හොලිවුඩ්

ගව මුත්‍රා බෝතල් වෙළඳපොළට එයි – ලෙඩ සුව කරගන්න කදිම ඔසුවක්ලු

cvr

 

ගව මුත්‍රාවලට ලෙඩ සුවකිරීමේ බලයක් ඇති බවට ඇති විශ්වාසයක් හේතුවෙන් ඉන්දියාව තුළ ඊට ඇත්තේ ලොකු ඉල්ලුමකි. සිරුරේ වැඩිපුර ඇති සෙම ඉවත්කිරීම ඇතුළු සිරුරට හිතකර බොහෝ දේ මෙම ගව මුත්‍රා මගින් සිදුකළ හැකි බවට පුරාණ සංස්කෘත ලියැවිලිවල තිබිම මෙම ගව මුත්‍රා බෝතල් කිරීමට හා ඒවා අලෙවි කිරීමට ඇති උනන්දුවට හේතුවයි.

මේ පිළිබඳව සඳහන් කරන ඇමෙරිකානු වෙබ් අඩවියක් කියන්නේ ඉන්දියානුවන් ගව මස් ආහාරයට නොගත්තද ගව මුත්‍රා බීමට නොපැකිලෙන බවයි.

මෙම ව්‍යාපාරය කරන දිව්‍යා ෆාමසි නම් කොම්පැනියේ සේවය කරන ආයුර්වේද වෛද්‍යවරයෙකු වන අනිල් කුමාර් කියන්නේ ඉන්දීය රජය විසින් ආයුර්වේද වෙදකම් ඉහළ නැංවීමත් සමග එළකිරි, ගව මුත්‍රා හා ගොමවලට හොඳ ඉල්ලුමක් ඇති බවය. දිව්‍ය ෆාමසි ව්‍යාපාරය ගව මුත්‍රා බෝතල් කොට ඖෂධ ලෙස පාවිච්චි කිරීමට අලෙවි කිරීමෙන් නොනැවතී ඒවා යොදා සබන්, ෂැම්පු, ක්‍රීම් වර්ග හා හිසකෙස්වලට දමන දියර නිෂ්පාදනය කොට වෙළෙඳපළට යවති.

සාමාන්‍ය රුපලාවන්‍ය ආ‍ලේපන, කෝන්ෆ්‍ලේක්ස් හා බිම වර්ගද නිෂ්පාදනය කරන මේ දිව්‍ය කොම්පැනියේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය අසූවක් පමණ වෙයි.

ගවයින්ගේ කිරි හා මුත්‍රා ව්‍යාපාරය ලොකුවට කරගෙන යන වෙනත් ආයතන කියන්නේ වාර්ෂිකව මෙම අලෙවිය සියයට දහයේ සිට සියයට තිහ දක්වා මේ වනවිට ඉහළගොස් ඇති බවය.

ගොමවලින් සාදාගන්නා තෙල් වර්ගයකට වර්තමානයේදි ඉන්දියාවේ ඉහළම සාප්පු සංකීර්ණවලද විශාල ඉල්ලුමක් ඇත. ආයුර්වේද වෛද්‍යවරුන් මොනවා කිව්වද බටහිර වෛද්‍යවරු කියන්නේ මේ නිෂ්පාදන සිරුරට හානිකර බවය.නිසි පරීක්ෂා කිරීමකින් තොරව බලයට පත්වන රජයන් දැන් කලක සිට මෙම ආයුර්වේද ඖෂධවලට ප්‍රචාරයක් දෙන බවටද විවේචන තිබේ.

මේ හේතුවෙන් සුවසේවයට ලැබියයුතු නියම ප්‍රචාරය නොලැබි යන බවද රජය මෙම වසරේදී සෞඛ්‍යය සඳහා රජයෙන් වැයකරන මුදල කපාහැර එහි බර ප්‍රාන්ත රජයන් වෙත තල්ලුකොට ඇති බවද වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වාදෙති. පිළිකා රෝගීින් රෝගය ප්‍රතිකාර කළ නොහැකි තරම් දුරගිය පසුද, හෙපටයිටීස් රෝගීන් එය අක්මාව අක්‍රියකරන තත්ත්වයට පත්වන තුරුද සිට බටහිර වෛද්‍ය විද්‍යාවේ පිහිට පතන්නට එන අවස්ථා මේ වනවිට සුලභ වී ඇති බවද ඊට හේතුව ඔවුන් දින, සති, මාස ගණන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල පිහිට පැතීම බවද වාර්තාවෙයි.

