Gossip

”හැකි ඉක්මනින් විවාහ වෙන්න සිහින මැවූ ඩයනා අන්තිමේදී සිය පෙම්වතා සමග එකටම අවසන් ගමන් ගියා” – Photos

1997ගිම්හානයේ මෙලොව හැර ගිය දා පටන් සෑම වසරකම ගිම්හානයේ යළි යළිත් මතකය අලුත් කරන මේ සුන්දර රුව ජාත්‍යන්තර කාන්තා දිනයේදිත් කාගෙත් මතකයට නැගේවි. අවුරුදු 36 ක් වැනි ළාබාල වියේදි ම ජීවිතය අතැර ගිය ඩයනාට අදටත් කවුරුත් ආදරය කරන්නේ ඇගේ සුන්දරත්වයට යටින් දිව ගිය ගති පැවතුම් නිසයි.

අප කවුරුත් දන්නා බටහිර සංකර හැසිරීම් රටාව, අඩ නිරුවත් ඇඳුම් පැලඳුම්, මතට ලොල්ව රාත්‍රී සමාජ ශාලා පුරා රස්තියාදු වන තරුණියන් අතර ඇය කවදත් සිටියේ නෑ. ඇයට තිබුණේ බටහිර රටවලට නෙවෙයි ශ්‍රී ලංකාව වගේ ආසියාතික රටවලට ඔබින

ගති පැවතුම්… අවිහිංසකත්වය… අව්‍යාජ සිනහව…

එක අතකට ඇය ඉපදෙන්න තිබුණේ ශ්‍රී ලංකාව වගේ රටක..මොකද ඇයට තිබුණේම අපේ රටේ කාන්තාවන්ගේම සිතුම් පැතුම්…අසීමිත දරු සෙනෙහසක්.. සැමියාගේ අනියම් සම්බන්ධතාව දැන දැනත් දුක සිර කරගෙන විවාහ ජීවිතය රැක ගන්න ගත් උත්සාහයක්…..දරුවන් වෙනුවෙන් ජීවත් වීම…මේවා ආසියාවේ ගැහැනුන්ට පොදු කාරණා…ඇය දුක හංගාගෙන සිනාසුණා.

අසූව දශකයේ මුල් භාගයේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු චාල්ස් හා අතිනත ගන්නා විටත් ඔහු කැමිලා හා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට ඇයට කනින් කොනින් ආරංචි වී තිබුණා. එදා ලන්ඩන් නුවර රාජකීය පල්ලියේ අල්තාරය ඉදිරියේ දණ ගසා සදාකල්හිම සැමියාගේ සෙවණේ රැඳෙන බවට දෙවියන් හමුවේ පොරොන්දු වෙද්දී පවා ඇගේ දෑස් දිව ගියේ ඔහුගේ පෙම්වතිය කැමිලා පල්ලියට ඇවිත් සිටින්නේදැයි දැන ගැනීමටයි.

අන්තිමේදි කැමිලාගේ පළහිලව්ව නිසාම ඇයට සැමියා අහිමි වුණා. ඔහු ඇගෙන් දික්කසාද වුණා. පසුකාලෙක ඇය කෝටිපති ව්‍යාපාරික ඩොඩී අල්ෆයිඩ් සමග ප්‍රේමයෙන් බැඳීම ඇතැමුන්ගේ අප්‍රසාදයට ලක්වූ කාරණාවක් බව ඇත්ත. ඒත් ඇගේ සිතුම් පැතුම් වටහා ගත්, ඇයට දැඩි සේ ආදරය කළ පුද්ගලයකුගේ ජීවිතයට කිට්ටු වීම වරදක් ද….? ඇය ඩොඩීට ලියූ අප්‍රමාණ වූ පෙම් හසුන් කියවන්නට ලැබුණේ නම් ඇයට සරදම් කළ, රාජකීයත්වයට පයින් ගැසූ බව කී බොහෝ අයට ඇගේ සිත හොඳින්ම තේරුම් ගන්නට ඉඩ තිබුණා.

දශකයකට වැඩි කාලයක් සැමියාගේ අනියම් පෙම් පළහිලව්ව නිසා ඩයනා වින්දේ අපමණ දුක් කන්දරාවක් බවට ඇගේ සමීපතම මිතුරු මිතුරියන් සාක්ෂි දරාවි. ඒවා වරින් වර ලෝකයට හෙළි වුණා. අන්තිම කාලයේ ඇය සතුටින් සිටීම ගැන ඇගේ මිතුරු මිතුරියන් තවමත් සිහිපත් කරනවා. හැකි ඉක්මනින් විවාහ වෙන්න සිහින මැවූ ඩයනා අන්තිමේදී සිය පෙම්වතා සමග එකටම අවසන් ගමන් ගියා. ඒක පුදුමාකාර බැඳීමක් වෙන්න ඇති.

