Gossip

අපි විවාහ වෙලා දරුවො ලැබුණාම අපිට දරුවො වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වෙනවා

ජනප‍්‍රිය පරපුරේ තරුවක් වන ධනංජි තාරුකා පටන් ගත්ත කාලයේ පටන් මේ දක්වා එකම කාලවකවානුවක ටෙලි නාට්‍ය දෙක තුනකින්ම රූපවාහිනියේ දකින්න ලැබෙන නිළියක්. මේ දිනවලත් ටෙලි නාට්‍ය දෙක තුනකින්ම අපිට හමුවන ධනංජි මෙලෙස අපට ඇගේ දිවියේ අලූත්ම තොරතුරු හෙළි කළා.

පහුගිය කාලයේ විකාශනය වෙන ටෙලි නාට්‍ය තුනකම වැඩ කරමින් හිටි නිසා ඊට අමතරව තව ටෙලි නාට්‍ය දෙකක වැඩ කරනව. තව කරපු ටෙලි නාට්‍ය ගොඩක් තියෙනව. තවම ඒව විකාශය වෙන්න පටන් අරන් නැහැ. හැබැයි සමස්තයක් විදිහට ගත්තම නම් 2019 කියන්නෙ හැම කෙනාටම වැඩ අඩු කාලයක්. මේ අවුරුද්ද පටන් ගත්ත කාලෙ ඉඳන්ම දුකින් ඉන්න දේවල් සිද්ධ වුණා. උදාවෙන 2020 අවුරුද්ද සුබ වේවා කියල ප‍්‍රාර්ථනා කරනවා.

ධනංජිට මේ ක්ෂේත‍්‍රයේ මැකී නොයා ඉන්නට පුළුවන් වුණේ කොහොමද?

ගොඩක් වෙලාවට දෙයක් ඉගෙන ගත්තොත් තමා අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම අත්දැකීම් කියන එකත් ගොඩක් වැදගත් වෙනව. මම දැන් අවුරුදු නවයක් විතර වෙනව. ඒ කාලය තුළ මේ ක්ෂේත‍්‍රය ගැන ලොකු අධ්‍යයනයක් කළා. ඒ නිසා මම දන්නව. නමුත් ඒ වගේ අධ්‍යයනය කරල කරන්න පුළුවන් චරිත තියෙන නිර්මාණ ලැබෙනව හරිම අඩුයි. සමාජ මාධ්‍යවලට ගැළපෙන විදිහට තමයි දැන් වැඩිපුර ටෙලි නාට්‍ය හැදෙන්නෙ. දැන් තියෙන රසයට තමයි නිර්මාණ. ඒ නිර්මාණ ජනතාව වැළඳ ගන්න වේගයත් වැඩියි.

ධනංජි ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නවද?

හොඳ නිර්මාණයක් කරල ජනප‍්‍රිය කරගන්න කාලයක් ගතවෙනව. සමහර අපේ ප‍්‍රවීණ කලාකරුවන් හොඳ නිර්මාණවලට දායක වෙනව සහ තමුන්ගෙ මතය තුළ ඉන්නව. දැන් තියෙන වාතාවරණය හා වෘත්තීය කලාකරුවන් විදිහට අපිට හරිම අමාරුයි පවත්තා රැල්ලෙන් මිදිලා තෝරගෙන වැඩ කරන්න. මොකද අපි හරිහම්බ කරගන්නෙ අපේ රැකියාව මේක. එතනදි අපිට අමාරුයි යම් යම් දේවල් අතහැරලා දාන්න. නමුත් මම යම්තාක් දුරට නිර්මාණය කොහොමද කියල බලල තමයි බාරගන්නෙ.

ප‍්‍රවීණයන්ට ගරු නොකරන නළු නිළි පරපුරක් හැදෙමින් පවතිනව නේද?

ප‍්‍රවීණයන්ට මුල්තැන දෙන්න ඕන. එහෙම නැතිව අපිට ගමනක් යන්න බැහැ. අපි ප‍්‍රවීණයන්ට ගරු නොකරනව කියන්නෙ අපි අපේ අම්ම තාත්තට සළකන්නෙ නැතිව අපිට අපේ දරුවෙකුගෙන් සැළකිල්ලක් බලාපොරොත්තු වෙන්න බැහැ වගේ තමයි.

