Gossip

“අපි දෙන්නගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා. ඒ ගැන හොඳ අවබෝධයක් සහ විශ්වාසයක් සුදම්ට තිබෙනවා. ඇත්තටම සුදම් එක්ක ගතකරන ජීවිතය හරි අපූරුයි.” – ධනංජි තාරුකා

ධනංජි තාරුකා කියන්නේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක්.
ඇය සැමියා සමග ආදරණීය ජීවිතයක් ගත කරනවා. ඒ ගැන ධනංජි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ධනංජි.. මේ දවස්වල කරන නිර්මාණ මොනවද?
මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක රූගතකිරීම්වලට සහභාගී වෙනවා. ඊට අමතරව තවත් අලුත් ටෙලිනාට්‍යක් රූගත කිරීම්වලට සහභාගී වෙනවා. තවත් අලුත් වැඩ කිහිපයකටත් ආරාධනා ලැබිලයි තියෙන්නේ. තාම ඒවා රූගත කිරීම් ආරම්භ කරලා නෑ.

ධනංජි ටෙලිනාට්‍ය රූගතකිරීම්වලට විතරක් නෙවේ වේදිකා නාට්‍ය පුහුණුවීම්වලටත් සහභාගී වෙනවා කියලයි ආරංචිය?
ඔව්. දැනට වේදිකා නාට්‍ය හයකට විතර මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරේ නැකත, ඉලන්දාරී, ආරංචි දීගේ වැනි වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කරනවා.

ඒ කියන්නේ මේ දවස්වල ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය නිසාම ධනංජි කාර්යබහුලයි?
ඔව්. කාර්යබහුලකමනම් පොඩ්ඩක් තිබෙනවා. හැබැයි ඒ කාර්යබහුලකමටත් මම ආසයි. කොච්චර කාර්යබහුල වුණත් මම සුදම් එක්ක කාලය ගතකරන්නත් වෙලාව වෙන් කරගන්නවා. මගේ කලා කටයුතුවලට මට සුදම්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා මම වගේම මගේ කලා කටයුතු ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ.
බොහෝ වෙලාවට මගේ ෂූටිං වැඩවලටයි, වේදිකා නාට්‍යවලටයි යන එන ගමන්වලදී අපි දෙන්නම තමයි යන්නේ. ඒ නිසා අපිට එකට මුණගැසෙන්න ලැබෙන ඉඩකඩ වැඩියි. දවසේ කොච්චර වැඩ කටයුතු තිබුණත් අපි හැමවෙලේම අපි ගැන හොයලා බලනවා.

ටෙලිනාට්‍යවල රඟපාන බොහෝදෙනා වේදිකා නාට්‍යවලට එකතු වෙනවා හරිම අඩුයි. නමුත් ධනංජි වේදිකා නාට්‍ය කිහිපයකම එකවර කටයුතු කරනවා. මේ පිළිබඳ ධනංජි ලබන අත්දැකීම් කොහොමද?
සඳහන් කරපු වේදිකා නාට්‍යවලට අමතරව තවත් මම වේදිකා නාට්‍ය කිහිපයකට දායක වෙලා තියෙනවා.
විශේෂයෙන් නැකත කියන වේදිකා නාට්‍යය මට හරි විශේෂයි. ඒ වේදිකා නාට්‍යයේ කවි කිහිපයක්ම ගායනා කරන්න තියෙනවා.
ඒක කවි කිහිපයකම එකතුවක්. ඒ නිසා ඒ කවි මනසේ තියාගෙන ඉඳීමත් අභියෝගයක්. අපිට ටෙලිනාට්‍යයක දෙබසක් අමතක වුණොත් ආයෙත් රූගත කිරීම් කරන්න පුළුවන්. වේදිකා නාට්‍යයක දෙබසක් වැරදුණොත් කොහොමහරි ඒක ෂේප් කරගන්න පුළුවන්.
හැබැයි වේදිකා නාට්‍යයක කවි ගායනා කරද්දි වැරදුණොත් අමතක වෙලා ගියොත් ඒක ආයෙත් හදන්න අමාරුයි. ඒක ලොකු අභියෝගයක්. ඒවට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු අටක් විතර වෙනවා. පාසැල් යන කාලෙදිම මම වේදිකා නාට්‍ය කළා.
ඒ ලැබුණු ආභාෂයත් එක්කම තමයි මම වේදිකා නාට්‍යට කැමැත්තක් දැක්වුවේ. ඇත්තටම වේදිකා නාට්‍යවල රඟපෑම මට ලොකු අභියෝගයක්. හඬ පාලනය ඉතා වැදගත් වෙනවා. බොහෝ දෙනා හිතන්නේ වේදිකා නාට්‍යයක් තුළ ගොඩක් කෑගහන්න ඕනේ කියලා විතරයි. නමුත් ඒක එහෙම නෙවෙයි. වේදිකා නාට්‍යයක් තුළදී රහසක් කියද්දි ඒ රහස අපි කියන්නත් ඕනෙ රහසක් විදිහටයි. ඒත් රඟහලේ කෙළවරේ ඉන්න කෙනාටත් ඒ රහස ඇහෙන්න ඕනේ. ඇත්තටම ටෙලිනාට්‍ය තුළ මට යම් චරිත ලැබෙන්නත් වේදිකා නාට්‍යවලින් ලබපු අත්දැකීම් ලොකු හේතුවක් වුණා.