ඩොඩීගේ ප්‍රේමය දෙවැනි වුණේ ඇය සිය පුතුන් දෙදෙනාට දැක්වූ සෙනෙහසට පමණයි. දරු සෙනෙහස තරම් ඇගේ සිත සංවේදි කළ තවත් දෙයක් නැති තරම්. ඇයම පසුකාලෙක කීවේ සැමියාගෙන් දික්කසාද වීමේ වේදනාව දරු දෙන්නගේ ආදරය නිසා යටපත් වුණු බවයි. තමන්ගේ දරුවන්ට වගේම දකින දකින දරුවන්ටත් ආදරය කළ, හුරතල් කළ ඩයනාට තිබුණේ දරුවන් ගොඩාක් හදා ගැනීමේ නොතිත් ආසාවක්….

ඇත්ත… දරුවන් කියන්නේ ඩයනාට අමිල සම්පතක්. කොයිතරම් කාර්ය බහුල වුණත් අම්මා කෙනෙක් හැටියට ඇය දරුවන් වෙනුවෙන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළා. ඒ බව අදටත් විලියම් කුමාරයා සිහිපත් කරනවා.

ඩයනාගේ කතාව එක අතකින් බැලුවම එහෙම පිටින්ම සුරංගනා කතාවක්. ඇය ජීවත් වුණේ පොදු ජනතාවගේ හදවත් අතරේ. ගැවසුණේ…කතා බහ කළේ…සාමාන්‍ය ජනතාව එක්කයි.

දරුවන් ගැන කියනවා නම් ඩයනා මෙලොව හැර යද්දී ඇගේ වැඩිමල් පුතු විලියම්ට අවුරුදු 15යි. ඊයේ පෙරේදා තාත්තා කෙනකු වූ හැරී කුමරු යන්තම් අවුරුදු 12 පසු කළා පමණයි.

‘ඇය අපිත් එක්ක හැසිරුණේ හරියට පොඩි ළමයෙක් වාගේ.‘ හැරී කුමරු අම්මා ගැන මතකය අවදි කරන්නේ එලෙසයි.

‘මගේ අම්මා ඒ කාලේ ගොඩාක් දඟ වැඩ කළා. කෝ ඔයත් කරන්නකෝ කියලා නිතරම අපිවත් උසි ගැන්වුවා. දැන් දැන් අම්මා ගැන කවුරුත් කියද්දී මට මතක් වෙන්නෙම ඇගේ දඟකාර හිනා හඬයි.‘

‘අම්මා ඒ කාලයේ අපිට නිතරම කිව්වේ පුළුවන් තරම් දඟ වැඩ කරන්න..හැබැයි අහුවෙන්න නම් කරන්න එපා.. කියලයි.’ඒවා හරි පුදුම දඟ වැඩ. මට මතකයි වතාවක් අපි පාපන්දු ක්‍රීඩාවේ නිරතවෙද්දී ඇය අපේ මේස් ඇතුලේ රස කැවිලි හැංඟුවා. ඒ විතරක් නෙවෙයි අපිට නිතරම අමුතු අමුතු සුබ පැතුම් පත් එව්වා. සමහර ඒවා මතක් වුණාම දැන් ලජ්ජා හිතෙන තරම්… ඒවායේ ලියා තිබුණු සමහර දේවල් මතක් වුණාම බඩ අල්ලගෙන හිනාවෙන්න හිතෙනවා.‘ ඇය ගැන ලොකුම මතකය ඇත්තේ වැඩිමල් පුතු විලියම්ටයි.

‘අපි දෙන්නට විතරක් නෙවෙයි අපේ අම්මා දකින දකින හැම දරුවාටම ආදරය බෙදා දුන්නා. අපේ අම්මා තමයි ලෝකේ හිටපු හොඳම අම්මා.. අම්මාගේ වියෝව අපිට දරා ගන්න බැරි තරම්. අදටත් එහෙමයි. ඉස්සරහටත් එහෙම වේවි.’ හැරී කුමරුට අම්මා ගැන වැඩි මතකයක් නැති තරම්.

‘එයා අපේ අම්මා. අපිට ජීවිතය දුන්නේ එයා. එයා තවමත් අපේම අම්මා. පුතෙක් හැටියට මම මේ ටික කියන්නේ හරිම ආඩම්බරයකින්. අම්මාගේ ආදරයෙන් අපේ ජීවිත පිරුණා. ආයේ කවදාවත් ඒ වගේ අම්මා කෙනෙක් මේ ලෝකේ කිසිම දරුවකුට නොලැබෙන බව නම් සහතිකයි.‘

දරුවන්ට නොසෑහෙන්න ආදරය කළ මේ අසිරිමත් කාන්තාවට තවත් ලොකු හීනයක් තිබුණා. ඒ පුතුන් දෙදෙනාට නංගි කෙනකු තෑගි කිරීමයි. ‘ලෝකෙට වඩා පවුල විශාලයි‘ නිතර නිතර එසේ කී ඩයනා කුමරිය අන්තිමට මරු තුරුලට ගියේ එසේ සැබෑ නොවුණු සිහිනයකුත් තුරුලු කරගෙනයි.

සිළුමිණ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!