ බිරිඳට පහරදුන් මනමාලයා ඇතුළු පිරිස යතුරු පැදි තුනක් සමග අත්අඩංගුවට ගත්හ.

දින කිහිපයකට පසුව බිරිඳ සුවය ලැබුවත් යුද හමුදා සෙබළා තවමත් පසුවන්නේ දැඩි සත්කාර ඒකකයේය.

දිවයින..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!