මේ දිනවල ඉන්දියාව පුරා පැතිරයන තවත් රෝගයක් වන්නේ ඩෙංගුය. එය පාලනය කිරීමට රජය අ‍පොහොසත්වීම තුළින් රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ අඩුපාඩු පෙනෙන බව බටහිර වෛද්‍යවරුන්ගේ මතයයි. හැම රෝගයකටම මිලෙන් අඩු ආයුර්වේද ඖෂධ භාවිත කිරීමට ජනතාව පෙළඹී සිටින අතර මෙය වටහාගත හැකි කරුණක් බවද රජය මේ සියල්ලට වගකිවයුතු බවද මේ සම්බන්ධයෙන් කතා කරමින් බටහිර වෛද්‍යවරු කියති. මේ සම්බන්ධයෙන් පුවත්පත් හා සඟරා ලිපි මගින් කොතෙක් ජනතාව දැනුවත් කලද ඉන් පලක්වී නැති බව කියන මෙම වෛද්‍යවරු මෙහි පුදුමය වන්නේ බටහිර ඖෂධවලට ඇති නීතිරීති මෙම ආයුවේද ඖෂධවලට බලපාන්නේ ඉතා අඩුවෙන් වීම බව පෙන්වාදෙයි. දේශපාලනඥයින් වගකීමකින් තොරවීම සම්බන්ධ උදාහරණයක් දක්වන මේ වෛද්‍යවරු කියන්නේ පාලක පක්ෂයේ දේශපාලනඥයෙකු වන ෂන්කර්බායි වෙගාඩ් පසුගිය මාර්තු මාසයේදි පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකි.

“පිළිකාවෙන් ගැලවෙන්නට අපට අවශ්‍යනම් අපේ රටේ හරක් රැකගත යුතුයි. පිළිකාව සම්පූර්ණයෙන් සුවකරන්න ගව මුත්‍රාවලට පුළුවන්. සියයට සියයක්ම පුළුවන්. මට ඒ ගැන සහතික කරලා කියන්න පුඵවන්.” යනුවෙන් ඔහු කියා තිබිණි. ඊට සමාන කතාවක් කියන කර්නාටක ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන වාජුබායි රුදාබායි වාලා බටහිර වෙදකමට රෝග පාලනය කිරීමට හැකිවුවත් අතුරු ආබාධවලින් තොරව ඒවා නිට්ටාවට සුවකළ හැක්කේ ආයුර්වේද ඖෂධ වලින් පමණක් බව කියයි. මෙතැනින් නොනවතින මේ ඇතැම් දේශපාලනඥයින් හා ආයුර්වේද වෛද්‍යවරුන් ඩෙංගු, අපස්මාරය පමණක් නොව ඒඩ්ස් පවා ආයුර්වේදයට විශේෂයෙන් ගවමුත්‍රාවලින් සුවකළ හැකි බව කියයි.

මෙහි භයානකම පැත්ත වන්නේ ලෝකය මෙතරම් දියුණු කාලයක ඉන්දීය රජය ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබාදෙන ඉඩකඩ බව කියන එරට බටහිර වෛද්‍යවරු පසුගියදා සම්මත කරගැනීමට ගිය එක් පනතකට අනුව එය එසේ වූවානම් ආයුර්වේද වෛද්‍යවරුන්ට ගබ්සාවන් කිරීමටද ඉඩ ලැබෙන බව පෙන්වාදෙයි.බටහිර වෛද්‍යවරු හිඟ ඇතැම් ප්‍රාන්තවල ආයුර්වේද වෛද්‍යවරුන්ට ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීමට ඉඩ දීම නිසා ප්‍රතිජීවක සිරුරට අවශෝෂණය නොවන තත්ත්වයට මේවා ලබාගන්නන් පත්වන බව ඔවුහු කියති.තමා උගන්වන දෙය ගැන කිසි විමසීමක් නැතිවුවද ළඟදීම ආයුර්වේද විශ්වවිද්‍යාල පහක් අලුතින් ඉදිකිරීමට සාමාන්‍ය සෞඛ්‍ය නීතිය යටතේම ආයුර්වේද ඇමැතිවරයා යෝජනා කොට ඇති බව වාර්තාවෙයි.

ගව මුත්‍රා පානය සුදුසු නෑ

– ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

ගව මුත්‍රා අතීතයේ සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත කළ දෙයක්. එය විවිධ ඖෂධ වර්ග සැකසීමට, පල් කිරීමට, ඇඹරීමට සහ කෂාය වර්ග සඳහාද යොදා ගත්තා. ඒත් වර්තමානයේ ගවයන්ට ලබාදෙන බෙහෙත් සහ ගවයා ආහාර කොට ගන්නා තණකොළවලට යොදන විවිධ රසායන ‍පොහොර සහ කෘමි නාශක වැනි දේ නිසා අද වන විට ගව මුත්‍රා ඖෂධ සඳහා භාවිත කිරීම සුදුසු යැයි පැවැසිය නොහැක. මන්දයත් ගවයන්ගේ ශරීරයට ආහාර සහ ජලය ඔස්සේ ඇතුළුවන රසායන සහ බැර ලෝහ මුත්‍රා සමග පිට විය හැකි බැවිනි. අතීතයේ මිනිසුන් මෙන් ගවයන්ද දිවි ගෙවූයේ සුපිරිසිදු වටපිටාවක වන බැවිනි. එකල ගව මුත්‍රා ඔසුවක් ලෙස යොදා ගැනීම එතරම් ගැටලුවක් නොවූවා විය හැක. එහෙත් අද තත්ත්වය ඊට වෙනස්ය.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!