ධනංජි වැඩියෙන්ම කැමති වේදිකා නාට්‍යයටද? ටෙලිනාට්‍යයටද?
මගේ වැඩිපුර කැමැත්තක් තියෙන්නේ වේදිකා නාට්‍යවලටයි. ගොඩක් අමාරු වෙන්නෙත් ඒකටයි. මාස ගණනාවක් මුලින් පුහුණුවීම් කරන්න ඕනේ.
ඇත්තටම අපි ගන්නා මුදලට වඩා මහන්සියක් අපි වේදිකා නාට්‍යයට යොදවන්න ඕනේ. නමුත් ඒ මුදලට එහා ගිය අත්දැකීමක් අපිට ලැබෙනවා. ඒ වගේම ඒ ආත්ම තෘප්තියත් හරිම වටිනවා. ඒ නිසා තමයි මම වේදිකා නාට්‍යවලට වැඩිපුරම සම්බන්ධ වෙන්න කැමති. මම වෘත්තියෙන් නිළියක්. මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැනේ. ඒ නිසා මමනම් විශ්වාස කරන දෙයක් තමයි වේදිකාව කියන්නේ කලාව ඉගෙනගන්න පුළුවන් හොඳ පාසැලක්.

ධනංජි කුඩා කාලයේදී දැකපු හීනයක් මේ හැබෑවීමක්ද?
නැහැ. ඇත්තටම මම නොහිතපු විදිහට තමයි මේ ක්ෂේත්‍රයට එකතු වුණේ.
මම පාසල් යන කාලේ ඉඳන්ම රංගනයට දක්ෂතා තිබුණු කෙනෙක්. මම ඉගෙනගත්තේ කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්. ඒ කාලෙදිත් මම පාසල් කලා කටයුතුවලට දායක වුණා.
ඔය අතරේදි මට අහම්බෙන් රුවන් අධිකාරි නම් ඡායාරූප ශිල්පියා මුණගැහිලා ඔහු ගත්තු ඡායාරෑප කිහිපයක් නිසා මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මට වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා.

සුදම් එක්ක ගතකර ජීවිතේ කොහොමද?
අපි දෙන්නා එකතු වෙලා අලුත් ජීවිතයක් පටන් අරගෙන ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයට අවුරුද්දක් ගෙවෙනවා. අපි දෙන්නගේ ජීවිතය වෙනසක් සිද්ධ වුණා. එහෙමයි කියලා මගේ කලා කටයුතුවල වෙනස්කම් සිද්ධ වුණේ නැහැ. මම විවාහ වුණාට පස්සේ රංගනයෙන් අයින් වුණේ නැහැ. ඒ ගැන හොඳ අවබෝධයක් සහ විශ්වාසයක් සුදම්ට තිබෙනවා. ඇත්තටම සුදම් එක්ක ගතකරන ජීවිතය හරි අපූරුයි.

ධනංජි තාරකා කියන්නේ කවුද?
සැබෑ ජීවිතේදී මම රඟපාන්නෙ නැහැ. කැමරාව ඉදිරියේදී විතරක් මම නිළියක් වෙනවා.
රඟපෑමට අමතරව රූපවාහිනි වැඩසටහන්වලට ගියාම අපිව මිනිස්සු තවත් හඳුනගන්නවා.
ඒ වැඩසටහන්වලදී අපි කතා කරන විදිහත් එක්ක තමයි සමහරු අපි ගැන තේරුම්ගන්නේ. මට රංගනයේදිත් වැඩිපුරම ලැබෙන්නේ දඟකාර චරිතයි. වැඩසටහන්වලට ගියත් සරල සාමාන්‍ය විදිහට තමයි ඉන්නේ. මම සැබෑ ජීවිතයේදී බොහෝම සරල සාමාන්‍ය කෙනෙක්. මම වෘත්තියෙන් නිළියක් වුණත් මම බොහෝම සරල කෙනෙක්.

උපුටා ගැනීම – දේශය පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!