අලූතින් එන අය එක නිර්මාණයකින් දෙකකින් ජනප‍්‍රිය වෙනව. මම හිතත්නෙ වාසනාව නිසා තමයි එහෙම ජනප‍්‍රිය වෙන්න පුළුවන් වෙන්නෙ. අලූත් දරුවො හරි දක්ෂයි. තාක්ෂණය දියුණු නිසා වැඩ කරන්න පහසු වෙන විදිහට හැමදේම හැදිලා තියෙනව. ලොකු මහන්සියක් දරන්නෙ නැතිව ඉදිරියට යන්න පුළුවන් විදිහට අපේ ලෝකය හැදිලා තියෙනව.

අද ඔබේ සැමියා එදා ඔබේ පෙම්වතා බවට පත්වුණේ කලා ලෝකයෙදි හමුවෙලාද?

ඔහු කලාවට පිවිසෙන්නෙ අපේ විවාහයට පෙරයි. ඒ නිසයි අපිට දැන හඳුනාගන්න ලැබෙන්නෙ. මම රංගන දායකත්වය සැපයූ අවසන් ඉනිම ටෙලි නාට්‍යයේ රූගත කළ ස්ථානයට ඉස්සරහ ගෙදර තමයි ඔහු පදිංචි වෙලා හිටියෙ.

ඔහුත් රංගනයට එන්න සූදානම් බව ඔබ පවසා තිබුණා?

එයා තවම රංගනයට ආධුනිකයි. නිරූපණ ක්ෂේත‍්‍රයේ නම් එයා යම් දුරක් ඇවිත් ඉන්නෙ. එයා එයාගෙ ව්‍යාපාර කරගෙන යන අතරෙ තමයි කලා කටයුතු කරන්නෙ. එයා ඒ ගැන අධ්‍යයනයක් කරනව. එයා ඉදිරියෙදි පුර්ණකාලීනව කලාව තෝරාගනීවිද කියලා කියන්න බැහැ. එයා කලාව තෝරගන්නව නම් මම කැමතියි.

ධනංජි ගෘහණියගේ භූමිකාව සාර්ථකව ඉටුකරන කෙනෙක්ද?

එයා හැමදේම බලල හොයල කරනව. මගේ රැකියාව රංගනය. එයා දන්නව මට සාම්ප‍්‍රදායික ගෘහනියක් විදිහට ගෙදර හැම වැඩක්ම කරන්න වෙලාව හොයාගන්න එක අපහසුයි කියල. සහයෝගයෙන් වැඩ කරගන්නවා.

ධනංජි ලබන වසරේ විවාහ මංගල්‍යයක් ගන්න සූදානම් බව පුවත්පත්වල පළවෙලා තිබුණා?

මේ අවුරුද්දෙ අපි බලාපොරොත්තුවෙන් හිටියා අපේ හිතවතුන් වෙනුවෙන් සාදයක් පවත්වන්න. නමුත් රටේ ඇතිවුණ ප‍්‍රශ්නයත් එක්ක අපිට ඒ ගැන හිතන්න කාලයක් තිබුණෙ නැහැ. ලබන අවුරුද්දෙ අපි හිතනව මොනව හරි දෙයක් කරන්න. නමුත් එහෙම නොවුණා කියල මාත් එක්ක හැමදාම ඉන්න කලාකරුවො කලාකාරිණියන්ගෙ හිතවත්කම්වල ආදරයේ අඩුවක් වෙන්නෙ නැහැ කියලා මම දන්නවා.

අම්ම කෙනෙක් වුණදාට ධනංජි රංගනය හැරයාවිද?

මොන දේ වුණත් රංගනය එක්ක ඉන්නව කියන දේ නම් කරන්න අමාරුයි. අපි විවාහ වෙලා දරුවො ලැබුණම අපිට දරුවො වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ක්ෂේත‍්‍රයෙන් සම්පුර්ණයෙන්ම ඈත්වෙලා යන්නත් මම කැමති නැහැ. ඒ කාලයේ හොඳ නිර්මාණවලට පමණක් දායක වෙලා මම ක්ෂේත‍්‍රයේ රැඳී ඉඳියි.

උපුට ගැනීම – දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!